[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියනෑකෝරළයට ආලෝකයක් වූ ඊරියවැටිය සුමනාරාම පුරාණ මහා විහාරය

සියනෑකෝරළයට ආලෝකයක් වූ ඊරියවැටිය සුමනාරාම පුරාණ මහා විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑකෝරළේ අධිකාරි පත්තුවේ ඓතිහාසික කැලණි පුදබිමට මායිම් ව පිහිටි වසර 119ක් ඉපැරැණි පුදබිමකි.

ඒ ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා වෙහෙර බිමයි. මෙම විහාර මන්දිරයේ ඉදිකර ඇති පැරැණි චිත්‍ර සහ මූර්ති කැටයම් එහි පෞරාණික බවට හානි නොවන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය මත සංරක්ෂණය කර සැදැහැවතුන්ට වන්දනාව සඳහා ඉඩහසර සලසාදීමේ පින්කම මේ මස 29 වනි සෙනසුරාදා සිදු කිරීමට නියමිතව තිබුණි.


ගම්පොළ කුරුඳුවත්තේ
විමලසීහ නායක හිමි

ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරස්ථානය 1830 වසරේ ඊරියවැටිය ග්‍රාමයේ පදිංචි ව සිටි පුංචිනාආච්චි උපාසිකා මාතාව විසින් පරිත්‍යාග කරනු ලැබූ භූමි භාගයක ඉදිකර ඇත. මෙම මනරම් විහාරස්ථානයේ ආදි කර්තෘන් වහන්සේ වන බෝයගම ශ්‍රී පියරතන මාහිමිපාණන් වහන්සේට පුංචිනා උපාසිකා මාතාවගෙන් ලද භූමියේ උන්වහන්සේගේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයාණන් වන ආසිදෙණියේ ශ්‍රී සීලවිමල ස්වාමීන් වහන්සේ හා එක්ව විහාරස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත.

1903 වසරේ භාග්‍යවත් දිනක හෙළයේ මහා වීර යතිවරයාණන් වූ පරම පුජෝත්තම හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින් විහාරස්ථානයේ පුරාණ මහා විහාර මන්දිරයටත් එදා ඊරියවැටියේ මහා විදුහල නමින් තිබූ වත්මන් ඊරියවැටිය ශ්‍රී සුමංගල මහා විදුහලටත්, විෂ්ණු දේවාල මන්දිරයටත්, මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කළ බව විහාරස්ථානයේ ඉතිහාස කතාව තුළ සටහන් වී ඇත.

මෙම ඉපැරැණි විහාරස්ථානයේ ඇති ඓතිහාසික බව වටහා ගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ නිලධාරි මහත්වරුන්ගේ පින්බර මැදිහත්වීම මත මධ්‍යම සංස්කෘතික අරමුදලින් මෙම ඉපැරැණි චිත්‍ර හා මූර්ති කැටයම්වලට යළිත් ජීවය ලබා දී ඇත්තේ පෞරාණික බවට කිසිදු හානියක් නොවන පරිදි ය.

