[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වචනය වරද්දා ගන්න එප

වචනය වරද්දා ගන්න එපා

වෙනත් කළ යුතු දෙයක් ඉතිරිව තිබුණේ නෑ. භික්ෂූන් වහන්සේලාට නො පැමිණෙන ලෙස කීමටවත්, එම දාන වේල සැපයීම වෙනත් නිවසකට පැවරීමටවත් ඔහුට හැකියාව ලැබුණේ නෑ. ඔහුගේ හිත එයට ඉඩ දුන්නේත් නෑ.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ සමයේ සිදු වුණ කථා පුවතක් තමයි මේ. දවසක් භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් බුදුරජාණන් වහන්සේ බැහැ දැක ‘‘ස්වාමීනි, අප දොළොස් දෙනා වහන්සේ දැනට සති කිහිපයකට පෙර ඔබ වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලැබුවා.

අපගේ ගුරු හිමියන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේ වෙතින් කමටහන් ගෙන භාවනා කිරීමට සුදුසු තැනකට එළැඹ සසර නිමා කර ගැනීමට අවවාද කළා”යි පවසා සිටියා.

බුදුරජාණන් වහන්සේ දොළොස් දෙනා වහන්සේට ම රාග චරිත, මෝහ චරිත ආදි වශයෙන් චරිතය සලකා සුදුසු කමටහන් ලබා දී ගමනට අවසර ලබා දුන්නා. මේ පිරිස භාවනාවට සුදුසු තැනක් සොයමින් ගව් ගණනක් ඈතට ගමන් කළා. දැඩි වෙහෙස සහ සාපිපාසාදිය නිසා රමණීය දොළක් සමීපයේ නැවතී විඩා නිවා ගැනීමට සූදානම් වුණා. පැමිණි පිරිසෙන් වැඩි දෙනකුගේ කැමැත්ත වුණේ ඒ ස්ථානය භාවනාවට සුදුසු බවයි. ඒ ස්ථානයේ සිට මදක් ඈතින් ගමක් ද පිහිටා තිබුණා. පිණ්ඩපාත ගැටලුවට ද එය විසඳුමක් වුණා. පසුදින උදෑසන දොළොස් දෙනා වහන්සේ ම ගමට වැඩම කොට පිණ්ඩපාතය කළා. ඒ ගමේ ජීවත් වුණේ රෙදිවිවීම් කරන පවුල් එකොළොසක පිරිසක් පමණයි. නායක පේසකාර තැන “ ස්වාමිනි, කොහි වැඩම කරන්නේද?”යි තෙරුන් වහන්සේලාගෙන් විමසා සිටියා. නායක තෙරුන් වහන්සේ ‘‘පින්වත් උපාසකය, අප දොළොස් දෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන භාවනා කිරීමට සුදුසු තැනක් සොයමින් ගමනේ යෙදී සිටිනවා”යි පවසා සිටියා.

එවිට නායක පේසකාරයා කල්පනා කරන්නේ ‘‘අනේ අපට උදා වුණ භාග්‍යයක මහත. මේ ගමට භික්ෂූන් වහන්සේ නමක් වසර ගණනාවකින්වත් වැඩම කරනවා දුටුවේ නෑ. අප මුන් වහන්සේලා නවතාගෙන සිවුපසයෙන් උපස්ථාන කරමින් පින් රැස්කර ගත යුතුයි යැයි සිතා ‘‘ස්වාමීනි, අපට අනුකම්පා පිණිස මේ ගම වැඩ වසන්න, අප ඔබ වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරන්නම්”යැයි ප්‍රකාශ කළා. ගම් ප්‍රධානියාගේ ආරාධනාව ප්‍රධාන තෙරුන් වහන්සේ බාර ගත්තා.

පසුදින සිට ගමට පිණ්ඩපාතය යාමටත්, භාවනා කටයුතු කිරීමටත්, දායකයින්ට ධර්ම දේශනා පැවැත්වීමටත් කටයුතු යොදා ගත්තා. ප්‍රධාන දායකයා දොළොස් දෙනා වහන්සේ ගමෙහි සිටි පවුල් එකොළොසට බෙදා තමන්ගේ නිවසින් දෙනමකට සිවුපසය පූජා කිරීමට බාර ගත්තා. ප්‍රධාන දායකයාගේ බිරිඳ එයට උරණ වුණා. ‘‘අප හම්බ කරන ධනයෙන් වැඩි කොටසක් භික්ෂූන්ට දීමෙන් අපට සිත් සේ අනුභව කිරීමට කිසිවක් ඉතිරි වෙන්නේ නෑ. ඔය එන ශ්‍රමණයින්ට ම ඔක්කොම දේවල් දීලා පෙර ආත්මයේ සැප ලැබෙයි තමයි. ඔය දෙන දන්වලින් ලබන ආත්මයේ සැප වෙනුවට ඔබට කන්න වෙන්නේ මල මූ, සැරව ලේ ආදිය තමයි. කිසිම පිනක් සිදු නොවන දේ වෙනුවෙන් කරන වියදම්වලින් ප්‍රයෝජනයක් නෑ” යි නිතර දොස් පවරමින් සැමියාට වෙනස්කම් කළා. පරිභව කළා. තුන් මසක් ගෙවා දැමීමට බැරි තත්ත්වයකට ප්‍රධාන දායකයා පත් වුණා. එහෙත් වෙනත් කළ යුතු දෙයක් ඉතිරිව තිබුණේ නෑ. භික්ෂූන් වහන්සේලාට නො පැමිණෙන ලෙස කීමටවත්, එම දාන වේල සැපයීම වෙනත් නිවසකට පැවරීමටවත් ඔහුට හැකියාව ලැබුණේ නෑ. ඔහුගේ හිත එයට ඉඩ දුන්නේත් නෑ.

කොහොමහරි දානය සකසා ගැනීමට අවශ්‍ය නිසා බිරිඳගේ නැඟණිය නිවසට ගෙන්වා ගෙන ඇයලවා බොහෝ බැණුම් අතරේ දානය පූජා කර ගැනීම කළා. තෙරුන් වහන්සේලා වස් තුන් මාසය වැඩ සිට භාවනා කටයුතු නිසි සේ සිදුකරගෙන අර්හත් භාවය ලබාගෙන නැවතත් ගමෙන් පිටත් වුණා. ගම් වැසියොත් ක්‍රමයෙන් වයසට ගොස් පරලොව ගියා. ප්‍රධාන දායකයා එ ගමට නුදුරින් ඇති විශාල වනයක විශාල ගසකට අරක් ගත් වන දේවතාවෙක් ලෙස උපත ලැබුවා.

ඔහුගේ බිරිඳ වන දේවතාවාගේ දිව්‍ය විමානයට නුදුරු තැනක ප්‍රේතියක්ව උපත ලැබුවා. ඇය අනුන් ඉවත ලන මලමූ, සැරව සහ ලේ ආහාරයට ගනිමින් ජීවත් වුණා.

ඇයට හැඳීමට වස්ත්‍ර පහළ වුණේ නෑ. නිතර දුකින් පීඩිතව හැසිරෙන ඇයට දිනක් වන දේවතාවා මුණ ගැසී පෙර තොරතුරු සාකච්ඡා කර දෙදෙනා හඳුනා ගත්තා. වන දේවතාවාට පුදුම දුකක් දැනුණා. ඔහුට පහළ වන දිව්‍ය ආහාර පාන සහ සළුපිළි ඇයට ද ලබා දුන්නා. ඒවාට අත තබන සැනින් ඒ සියල්ල මලමූ, සැරව සහ ලේ බවට පත් වෙනවා. එහෙත් වෙන කරන්න දෙයක් නැති නිසා ඒවාම ඇයට කන්න සිද්ධ වෙනවා. දෙන සළු යකඩ ගිනි සළුවක් බවට පත් වෙනවා. ඇඟ දවටා ගත් සැනින් ඇය පිච්චෙන්න පටන් ගන්නවා. මෙහෙම කාලය ගත වෙන අතරේ දිනක් ඒ දිව්‍ය විමානය සහිත කැලෑව මැදින් වෙළඳ කණ්ඩායමක් වෙනත් නගරයකට යන්න යනවා. පිරිස රාති‍්‍රයක් ගත කිරීමට එතැන තෝරා ගන්න තීරණය කරනවා. ඒ පිරිස සමඟ එක් භික්ෂූන් වහන්සේ නමක් ද පිටත් වී තිබුණා. තෙරුන් වහන්සේ ගව් ගණනක් පයින් ම වැඩම කළ නිසා බොහෝ වෙහෙසට පත් වී සිටියා. උන්වහන්සේ ගහක් සමීපයේ දෙපට සිවුර එළා නිදා ගත්තා. වෙළඳ පිරිසත් රාති‍්‍රය එහි ම ගත කළා.

