නිවැරැදිව තෙරුවන් සරණ යන්නේ මෙලෙසයි
මීගස්පිටිය, හෙට්ටිපොල
ශ්‍රී නන්දන විහාරයේ
අම්බලන්වත්තේ සාරද හිමි
යොච බුද්ධඤ්ච ධම්මංච – සංඝංච සරණං ගතො
චත්තාරි අරිය සච්චාති – සම්මා පඤ්ඤාය පස්සති
යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යයි ද, ධර්ම රත්නය සරණ යයි ද, සංඝයා වහන්සේ සරණ
යයි ද, ඒ තැනැත්තා සතර ආර්ය ධර්මයන් හෙවත් චතුරාර්ය සත්‍යයන්, සම්‍යග් ප්‍රඥාවෙන්
හෙවත් මනා නුවණින් දකින්නෙක් වෙයි.
මේ ගාථාවෙන් අපට උගන්වන්නේ බුදු, දම්, සඟ යන රත්නත්‍රය සරණ යාමේ ඇති වටිනාකමයි. යම්
තැනැත්තෙක් තෙරුවන් සරණ ගියොත් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන බව මේ ගාථාවෙන්
බුදු හාමුදුරුවෝ අපට දේශනා කළා.
අප හැම දෙනාගේ ම බලාපොරොත්තුව සංසාර දුකින් නිදහස් වීම යැයි, කියන නිර්වාණ ධර්මය
අවබෝධ කිරීම බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. නිවන් දැකීමට නම් චතුරාර්ය සත්‍යයන්
ගැන අවබෝධයක් ඇති කරගන්ට ඕනෑ. චතුරාර්ය සත්‍යාවබෝධය කිරීමට පළමු කොටම කළ යුතු දෙය
නම් තෙරුවන් සරණ ගොස් හොඳ බෞද්ධයෙක් බවට පත්වීමයි.
අප කුඩා දරුවන් ව සිටි කාලයේ පටන් අපේ අම්මලා අපට බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං
ගච්ඡාමි. සංඝ සරණං ගච්ඡාමි. කියා කියන්ට පුරුදු කරල තියෙනවා. බෞද්ධයන් වශයෙන් අපි
එය නොයෙක් අවස්ථාවල කියනවා. තෙරුවන් සරණ යෑම පිළිබඳව හොඳ හැඟීමක් සිතේ නැතිව ඔහේ
කිව් පමණකින් තෙරුවන් සරණ ගියා වෙන්නේ නැහැ. බෞද්ධයෙක් හැබෑ තෙරුවන් සරණ යාම
පිළිබඳව නියම හැඟීමක් හොඳ දැනීමක් ඇතිකර ගන්නට ඕනෑ.
යොච බුද්ධංච ධම්මංච – සංඝංච සරණං ගතො
දැන් අප ඉගෙන ගන්න ඕනෑ සරණං ගතො යන පදයෙන් අදහස් කරන කරුණයි. සරණ යාම යන අර්ථය යි.
සරණ ගත යන පදයෙන් ප්‍රකාශ වන සරණ යාම පිළිබඳව සෑම බෞද්ධයෙක් විසින් ම හොඳින් ම
දැනගත යුතු කරුණු අටක් තිබෙනවා.
සරණය, සරණාගමනය, සරණාගතයා, සරණාගමනයේ ප්‍රභේද, සරණාගමනයේ ප්‍රයෝජන, සරණාගමනයාගේ
කිලිටි වීම, සරණාගමනයාගේ පිරිසිදු වීම, සරණාගමනයාගේ බිඳීම යනුවෙන් සරණ යාම සම්බන්ධ
ඒ කරුණු අට උගන්වනවා.
‘සරණය ‘කියන්නේ කුමක්ද?
බුද්ධ,ධම්ම, සංඝ යන රත්නත්‍රය යි. ඒ කවර අර්ථයකින් ද? යම් කෙනෙක් රත්නත්‍රය පිහිට
කොට ගත්තොත් ඔහුට මෙලොව වශයෙන් පැමිණෙන ජල භය, රෝග භය, දුර්භික්ෂ භය, ගිනි භය ආදි
සියලු උපද්‍රවත්, පරලොව වශයෙන් පැමිණෙන අපාය භයත්, එසේම ජාති, ජරා, ව්‍යාධි, මරණ
ආදි සංසාර දුකත් නැති කර දමන නිසා රත්නත්‍රයට සරණ කියා කියනවා. එවිට සරණය කියා
කියන්නේ කුමක්ද? රත්නත්‍රය යි. කුමන අර්ථයකින් ද? මෙලොව පරලොව වශයෙන් පැමිණෙන සියලු
උපද්‍රව දුරු කිරීමට හැකි බලයක් ශක්තියක් ඒ රත්නත්‍රයට තිබෙන නිසයි.
