[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක් විඳින අය අතර නිදුකින් සිටින්නේ මෙහෙමයි

දුක් විඳින අය අතර නිදුකින් සිටින්නේ මෙහෙමයි

බුදුරජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ යෙදෙමින් වස් සමයක් ගත කිරීමට රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කළා. භික්ෂු-භික්ෂූණී, උපාසක-උපාසිකා පිරිස ද දම් සභාවට එකතු වෙමින් ධර්ම ශ්‍රවණයට අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තා.

මෙ සමයේ බුදුරජාණන් වහන්සේ වෙත එළැඹුණු නාරද නම් තෙරුන් වහන්සේ නමක් භාවනා කිරීමට අවශ්‍ය කමටහන් ලබා ගෙන ගිජ්ඣකූට පර්වතයේ ලෙනකට වැඩම කළා. දින, සති ගෙවමින් කාලය ගත වුණා.

දිනක් සුපුරුදු පරිදි උදෑසන පිණ්ඩපාතය පිණිස පිටත් වුණා. සූර්යාලෝකය එළැඹීමටත් පෙර ගමන ආරම්භ කිරීම උන්වහන්සේගේ දෛනික සිරිතයි. වැඩ සිටින කුටියේ සිට සැතපුම් කිහිපයක් ඈතින් ගම පිහිටි නිසා වේලාසනින් පිටත්විය යුතුව තිබුණා.

එදා තෙරුන් වහන්සේ වඩින මාර්ගයේ ඈතින් රන්වන් ආලෝක දහරාවක් එක් වරම විහිදෙන්නට පටන් ගත්තා. නාරද මහ තෙරුන් වහන්සේට අදහා ගත නොහැකි සැකයක් වුණා.

වෙන කවරදාකවත් එවැනි දෙයක් තමන් වහන්සේගේ ඉදිරියට හමු වී තිබුණේ නෑ. වෙනදාත් මම මේ මාර්ගයේ ම ගමන් කළා. ඒ එකම දවසකවත් මේ වගේ රන්වන් ආලෝකයක් දැක්කේ නෑ. මේ කුමක් විය හැකිද? මා වෙත පැමිණෙන විපතක් ද? නැතහොත් වෙනයම් සිදුවීමක් ද? මායාවක් ද? මාගේ ගමනට බාධා පමුණුවන්නක්ද? යනුවෙන් කල්පනා කරන්න පටන් ගත්තා.

මොහොතක් නැවතී සිටියත් සංවර ගමනින් නැවතත් ඉදිරියට ම ගමන් කළා. ආලෝකය සමීපයට ම වැඩම කළා. එකෙණෙහි ම ආලෝක දහරාව දරාගෙන දත් දෙකක් ඉදිරියට නෙරා ගිය, විශාල නාස් කුහරවලින් යුක්ත, අප්‍රසන්න මුහුණක් දරන, ඇස් ඉතා කුඩාවට පිහිටි, මුහුණෙහි හැඩරුව ඌරකුගේ වැනි, දුඟද හමන මුඛයක් ඇති ප්‍රේතයෙක් උන්වහන්සේ වෙත පැමිණ නමස්කාර කර මෙහෙම කතා කළා.

‘පින්වත් ස්වාමීනි, බිය වෙන්න එපා. මම ප්‍රේතයෙක්, මමත් ඔබවහන්සේ ගත කරන ජීවිතය වගේ භික්ෂු ජීවිතයක් පෙර දවසක ගතකළා. චීවරය දැරුවා, මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලැබුවා, ධර්මය දේශනා කළා, සංවරව ගමන් කළා, හරියට ඔබවහන්සේ දැන් ගමන් කරනවා වගේමයි. මගේ ගමන ඉතාම සංවර වුණා.

මම භික්ෂුවක් බවට පත් වුණේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමයේ, උන්වහන්සේගෙන් ධර්මයත් ඇහුවා, උන්වහන්සේගෙන් භාවනා කමටහන් ගෙන භාවනා කළා. ඒත් පින්වත් ස්වාමීනි, එකල මගේ ජීවිතයේ විශාල දුර්වලකමක් තිබුණා. පොඩි දෙයටත් කේන්ති ගෙන භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා සිව්වනක් පිරිසටම දොස් නැඟුවා. ඔවුන්ගේ ශරීර ඌණතා, කුල ගෝත්‍ර ආදිය වගේම ඔවුන්ගේ ගිහි කල ජීවිත තොරතුරු ද මතක් කරමින් දොස් පැවරුවා, අපහාස කළා.

කොතරම් උත්සාහ කළත් මගේ වචනය මට සංවර කර ගන්න බැරි වුණා. පින්වත් ස්වාමීනි, ඔබවහන්සේට පෙනෙන අයුරින් මම අද මෙසේ පෙනී සිටියේ මට වුණු විපත ඔබවහන්සේට කියන්නයි. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන මිනිසුන් තමන්ගේ තනතුර, ධනය. සමාජ ගෞරවය, ඥාතීත්වය, කුලය, ගෝත්‍රය, වංසය, ප්‍රදේශය, ගම, රට, මගේ යැයි හෝ අපේ යැයි සිතා පක්ෂපාති වී අන් අය පීඩාවට, දුකට, අපහසුතාවට පත් කිරීමට කටයුතු කරනවා, වාග් දුශ්චරිත භාවිත කරනවා, වචනයෙන් අකුසල් කරමින් ජීවත් වෙනවා. එවැනි පිරිස් දැන් ඉතා ඉහළයි. ඔවුන් දැනුවත් කර මේ දුකට පත්වීමෙන් මුදවාලන්නටයි මම අද මෙසේ පෙනී සිටියේ.

ඔබ වහන්සේ ධර්ම දේශනා කරන විට මගේ මේ පුවත දේශනා කරන්න. මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ භික්ෂුවක් ලෙස ජීවත් වෙමින් කටයුතු කළත් මා වෙතින් සිදු වූ වාග් අකුසලය නිසා මරණින් පසු නිරයේ ඉපදුණා. වසර දහස් ගණනක් දුක් වින්දා, බුද්ධ කල්පයක්ම දුක්වින්දා

සිල්වත් භික්ෂූන්ට, භික්ෂුණීන් වහන්සේලාට වගේම උපාසක-උපාසිකා පිරිස්වලට මම අපහාස කළා. දොස් පැවරුවා. එකල මගේ පැවිදි තත්ත්වයත්, සමාජ පරිසරයත්, ලැබුණ ගෞරව නාමත් එයට බලපෑම් කළා. සත්‍ය යටපත් වී නිසරු දේ වෙනුවෙන් අයහපත් වචන භාවිත කළා. එහි විපාක නිසා අප්‍රසන්න, පිළිකුල් දුගඳ හමන මුහුණක් හිමිවුණා.

කය සංවරව තබා ගත් නිසා ආලෝකවත් රන්වන් ශරීරයක් හිමි වුණා. මනුෂ්‍ය සත්ත්වයා මේ විපතින් මුදවා ගන්න කටයුතු කරන්න. දැන් මම වසර සිය දහස් ගණනක් දුක් විඳින්නේ වචනය සංවර කර ගැනීමට නොහැකි වුණු නිසා. ඔබ වහන්සේ මගේ කතාව මනුෂ්‍ය ලෝකයාට දේශනා කරන්න යැයි නාරද තෙරුන් වහන්සේට වන්දනා කරමින් නැවත නැවතත් තමන්ගේ දුක දන්වා සිටියා.

තෙරුන් වහන්සේ ඒ සියල්ල හොඳින් අසා සිට රන්වන් ආලෝකය විහිදෙන ප්‍රේතයා අමතා

‘නුඹගේ ශරීරය රමණීයයි, ආලෝකයෙන් බබළනවා. එහෙත් මුහුණ දැකීම පිළිකුල්, එය දුටු විට බියට පත් වෙනවා. ඔබගේ මුහුණ ඌරකුගේ මුහුණක් වගේ අප්‍රසන්නයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පැවිදි වී, ධර්මය අසන්නත් ලැබී, ශාසනික තනතුරු හොබවමින්, සංවරව දිවි ගෙවූ ඔබට වාග් දුශ්චරිතය නිසා මෙතරම් බියකරු දුකක් බුද්ධ කල්පයක් පුරා විඳවන්නට සිදු වූවා නම් මනුෂ්‍ය ලෝකයේ දිවි ගෙවන සාමාන්‍ය ජනයා කොතරම් නම් වචනයෙන් සංවර විය යුතු ද?

සසර ඉතාම බියකරුයි. සුළු වරදින් විශාල විපතක්, දුකක් හිමිවීමට ඇති ඉඩ ඉතා ඉහළයි. මම ඒ දුක මාගේ ඇස් ඉදිරියේ අද දැක ගත්තා. ඔබගේ ජීවිතය සුවපත් වේවායි මා ආශිර්වාද කරනවා. ලෝ වැසි ජනයාට ඔබ විඳින අපමණ දුක පහදා දෙමින් ඔබ මෙන් නොවන්නට ධර්මාවවාද කිරීමට මම පොරොන්දු වෙනවා. බුදුරජාණන් වහන්සේට ද මේ බව සැල කර සිටිනවා යැයි දේශනා කර උන්වහන්සේ පිඩු පිණිස පිටත් වුණා.

තෙරුන් වහන්සේ පිණ්ඩපාත කටයුතු අවසන් කොට සවස් යාමයේ දම් සභාවට වැඩම කළා. පැමිණ සිටි පිරිසට තමන් වහන්සේ මුහුණ දුන් අත්දැකීම විස්තර කරන්නට යෙදුණා. මේ අවස්ථාවෙහි දම් සභාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් විමසා අසවල් කථා පුවතින් යුක්ත වූ බව දැන්වූ කල්හි භික්ෂූන් වහන්සේලාගේ ආරාධනයෙන් වාග් සුචරිතයෙහිත්, වාග් දුශ්චරිතයෙහිත් විපාක දේශනා කරන්නට පටන් ගත්තා. විහිලුවටවත් හෝ වාග් දුශ්චරිතය භාවිත නො කළ යුතු බව දේශනා කළා. දේශනාව කෙළවර බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලබා ගත්තා.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]