[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය

නිවීම

නිමක් නැති සසරක
තැනක් නැති කතරක
හබල නැති පවුරක
නැගී යන ගමනක

එකතු වන ජල කඳින්
පිරී යන සමුදුර
තරණය කරන්නට
වෙර දැරිය යුතු ම ය

බුදු මුවින් දෙසූ ඒ
අමා දම් සුව තරම්
නැඟෙන ගිනි නිවාලන
වෙනත් දහමක් කොහෙද?

****

වෙදැදුරු තුමනි

වෙදැදුර ඔබද මිනිසෙකි පසිඳුරන් ඇතී
ඔබටත් පොදු ය අටලෝ දහමෙහි නීතී
කළහොත් සේවයක් රෝගීනට ද නිතී
රැස්කළ හැකිය පින් ලොවෙහි දෙයි පීතී

බැහැ වළකන්න කෙනකුගෙ රෝගී වීම
එය ඔබටත් පොදු ය නොහැකි ය වැළකීම
සුවපත් කළොත් ගිලනුන් හැකි විට සෑම
ඒ පින ඔබ රකියි මතු බවයෙ දි සෑම

වෙදැදුර ඔබත් දරුවෙකි මවකගෙ අගනා
සමහර විට ඔබ පියෙකි දරුවන් ඇති වටිනා
සොහොයුරියන්ට ඔබ සොහොයුරෙකිය අගනා
එබැවින් සියලු රෝගියො නෑ සියෝ වෙනා

ගන්නට ඇවැසි නම් මිනිසත් බවේ පලේ
සනසනු මැනවි රෝගී මන වඩා සෙනේ
පෙන්වා ලොවට වෙදැදුරු සතු මහඟු බලේ
පතුරනු මැනවි මෙත් කරුණා ගුණය අගේ

****

සත්‍ය ක්‍රියාව

සමිඳු පාමුල වැටී
කුරා කුහුඹුවකුගෙ පවා
මහඟු පණනල නසන්නට
නොයමි යැයි දිවුරා
යළි උපන්නෙමි
සසුන තුළ දැහැමින්

ඒ උතුම් සත්‍යයේ බෙලෙන්
ඔබට සහ දරු ගැබට
සෙත් පතමි නැඟණියේ
හදවතේ ගැඹුරුම තැනින්

****

රහස

මල් උයනට මං ආවෙ
සිරිපතුල නමදින්න
සුවඳ මල් ගෙන යන්න
ඔබත් එහෙනම් එන්න
සළු පටේ එල්ලෙන්න
රජුට ගොස් පවසන්න
යමුකො මම පෙන්වන්න

****

පන්සිල්

පන්සිල් සමාදන්වී එය නොරැකීමෙන්
ප්‍රතිඵලයක් නොමැති සුදු පැහැ සැරසීමෙන්
දෙවියන් නොපැකිලිව බුහුමන් දැක්වීමෙන්
දිවියම සරු කරයි පන්සිල් සුරැකීමෙන්

පංච ශීල ප්‍රතිපත්තියෙ වෙළෙන විට
මිනිසත්කමින් පොහොසත්වේ සෑම විට
පන්සිල් සමාදන්වී එය කඩන විට
දෙවියොත් නොබලාවි දුස් සිල් රකින විට

මෙතුවක් පහළ වූ බුදුවරු දෙසූ දහමේ
සඳහන් වුණා මිනිසත්කම රැකෙන ක්‍රමේ
පංච සීලයෙන් අටසිල් රකින තෙමේ
දෙව් මිනිසත් සැපය ලබනෙලු යනෙන බවේ

****

සුපසන් සිතිවිලි

තරහක් දැනෙන විට දහයට ගණන් කොට
කරනු හැකිය එය පහළට ඉහළ සිට
දුක ගැන අනවබෝධය හිත දවන විට
නැණවත් විය යුතු ය මිනිසුන් විලස සෙට

දුකින් සිටින විට තීරණ ගන්න එපා
තරහින් සිටින විට පිළිතුරු දෙන්න එපා
සතුටින් සිටින විට ගිවිසුම් ගන්න එපා
ගමනෙහි සිටින විට කලබල වෙන්න එපා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]