පසුදින උදෑසන ම වෙළඳ පිරිස පිටත් වුණත් තෙරුන් වහන්සේට කතා කළේ නෑ. උන්වහන්සේ පිරිසට මදක් ඈතින් පිහිටි ගහක් යට සැතපී සිටි නිසා පිරිසට අමතක වී තිබුණා. තෙරුන් වහන්සේ අවධිවන විට දිවා දාන වේලාවට කාලය ද උදාවී තිබුණා.

දිව්‍ය පුත්‍රයා එය දැක උන්වහන්සේ වෙත මිනිස් වේශයකින් පැමිණ දිව්‍ය විමානයට වැඩමවාගෙන ගොස් දිව්‍යමය ආහාර පාන පූජා කළා. ඒ අතර දිව්‍ය පුත්‍රයා හමු වී කිසියම් අහරක් ඉල්ලා ගැනීමට ප්‍රේතියත් පැමිණියා. තෙරුන් වහන්සේ ඇගේ රූපයත් වන දෙවියා විසින් දුන් ආහාර සහ සළු ආදිය වහා වෙනස් වෙන ආකාරයත් දැක එයට හේතු විමසා සිටිනවා.

තෙරුන් වහන්සේට සියලුම පුවත් වන දෙවියා ප්‍රකාශ කළා. ඇය ගිය ආත්මයේ කළ අකුසල කර්මය නිසා මේ දේ සිදුවන බව වන දෙවියා පවසා සිටියා. ඒවගේ ම මෙයින් නිදහස්වීමට ක්‍රමයක් තිබේ නම් දේශනා කරන ලෙසත් ඉල්ලා සිටියා.

තෙරුන් වහන්සේ එවිට දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට හෝ ආර්ය සංඝයා වහන්සේට හෝ ආර්ය සංඝයා නියෝජනය කරමින් ලබා ගත් එක් භික්ෂුන් වහන්සේ නමකට හෝ දන් පැන් සහ වස්ත්‍ර පූජා කර එම පින් ඇයට අනුමෝදන් කරන ලෙසත්, ඇය විසින් ද ඒවා අනුමෝදන් වන ලෙසත් ය.

එවිට මෙම තත්ත්වය මඟ හැරෙන බව දන්වා සිටියා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමෙහි සමර්ථ වූ වන දේවතාවා වහා දන් පැන් පිළිගන්වා දිව්‍ය වස්ත්‍ර යුගළයක් ද තෙරුන් වහන්සේට පූජා කර ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට වන දෙවියා කටයුතු කළා. එසැණින් ම ප්‍රේතිය සියලු දුකින් නිදහස් ව දිව්‍ය ආහාරපාන සහ දිව්‍ය සළුපිළි ආදිය ලැබී දිව්‍ය අප්සරාවක සේ පෙනී සිටියා.

වන දෙවියන් භික්ෂූන් වහන්සේට අනුග්‍රහ පිණිස දිව්‍ය තේජසින් ම උන්වහන්සේ ව බුදුරජාණන් වහන්සේ සමීපයට ම වැඩම කරවූවා. දිව්‍ය සළු යුගළය තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේට පූජා කර සියලු පුවත් දන්වා සිටියා. එකල්හි බුදුරජාණන් වහන්සේ වාග් දුශ්චරිතයෙහි පවත්නා බිහිසුණු බව දන්වමින් ධර්ම දේශනා කළා. බොහෝ පිරිසක් ඒ ධර්මය අසා සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට භාග්‍ය සම්පන්න වුණා.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]