එදා හෙළයේ මහා මූර්ති ශිල්පියා ලෙස විරුදාවලිය ලද චිත්‍ර හා මූර්ති ශිල්පී එම්. සාර්ලිස් මාස්ටර්ගේ සියුම් තෙළිතුඩින් නිර්මාණය වූ චිත්‍ර කලාව අදටත් නොනැසී පවතින අතර, එතුමාගේ සමීපතම ගෝලයන් වන දක්ෂ මූර්ති චිත්‍ර ශිල්පීන් වන එම්. නෝබට් සහ එම්. අකු‍රුගොඩ යන ශිල්පීන්ගේ දෑතින් වර්ෂ 1978දී මහා විහාරය වටා ඉදි වූ වටමාල විහාර මන්දිරයේ වැඩ කටයුතු සිදු කර එකල්හිම ගොඩනඟන ලද මහා විහාර මන්දිරයට ප්‍රවිෂ්ට මණ්ඩපය ද ගොඩනැඟිණ. එම ප්‍රවිෂ්ට මණ්ඩපයේ වසර 44කට පසුව එවක වැඩසිටි අති පරම පූජෝත්තම අලවල ශ්‍රී විමලධම්ම, අඹන්පිටියේ ශ්‍රී විමලබුද්ධි යන නා හිමිපාණන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්ය හා නොපසුබස්නා වීර්යය සහිත ශාසනික සේවය ඉදිරියට ගෙනයමින් වත්මන් විහාරාධිපති ගම්පොළ කුරුඳුවත්තේ විමලසීහ නාහිමිපාණන් වහන්සේගේ අභිප්‍රාය මත 2021 වර්ෂයේ දී අලංකාරවත් කෙරිණි. ඒ සියලු චිත්‍රයන් ද අධීෂ හේවාවසම් සහ සමීර ගිත් චතුරංග යන අතිදක්ෂ ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පීන් විසින් සිතුවම් කළ බව වත්මන් විහාරාධිපති කුරුඳුවත්තේ විමලසීහ නාහිමිපාණන් වහන්සේ විසින් දන්වා ඇත.

පුරා එකසිය විසි වසරකට අධික කාලයක් ඈතට විහිදී යන විහාරස්ථ පුණ්‍යවර්ධන දායක සභාව ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරයේ අභිවෘද්ධිය පතා ඉටු කළ මහා මෙහෙවර ද මෙහි දී සටහන්ව තිබිය යුතු අතර එහි ආරම්භක සභාපතිවරයා වූ ඇස්.ඩී. තෝමිස් ප්‍රනාන්දු වෙල් මුලාදෑනි වරයා ද , මහ ලේකම් ධුරය දැරූ එච්. අගෝරිස් මහත්මා ද වත්මන් විහාරාධිපතීන් වහන්සේ විසින් ගෞරව පූර්වකව සිහිපත් කරනුයේ ඔවුන්ගේ අප්‍රතිහත කැපවීම වත්මන් පුණ්‍යවර්ධන දායක සභාවේ නිලධාරින් සතුව ද ඇති බව සිහිපත් කරමින් ය.

ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේ ඉදිරි පැවැත්ම උදෙසා අගනා වටිනා සේවාවන් ඉටු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වය දීම අගනා වටිනා කාලෝචිත පුණ්‍ය ක්‍රියාවක් වන අතර එම සමීක්ෂණ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් මේ වන විට විහාර මන්දිරයේ පැරැණි බිතු සිතුවම්වලට කිසිදු හානියක් නොවන අයුරින් රුපියල් ලක්ෂ 13ක වියදමින් සංරක්ෂණය කර ඇත.

වසර 119කට පසු නැවත ජීවය ලද මෙම චිත්‍ර හා මූර්ති කැටයම් සහිත ඉපැරැණි විහාර මන්දිරය විහාරස්ථ පුණ්‍යවර්ධන දායක සභාවේ වත්මන් උප සභාපති සෝමපාල රණසිංහ මහතා සහ වත්මන් දායක සභාවේ මහ ලේකම් මහින්ද රන්පටිදේව මැතිතුමා මෙන්ම විහාරවාසී භික්ෂුන් වහන්සේලා, ශ්‍රී සීලවිමල ධර්ම විද්‍යාලයීය ඇදුරු මඩුල්ල සහ සිසු දූ පුතුන් ද, සතර පේරුවේ දායකකාරකාදීන් ද එක්ව මේ මස 29 වැනි සෙනසුරාදා දිනට යෙදුණු සුභ මුහුර්තයෙන්ගෙන් යුතුව සැදැහැති දායක දායිකා සැමට වන්දනාමාන කිරීම සඳහා ඉඩහසර ලබා දෙන බව ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරාධීශ්වර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශික ශ්‍රී ධර්මාරාම සද්ධම්ම යුක්තික පාර්ශවයේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, ගම්පොළ කුරුඳුවත්තේ විමලසීහ නායක හිමිපාණන් වහන්සේ ගෞරවයෙන් දන්වා සිටිනුයේ සැදැහැ සිතින් ය.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]