[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මරණය ගැන නිතර සිහි කළොත් මේ ජීවිතයේ දී ම අනුසස් ලැබෙනවා

මරණය ගැන නිතර සිහි කළොත් මේ ජීවිතයේ දී ම අනුසස් ලැබෙනවා

බුදුරජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ වඩින අතරතුර අලව් නුවර අදාළව විහාරයට වැඩි සේක. එහි රැස්ව සිටි පිරිසට මරණය පිළිබඳ විසිතුරු ධර්ම දේශනාවක් කළහ. මේ අතර පේෂකාර දියණියක් ද වූවා.

පේෂකාර දියණිය මේ දේශනාව නැවත සිහිපත් කරමින් සිටියා. තුන් මසකට පසු නැවතත් බුදුරජාණන් වහන්සේ එම විහාරයට වැඩියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා නොකොට ඒ දුවණිය දෙස බැලූ සේක. ඇය වහා ගොස් සිරිපා කමල් වැන්දා . බුදුරජාණන් වහන්සේ හා ඇය අතර සාකච්ඡාවක් ඇති වුණා.

බුදුරජාණන් වහන්සේ - දුවණිය කොහේ සිට එන්නේ ද?

දියණිය - නොදනිමි ස්වාමීනි

බුදුරජාණන් වහන්සේ - කොහි යන්නේ ද?

දියණිය - නොදනිමි ස්වාමීනි

බුදුරජාණන් වහන්සේ - නොදන්නේ ද?

දියණිය - දනිමි ස්වාමීනි

බුදුරජාණන් වහන්සේ - දන්නේ ද?

දියණිය - නොදනිමි ස්වාමීනි.

මේ කටකාර දියණිය ගරුසරු නැතිව බුදුරජාණන් වහන්සේ හා එකට එක කතා කරන්නේ යැයි පිරිස් උරනවී නොසන්සුන් වූවා. පිරිස් නිහඬ කොට බුදුරජාණන් වහන්සේ ඇයගෙන් කරුණු විමසුවා. “මම කුමන තැනක සිට පැමිණ ඉපදුණු බව නොදන්න නිසා නොදනිමි කීවෙමි. මරණින් මතු යන තැන නොදන්නා නිසා නොදනිමි’යි කී වෙමි. මැරෙන බව දන්නා නිසා දනිමි’යි කීවෙමි. මරණය සිදුවන වෙලාව, තැන නොදන්නා නිසා නොදනිමි කියා පැවසුවෙමි’යි කීවා. බුදුරජාණන් වහන්සේ ඇයට ප්‍රශංසා කොට ධර්ම දේශනා කළ සේක. ඇය දහම් අසා සෝවාන් වුණා. කර්මාන්ත ශාලාවට ගිය ඇය එහිදී හදිසි අනතුරකින් මරණයට පත්ව දෙව්ලොව උපන්නා.

මරණය ගැන සිහි කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳ සද්ධර්මය තුළ සඳහන් වෙන්නේ මේ ආකාරයට යි.

මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු යෝගාවචරයා අප්‍රමාදව (සතියෙන්) වසනවා.

භවයන්හි නොඇලීමෙහි සංඥාව ලබනවා.

ජීවිත තෘෂ්ණා අත් හරිනවා. පාපයට ගරහනවා.

බහුලව සම්පත් රැස් කරන්නේ නෑ. ලැබෙන දෙයෙහි මසුරු මල නැති තැනැත්තෙක් වනවා.

අනිත්‍ය සංඥාව පුරුද්දට ගන්නවා.

එනිසා ම දුක්ඛ සංඥාව ද, අනාත්ම සංඥාව ද වැටහෙනවා.

මේ ආත්ම භවයෙහි ම යම් මාර්ගඵල පිළිවෙළින් නිවන නොලද්දේ නම්, මරණයෙන් මතු සුගතිගාමී වනවා.

අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මේ ජීවිතේන්ද්‍රිය කෙරෙහි මරණානුස්මෘතිය වඩන්නේ නම් එවැනි ආනිසංස සමුදායක් තමන්ට ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.

භාග්‍යවතුන් වහන්සේ විසින් සියලුම දෙනාට මරණය ගැන සිහි කළ යුත්තේ ඇයිදැයි දේශනා කළ සේක. සත්ත්වයන්ට ඇතිවෙනවා ජීවිත මදයක්. ඒ මදයෙන් මත් වීම නිසා සමහරු කායා දී තුන්දොරින් අකුසල් රැස් කරනවා. ඒ ජීවිත මදය නිසා රූප මදය, කුල මදය, ධන මදය, ශාස්ත්‍ර මදය, ගුණ මදය ආදී නොයෙක් මත්වීම් ඔහු සොයා එන්නට ඉඩ තිබෙනවා. ජීවත් වන බොහෝ දෙනා අවසානයක්, එනම් මරණයක් කවදහරි එනවා කියන සිතිවිල්ලෙන් තොරව, මරණය පිළිබඳ අල්ප මාත්‍ර තැකීමක් නොකර, පස් පව් දස අකුසල්වල යෙදී කල් ගත කරනවා. හරි හැටි කල්පනා කරනවා නම්, මනුෂ්‍යයාට කිසි දෙයකින් මත්වීමක් ඇතිවෙන්නට විදිහක් නෑ. උපන් සත්වයාට මරණය උරුමයි. “ජාතස්ස මරණං හෝති” යනුවෙන් වදාළේ එයයි. මිනිස් ලොව පමණක් නොව කොතැනක උප්පත්තිය ලැබුවත් එය සිදුවෙනවා. මරණය ගැන නිතර සිහි කරන කොට ජීවිත මදය නැති වෙනවා. තුනී වෙනවා. තිදොරින් සිදුවන අකුසල් අඩුවෙනවා. එය නිවන් අවබෝධකර ගැනීමට මහත් රුකුලක් බවට පත් වෙනවා. එම නිසා සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවට අනුව සියලු පවින් ඈත්වෙලා කුසල් දහම් කරමින් සිත සංවර කර ගැනීමට උත්සාහ කරමු. ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]