[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභිනව නායක පදවි ලබන මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමි

අභිනව නායක පදවි ලබන මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමි

මොරටුව ලුනාව උයන පාරේ ශ්‍රී බෝධිරාජාරාමාධිපති, මොරවක කලුබෝවිටියන ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරාධිකාරී, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය, අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පෙබරවාරි මස 10 වැනි දින මහනුවර මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙනි.

දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළබද අගලකඩ ග්‍රාමය නූතන ධර්මශාස්ත්‍රෝද්දීපනියෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන්නේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක වූ වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරාධිපතිව වැඩ සිටි අගලකඩ ධර්මරක්ෂිතාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ජන්ම භූමිය වීම නිසා ය.

එකී ග්‍රාමවරයේ ශාස්ත්‍රෝන්නතිකාමීත්වය නොකඩ කොට අනාගතය කරා සම්ප්‍රේෂණය කිරීමේ පෙරගමන්කරුවාණන් වහන්සේ මහාචාර්ය අගලකඩ සිරිසුමන මාහිමිපාණන් වහන්සේ ලෙස සැලකීම සුදුසු ය.

වර්ෂ 1961 මැයි මස 14 වැනි දින අගලකඩ විසූ ශ්‍රද්ධාදී ගුණාංගයන්ගෙන් පිරිපුන් මාතර ගමගේ පැන්ටිස් අප්පුහාමි මැතිතුමාගේ සහ තැලිකෝරළගේ හින්නිහාමි මැතිණියගේ පුත්‍රයකු ලෙස මෙලොව එළිය දුටු සිරිල් කුලකුමරුවාණෝ පෝරතොට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පස්වැන්නේ ශිෂ්‍යත්ව විභගය සමර්ථව තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ.

සිරිල් දරුවාගේ පූර්වෝකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් දෝ නිරායාසයෙන්ම සිත ප්‍රව්‍රජ්‍යාවට යොමුව තමන් උසස් ගුණැති ගුරුහිමිනමක යටතේ පැවිදි වීමට කැමති යැයි ස්ව කැමැත්තෙන් පුවත්පත් දැන්වීමක් පළ කළ අතර ඊට රටේ විවිධ ප්‍රදේශවල නාහිමිවරුන්ගෙන් ප්‍රතිචාර ලැබී තිබුණි. කළුබෝවිටියන ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරස්ථානයේ දී සරභඤ්ඤ විශාරද දෙහිගස්පේ සුමනසාර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්ව අගලකඩ සිරිසුමන යැයි නම් ලැබ බද්දේගම මාජුවානේ ඉන්දසාර මහා පිරුවනින් වර්ග පටිපාටියෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට වර්ෂ 1985 දී මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ.

සිරිසුමන හිමියන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයනාංශයට ඇතුළත්ව මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය පියසීලි විජේගුණසිංහ, මහාචාර්ය රෝහිණී පරණවිතාන වැනි සම්භාවනීය ඇදුරු මඬුල්ලක් වෙතින් අධ්‍යාපනය ලබා සිංහල විශේෂවේ දී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සමත්වූහ.

මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති පදවිය හොබවන ලද වකවානුවේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවයට එක් වී අනුක්‍රමිකව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය පදවි දක්වා උසස්වීම් ලබමින් වර්ෂ 2009 සිට 2015 දක්වා සිංහල අධ්‍යයනාංශාධිපති පදවිය හෙබවූහ.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක, නේවාසිකාගාර පාලක, තාක්ෂණ කමිටු සාමාජික, ශ්‍රීපාලි මණ්ඩපයේ පාලක සභික තනතුරු ඇතුළු කාලානුරූපීව විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු වෙනුවෙන් ද මාහැඟි දායකත්වයක් සිරිසුමන හිමියෝ සැපයූහ.

එසේම බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සමලේකම් පදවිය හෙබවීම, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ ආරම්භ කළ ජනවිජය වැඩසටහනෙහි ක්‍රියාකාරීත්වය දැරීම ඇතුළු සුබසාධක කටයුතු රාශියක් ද අගලකඩ මාහිමියන්ගේ මෙහෙවර අතර වෙයි.

