[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුම් මව් පදවියට රුවන්පුරයෙන් උපහාර

උතුම් මව් පදවියට රුවන්පුරයෙන් උපහාර

රටක අනාගතය රැඳී පවතින්නේ අද ළමා පරපුර අතය. ඔවුන් උතුම් පුරුෂාර්ථයන්ගෙන් සුසැදි තරමට අනාගත සමාජය ද ශිෂ්ට සම්පන්න ය. එවැනි උතුම් ගුණ දහම් දරුවන්ට දායාද කළ යුතු වන්නේ මව්කුසේ දී ම ය.


විහාරාධිපති මාවෙල සුමන හිමි

දරුගැබක් දරන අම්මා කායිකව සේ ම මානසිකව ද සවිමත් විය යුතු ය. ගුණදහම් වැඩිය යුතු ය. උතුම් දානමය පින්කම් ඒ අතර සුවිශේෂ ය. එවැනි මව්වරුන්ට සවියක් වන තරුණ ව්‍යාපාරිකයෙක් ගැන රුවන්පුරයෙන් අසන්නට ලැබිණි. ඔහු යහපත් සමාජයක් සඳහා උදාර දරු පරපුරක් බිහි කිරීම අරමුණු කරගෙන පුරා වසර තුනක් තිස්සේ අඛණ්ඩව උදාරතර සමාජ මෙහෙවරක් කරන සිංහල බෞද්ධ තරුණ ව්‍යාපාරිකයෙකි.

“උත්තරීතර මාතෘත්වයට පිදෙන ගෞරවණීය උපහාරය” යනුවෙන් නම් කර ඇති මෙම සද්කාර්යය සිදුවන්නේ රත්නපුර බෝධිරාජ මාවතේ බෝධිරාජ විහාරය කේන්ද්‍ර කරගෙන ය.

රත්නපුර ශ්‍රී බෝධිරාජ විහාරාධිපති විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ මාවෙල සුමන නාහිමියන්ගේ අනුශාසනාවෙන් හා විහාරවාසී පින්නවල සිරි සුජාත හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම උදාර කටයුත්ත සඳහා පූර්ණ දායකත්වය දෙන්නේ රත්නපුර සන්ධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති නිශාන්ත සේනාධීර මහතා ය.

මෙහිදී උපහාර ලබන්නේ උතුම් දරු පරපුරක් මෙලොවට දායාද කරන්නට සූදානම් වන ගැබිණි මව්වරුන් සේ ම එවන් දරුවන් බිහිකළ මව්වරුන් ද වීම විශේෂයයි. පුරා වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ රත්නපුර බෝධිරාජ විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන සිදුවන මෙම උපහාර පින්කම ගැන මුලින්ම කීවේ බෝධිරාජාරාම විහාරාධිපති මාවෙල සිරි සුමන හිමියන් ය.

රත්නපුරය බොහෝම පින්වත් නගරයක් . විශේෂයෙන් ම මැණික් ආර්ථිකයක් තිබෙන නගරයක්. දන් පින් කරන ඇත්තන් වගේ ම පිනට දහමට දෙන අයත් බොහොමයි. එහෙත් මේවගේ උදාර අරමුණක් පෙරදැරි කරගෙන. අසීරු කාලයක සිදුවිය යුත්ත සොයා බලා නිසි අයුරින් එය සිදුකරන ආකාරය දුටු විට ඉතාමත් සතුටුයි. නිශාන්ත සේනාධීර මහත්මයා ආගම දහමට බොහොම ලැදි බෞද්ධ උපාසක මහත්මයෙක්.


පින්නවල සිරි සුජාත හිමි

ඒ මහත්මයා මේ පින්කම කරන දවසට සියලු ව්‍යාපාර කටයුතුවලින් ඈත් වෙලා, ඒ වෙනුවෙන් ම කැපවෙලා පුද්ගලිකව ම සොයා බලනවා. දුක සැප විමසා බලා තවත් අවශ්‍ය උපකාර කරනවා.

මේ පිළිබඳව මෙම තරුණ බෞද්ධ ව්‍යාපාරිකයාගේ අරමුණ මෙවැන්නකි.