සරණාගමනය නම්...
සරණාගමනය නම් සරණයේ පිහිටු වීමයි. එය ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙයාකාර යි. බුද්ධා දී
රත්නත්‍රයේ ගුණ සිහිකොට බුදුන් මට පිහිටයි. ධර්මය මට පිහිටයි. සංඝයා මට පිහිටයි.
කියා සිතින් තීරණය කිරීම ලෞකික සරණාගමනය යි. සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණීමේ දී
නිවන අරමුණූු කොට රත්නත්‍රය කෙරෙහි ඉතා පිරිසුදුව ලැබෙන අචල ශ්‍රද්ධාව ම ලෝකෝත්තර
සරණාගමනය යි. පුහුදුන් අපේ සරණාගමනය ලෞකික සරණාගමනය යි. ආර්ය පුද්ගලයන්ගේ සරණාගමනය
ලෝකෝත්තර සරණාගමනය යි.
සරණාගතයා කවුද?
සරණාගතයා නම් මෙසේ රත්නත්‍රය පිහිට කොට ගත් තැනැත්තා යි.
ලෞකික සරණාගමනයේ ප්‍රභේද සතරක් දැක්වෙනවා. මෙන්න ඒ සතර. බෞද්ධයන් වූ අප හැම දෙනාම
විශේෂයෙන් ම මේ ටික දැන ගන්නට ඕනෑ.
ආත්ම සන්තිර්යායතන සරණාගමනය ,ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය, තත්පරායතනා සරණාගමනය,
ප්‍රණීපාත සරණාගමනය
ආත්ම සන්නිර්යායතන සරණාගමනය නම් අද පටන් මාගේ මේ ආත්මය , ජීවිතය බුදුරජාණන් වහන්සේට
ධර්ම රත්නයට, සංඝයා වහන්සේට, පූජා කරමි යන අදහස ඇතිව තෙරුවන් සරණ යෑමයි.
ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය නම් අද පටන් මම බුදුරදුන්ගේ, ධර්මයාගේ සංඝයා වහන්සේගේ
ශිෂ්‍යයෙක්මි. අතවැසියෙක්මි යන අදහස ඇති කර ගෙන සරණ යෑමයි.
තත්පරායන සරණාගමනය නම්.......
අද පටන් මම බුදුරදුන් පිහිට කොට ඇත්තෙක්මි. ධර්ම රත්නය ද, සංඝ රත්නය ද, පිහිට කොට
ඇත්තෙක්මි යන අදහස ඇතිව සරණ යාමයි.
ප්‍රණීපාත සරණාගමනය නම් ...
අද පටන් මම වැඳීම, දැක හුනස්නෙන් නැඟිටීම, ඇඳිළි බැඳීම,සාමීචි කම්මණුදි සියලු ගරු
සත්කාර ආදිය රත්නත්‍රයට ම කරමි යන අදහස ඇතිව බුද්ධං සරණං ගච්ඡාමි ලෙස සරණ යාමයි.
මේ ක්‍රම හතරෙන් එක්තරා ක්‍රමයකට හැම බෞද්ධයෙක් ම සරණ යන්ට ඕනෑ. පාඩම් තිබෙන නිසා
කියන්නට පමණක් හෝ හාමුදුරුවරු කියන නිසා කියන්නට පමණක් හෝ සූදානම් වෙන්ට නරකයි.
බුද්ධං සරණං ගච්ඡාමි ආදි ලෙස කියන විට අර ක්‍රම හතරෙන් එක්තරා ක්‍රමයක් හිතේ ඇති කර
ගන්ට ම ඕනෑ.
සරණාගමනයාගේ ප්‍රයෝජන
සාන් දෘෂ්ඨික ප්‍රයෝජන, සම්ප්‍රදායික ප්‍රයෝජන කියා දෙයාකාරයි. මෙලොව වශයෙන් ජල
රෝග, දුර්භික්ෂ , යක්ෂ, පේ‍්‍රත ආදි වශයෙන් පැමිණෙන සියලුම භය වලින් උපද්‍රවවලින් ,
ආරක්ෂාව ලැබීම සාන්දෘෂ්ඨික ප්‍රයෝජනයි.
‘නමෝ බුද්ධාය’ කිව් පමණකින් සොහොනක් සමීපයේ ගැලක් යට නිදා සිටි දරුවