[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැරැදුනාට පරදින්න එපා

වැරැදුනාට පරදින්න එපා

නොදන්නාකම නිසා ධර්මය නොඇසූ නිසා අපට ජීවිතය වරදින්න පුළුවන්. එහෙත් ධර්මයෙන් අපට කියා දෙන්නේ වැරැදුනාට කමක් නැහැ ජීවිතය පරදින්න එපා කියල යි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා යම් කෙනකුගේ ජීවිතය කලින් ප්‍රමාද වී සිටින්නට පුළුවන්. එහෙත් ධර්මය අසන්නට ලැබුණාට පසුව ධර්ම කරුණු සිතට ගෙන ධර්මය අනුව කටයුතු කරන්න උත්සාහවත් වුණොත්, ඔහු වලාකුළෙන් මිඳුණු පුන්සඳ වගේ බබළනවා කියලා.

අපගේ ශාස්තෘන් වහන්සේ කෙදිනකවත් ගිහි අපට සැප විඳින්න එපා කියා වදාළේ නැහැ. ලස්සන නිවසක, ලස්සන වාහනයක් අරගෙන, හොඳ දරු පවුලක් සමඟ ජීවත් වෙන්නට එපා කියා වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසල් කරන්න එපා. කුසල් කරන්න කියා පමණ යි. අකුසල් කළොත්, පව් කළොත් දුක පිණිස කර්ම රැස්වෙන බව උන්වහන්සේ අපට කියා දුන්නා. ඒ වගේම පින තුළින් සැපය ඉපදෙන බවත් ධාර්මිකව නිතර නිතර පින් කරන ලෙසත් වදාළා. එසේ ගිහියකුට ධාර්මිකව ලබන්න පුළුවන් සැප හතරක් ගැන වදාළා.

දිනක් අනේපිඬුසිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට ආ වෙලාවේ දී උන්වහන්සේ පංචකාම පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට, අවස්ථානුකූලව ලබන සැප හතරක් ගැන වදාළා.

ගිහියා විඳින ඒ සැපයන්ට කියන්නේ පංචකාම පරිභෝග සැපය කියලා. ඒ කියන්නේ ඇසට පේන රූප බලමින්, කනට ඇසෙන ශබ්ද අසමින්, නාසයට දැනෙන ගඳ සුවඳ විඳිමින්, දිවට දැනෙන රස පහස විඳිමින්, කයට දැනෙන පහස විඳිමින්, මනසින් අරමුණු සිතමින් ජීවිතයේ යම් යම් සැප ලබනවා. ඒ පංචකාම සැපයයි. මව්පියන්, බිරිඳ, සැමියා, දරුවන්, රැකී රක්ෂා, යානවාහනවලින් අප සතුටු වෙනවා. මේ දේ නිසා සැපයක් විඳිනවා. ගිහි පුද්ගලයා ලබන සැපය මෙසේ යි.

දැහැමි ධනයක සතුට

බුදුරජාණන් වහන්සේ වදාළේ ගිහි ගෙදර ජීවත්වන ඕනෑම කෙනකුට නැඟී සිටින වීර්යය තිබිය යුතු බවයි. ඔහු කම්මැලි නැතිව, දුක්මහන්සියෙන් අතපය වෙහෙසවලා, දහඩිය වගුරවා ධාර්මිකව මුදල් උපයනවා. ධාර්මිකව උපයන සියලු වස්තුව ඔහුට කැපයි. ධාර්මිකව උපයන දේ තුළින් ධාර්මිකව භුක්ති විඳිමින් ඔහු සැපයක් ලබනවා. එවිට ඔහු සිතනවා “මම විසින් මෙසේ උපයා ගත් මේ සියලු සම්පත් මම උපයා ගන්නේ මගේ ම උත්සාහයෙන් . වීර්යයෙන්, කැපවීමෙන්, එයින් මම සතුටක් ලබනවා” කියා සිතනවා.

තමන් ඉපදෙනකොට ම අම්මා, තාත්තාට විශාල ධනයක් තිබෙන්නේ ඉතාම සුළු පිරිසකට යි. සියලු දෙනාට ඒ පින නැහැ. බොහෝ දෙනා අධ්‍යාපනය හදාරලා ව්‍යාපාර, රැකියා කරමින් තමන් විසින් දුක් මහන්සියෙන් තමයි ජීවිතය ගොඩනඟා ගන්නේ. ඉතාම දුක් විඳලයි නිවසක් පවා ඉදිකරන්නේ. වාහනයක් ගන්නේ. ඔහු ධාර්මිකව මේ දේ උපයා ගත්තා නම් ඒ දේ පරිභෝග කරන විට ඔහු යම් සැපයක් විඳිනවා. ඒ සැපය අත්ථි සුඛය යි. “ ධාර්මිකව උපයාගත් භෝග සම්පත් මට තිබෙනවා” කියා සිතන විට විශාල සතුටක් දැනෙනවා. සැපයක් දැනෙනවා. නමුත් යම් කෙනෙක් අධාර්මිකව ධනය උපයා තිබෙනවා නම් ඒ සතුට අහිමි යි.

පරිහරණය කිරීමේ සතුට

භාග්‍යවතුන් වහන්සේ වදාළා ගිහි ගෙදර ගත කරන කෙනකු නැඟී සිටි වීර්යකින් කටයුතු කරනවා. කම්මැළි නම් ඒ ජීවිතය සාර්ථක නැහැ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළ කාරණයක් තමා නැඟී සිටි වීර්යය කියන්නේ. අතපය වෙහෙසවා, දහඩිය වගුරවමින් ධාර්මික ව මුදල් උපයනවා. අප රැකියාවක් කළත්, ව්‍යාපාරයක් කළත් ධාර්මිකව මුදල් උපයන්නට නම් මහන්සි වෙන්න වෙනවා. කැප වෙන්න, වීර්යය කරන්නට සිදු වෙනවා. නැඟී සිටි වීර්යයෙන් කටයුතු කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මෙසේ උපයා ගත් බෝග සම්පත් ඔහු දරු පවුල සමඟ පරිහරණය කරනවා. ඒ වගේම පින් කුසල් නො අඩුව සිදු කරමින් ජීවිතයට පින රැස් කර ගන්නවා. හම්බකරගත් දේ ගොඩගසා ගන්නේ නැතිව තැනට සුදුසු අයුරෙන් වියදම් කරනවා.

අද සමාජයේ ඇතැම් දෙනා බෝග සම්පත් තිබුණාට පාවිච්චි කරන්නට හිතන්නේ නැහැ. පිනක් කරන්නට කැමැති නැහැ. ඒ පුද්ගලයාට භෝග සුඛය නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ පුද්ගලයා සිතනවා “මා විසින් මේ බෝග සම්පත් උපයා ගත්තේ බොහෝ කැපවෙලා. මහන්සි වෙලා. වෙහෙසිලා. කම්මැළි නැතිව වැඩ කරලා. දුරාචාරයෙන් ඈත් වෙලා. ඉතින් මම එසේ උපයා ගත් මේ භෝග සම්පත්වලින් හොඳට පින්, දහම් කරනවා වගේම ඒ දේ පරිහරණය කරලා සතුටින් ජීවත් වෙනවා කියා ඔහුට සිතෙනවිට ලොකු සහනයක්, සැපයක් ලබනවා කියා. ගිහි කෙනකු විඳිය යුතු ඒ දෙවැනි සැපය භෝග සුඛයයි.

ණය නැති වීමේ සතුට

ගිහියකුට ලබන්නට පුළුවන් තුන්වැනි සැපය තමා අණනසුඛය. ගිහි ගෙදර ගත කරන කෙනෙකුට සිතෙනවා මම ස්වල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් කිසිම දෙයක් කිසිම කෙනකුට ණයවෙලා නැහැ. මම ණය නැති ජීවිතයක් ගත කරන කෙනෙක් කියා. එසේ සිතන විට ඔහුගේ සිතට විශාල සැපයක්, සතුටක් ඇතිවෙනවා. ඒ සැපයට අණන සුඛය කියනවා.

වර්තමාන සමාජයේ බොහෝ අයට නැති සැපය මේ අණන සැපයයි. අවශ්‍යතා වැඩි නිසා බොහෝ අය කරන්නේ ණය වෙන එකයි. අවශ්‍ය දෙයට වගේ ම අනවශ්‍ය දෙයටත් ණය වෙන්න පුරුදු වෙලා. සමහර අය ණය වීම ගැන ලොකුවට හිතන්නේ නැහැ. අපේ ජීවිතයේ ලැබෙන දේ අතරින් යමක් ලබා ගන්නට නම් පිනට ලැබෙන්න ඕන. නැතිනම් දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත් දෙයකින් එය ලබා ගන්න ඕන. නැතිනම් ණයට ගන්න ඕන. එසේ නැතිනම් සොරකම් කරන්න ඕන. මේ අතරින් ධාර්මිකව උපයා ගන්න නම් වෙහෙස මහන්සි වෙලා උපයන්නට සිදු වෙනවා. මේ අණන සුඛය ගිහි කෙනෙකුට තිබිය යුතු සැපයක්. අප සැපයක් විඳීමට ණය වුවත් එසේ ණයවීම තුළින් තිබූ සැපයත් අහිමිව යන අවස්ථා තිබෙනවා.

වැරැදි නොකිරීමේ සතුට

භාග්‍යවතුන් වහන්සේ වදාළා හතරවන සැපය ලෙස අනවජ්ජ සුඛය. ගිහි ආර්ය ශ්‍රාවකයකුට තිබෙනවා නිවැරැදි කායික ක්‍රියාවක්. කයින් සිදුවන ක්‍රියා නිවැරැදියි. වචනයෙන් කතා කරන දේත්, මනසින් සිතන අරමුණුත් නිවැරැදියි. එය අනවජ්ජ සුඛයයි.

අප උදෑසන අවදි වූ වෙලාවේ සිට සිත, කය, වචනය ක්‍රියාත්මක යි. මේ තුළින් තමාටත්, අනුන්ටත් යහපත මෙන් ම අයහපත පිණිස පවතින දේ සිදුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා කයින් කරන දේ, වචනයෙන් කතා කරන දේ, මනසින් සිතන දේ නිවැරැදි නම්, එතැන තිබෙන්නේ අනවජ්ජ සුඛය කියා. මේ සැපය බොහොම වැදගත්. අපට පුළුවන් නම් මිනිස් ජීවිතය ලැබුණු වෙලාවේ දී මේ සිතින්, කයින්, වචනයෙන් තමාටත් අනුන්ටත් හානියක් නොකර ඒ ශරීරය පරිහරණය කරන්න, එයයි අප මේ ශරීරයෙන් ලබන ලොකුම ජයග්‍රහණය.

ඒ වගේම තමන්ටත් අනුන්ටත් කරදරයක් හානියක් නොවන අයුරින් වචන පරිහරණය කරන්න පුළුවන් නම්, නිදහස්, නිරවුල්, ධාර්මික දේ සිතනවා නම් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නම වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මෙසේ අනවජ්ජ සුඛය විඳින ශ්‍රාවකයා කල්පනා කරනවා. මම කයින් නිවැරැදි ක්‍රියා කරන කෙනෙක්. මම වචනයෙන් නිවැරැදිව කතා කරන කෙනෙක්, මම මනසින් යහපත සිතන කෙනෙක් කියා තමන්ගේ ජීවිතයේ ලොකු සැපයක්, සතුටක් විඳිනවා. ඒ අනවජ්ජ සුඛයයි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා ගෘහපතිතුමනි, මුලින් කී සැප තුනටම වඩා වටින්නේ අනවජ්ජ සුඛයයි. නිවැරැදි ක්‍රියා, වචන, කල්පනාව නැතිනම් සැපයක් ලැබෙන්නේ නැහැ. එනිසා අපට ලැබුණු මේ මිනිස් ජීවිතය තුළින් කායික, වාචසික, මානසික ක්‍රියා නිවැරැදි ව පවත්වාගෙන ඒ සැපය ලබන්නට විඳින්නට උත්සාහ කරමු.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]