අමාවතුර ගැටපදය අකාරාදිය, ගුත්තිල කාව්‍යය සංස්කරණය, හංස සන්දේශය සංස්කරණය, උසස් පෙළ විභාගය සඳහා ගුත්තිල කාව්‍යය, විමසුම් ධාරා - සම්භාව්‍ය සාහිත්‍ය කලා , බෝසත් කතා පෙළ නැවත කියවමු, බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය, විසුද්ධි මාර්ග සන්නය, දඹදෙණි කතිකාවත හා භික්ෂු සමාජය, හෙළ සිරිත් විරිත්, නුවණ පුබුදන දහම් අරුණළු, සම්භාව්‍ය සාහිත්‍ය විචාරය ඇතුළු ග්‍රන්ථ රාශියක් රචනා කිරීම, අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංහිතා, මහාචාර්ය කුසුමා කරුණාරත්න අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය ආදී ග්‍රන්ථයන්හි සංස්කාරක පදවි හෙබවීම සේ ම විවිධ සඟරා සහ පුවත්පත් වෙනුවෙන් ලිපි රචනා කිරීම මාහිමියන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර අතර වෙයි.

අගලකඩ සිරිසුමන මාහිමියන් වහන්සේ ශ්‍රී ලාංකික ජන විඤ්ඤානයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරන්නේ ධර්ම දේශක හිමිනමක වශයෙන් බැව් සඳහන් කිරීම සුදුසු ය. සිරිලක ගම්දනව් සිසාරා වැඩමවමින් සහ රූපවාහිනී, ගුවන්විදුලි සහ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ තමන්වහන්සේට ම අනන්‍ය වූ ලගන්නා සුලු සරල බස් වහරකින්, සන්සුන් වූ කාරුණික ස්වරයෙන් උචිත තැන උචිත දේ බිණීමේ මිතභාෂණයෙන් යුතුව සිදු කරන දහම් දේශනා සැදැහැවතුන්ගේ ශාසනාභිරතිය ඔප්නැංවීමට හේතු වී ඇතැයි යන්න ප්‍රත්‍යක්ෂයකි. පූජාවලිය ඇසුරින් ගුවන්විදුලි ධර්ම දේශනා සියයකට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇත.

අධ්‍යාපන කටයුතුවලින් පසු ගල්කිස්සේ සුගත ධර්මායතන විහාරස්ථානයේ වැඩසිටිමින් ලෝක ශාසන සංග්‍රහයේ නිරත වූ අගලකඩ සිරිසුමන මාහිමියන් වහන්සේ 2006 වර්ෂයේ දී මොරටුව ලුනාව උයන පාරේ බෝධිරාජාරාමයට වැඩම කළහ. ඒ වන විට කිසිවකුගේ අවධානයට යොමු නොවූ, සදාචාර සහ ආර්ථික සංවර්ධනයෙහිලා මඟ පෙන්වීමක් සැපයිය යුතුව පැවති ලුනාව උයන ප්‍රදේශය සුමගට ගැනීම උදෙසා සිදු කළ මෙහෙවර සුවිශේෂී වෙයි. ශ්‍රී බෝධිරාජාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරවා වෘත්තීය පුහුණු වැඩසටහන් ඇතුළු සුබසාධන කටයුතු අරඹමින් ප්‍රදේශයේ සදාචාර සංවර්ධනයට කටයුතු සම්පාදනය කරන ලදී. බහු ආගමික හා සංස්කෘතික පරිසරයකින් හෙබි මොරටුව ලුනාව කලපුව ආශ්‍රිත උයන ප්‍රදේශයට අගලකඩ සිරිසුමන මාහිමියන්ගේ ආගමනය සුවිශේෂී සමාජ පරිවර්තනයකට මඟ පාදන්නක් විය.

තමන් වහන්සේ පැවිදිබිමට පත් කළුබෝවිටියන මහානුභාවසම්පන්න ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරස්ථානයේ නවෝදය පිණිස ද කටයුතු යොදා කළුබෝවිටියන ජනතාවගේ සුබසාධනය පිණිස වෛද්‍ය සායන ඇතුළු සුබසාධන කටයුතු ද සිදු කළහ.

මෙලෙස උභය ලෝක ශාසනික අර්ථචර්යාවෙහි පිළිපන් අගලකඩ සිරිසුමන හිමියන්ගේ මහරු මෙහෙවර කෙරෙහි පැහැදුණු මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍ර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් හෑගොඩ ඛේමානන්ද නාහිමි සහ අත්තුඩාවේ පියරතන නාහිමි යන සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේලා හොබවන ලද බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිපාණන් වහන්සේ වෙත පිරිනමන ලදි.

රටෙහි ආන්දෝලනාත්මක ප්‍රශ්නයන්හි දී නොපැකිළ තම මතය ඉදිරිපත් කරමින් සමාජයේ ප්‍රශංසාර්හත්වයට පත් වන සේක. තමන් වහන්සේටම අනන්‍ය වූ ආරෝහ පරිනාහ දේහාධාරීත්වයෙන් ද, සුගම කාරුණික බස් වහරින් ද අනතිමානීගුණයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව සුපේශල ශික්ෂාකාමී පැවිදි දිවියකට හිමිකම් කියන මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික සංග්‍රහයෙහි යෙදීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]