මම රත්නපුර නගරයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙක්. එදිනෙදා ජීවිතයේ දී මට නොයෙක් විට හමුවෙනවා, අඩුපාඩු අගහිඟකම් ඇති මව්වරු. මම ඒ අයට නොයෙක් විට උපකාර කළා. ඒ උපකාර කිරීම ටිකෙන් ටික වැඩි කරන්න මට හිත දුන්නා. ඒ නිසා සංවිධානාත්මකව ඒ කටයුත්ත කරන්න අපේ හාමුදුරුවො අවශ්‍ය අනුශාසනා දුන්නා. මේ වෙද්දී සෑම මාසයකම අම්මාවරු සියයකට වැඩි ප්‍රමාණයක් මාස්පතා මේ පරිත්‍යාගය ලබනවා.

අද දවසේ ඉන්න පිරිස එකසිය තිහක් (130) ඒ හැම දෙනාටම වටිනාකමකින් යුතු පෝෂණ මල්ලක් දෙනවා.

මේ මව්වරු අපේ හිතුමතයට තෝරා ගන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශය මත තෝරාගන්නේ.

ඒ වගේමයි දරුවන් කිහිප දෙනෙක් සිටින, ජීවන බර වැඩි අම්මලාට වැඩි වැඩියෙන් උදව් කරනවා.

තුන්වැනි දරු උපතේ සිටින මව්වරුන්ටත් වැඩි වැඩියෙන් අපි උදව් කරනවා. ඒ මතු ජාතිය පෝෂණය කිරීමට දිරිදීමක් විදියටයි.

මෙම වැඩසටහනෙහි ඇති අනෙක් සුවිශේෂී බව වන්නේ දැහැමි මව්පියන් වගේම දහම් දැනුමැති සමාජයක් බිහිකිරීමට දායක වීමයි. එම කටයුත්තට අනුශාසනා කරන්නේ, මෙහෙයවන්නේ පින්නවල සුජාත පොඩි හාමුදුරුවන් වහන්සේ විසිනුයි. දරුවන් ලැබෙන්නට සිටින මව්වරුනට ධර්ම දේශනා, පිරිත් සජ්ඣායනා සිදුකිරීම වගේම ධර්ම සාකච්ඡා ද සිදුවන්නේ උන්වහන්සේගේ මෙහෙයවීමෙනුයි.

ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් පමණක් නොව මේ දරුවන්ගේ පියවරුන් ද මෙම වැඩසටහනට සහභාගි වන්නේ නොමද සතුටකිනි. එය ඔවුන් සලකන්නේ ඔවුනට උපදින්නට සිටින දරුවා ලද භාග්‍යයක් ලෙසටයි.

රටම ව්‍යසනයකට මුහුණ දී සිටින මෙවන් අවධියක අඟ හිඟකම්වලින් පීඩාවට පත් මව්වරුන් වෙනුවෙන් නිශාන්ත සේනාධීර මහතා සිදු කරන මෙම මෙහෙවර මහා පින්කමකි.

මේ පිළිබඳව පින්නවල සිරි සුජාත පොඩි හාමුදුරුවන් වහන්සේගේ අදහස මෙසේයි.

නිශාන්ත සේනාධීර මහත්තයාගේ අරමුණ සහ ප්‍රාර්ථනාව ඉතාමත් උතුම්.

අවශ්‍යතාව දැඩිව දැනෙන යුගයක් තමා මේ. වැඩිහිටියො පමණක් නොවෙයි ළමා වියේ දරුවන් පවා අද දුරාචාරයට යොමු වෙලා. අපේ ප්‍රාර්ථනාව බුදුදහමට නැඹුරුව, හෙළ සිරිතට විරිතට ගරුකරන සමාජයක් බිහිකිරීමයි. එහි මූලාරම්භයක් තමා මෙසේ සිද්ධවෙන්නෙ.

මේ අම්මල තාත්තල එවැනි සමාජයක් ගොඩනැඟීමේලා මූලික වෙනවා. අද මේ මව්වරු කුසින් දරුවො දරාගෙන, දරුවො වඩාගෙන බණ පදයක් අසන්නට එනවා. ධර්මානුකූල දිවියක් ගෙවනව. ඒකට ලොකු සවියක් අද මොවුනට ලැබුණ පෝෂණ මල්ල. ලොකු වටිනාකමක්, මෙතුමා ඒ දානමය ප්‍රදානය අඛණ්ඩව සිදු කරන්නේ උදාර පරමාර්ථයකින්. දැහැමි සමාජයක් බිහිවෙනු දැකීම අපගේත් අරමුණයි.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]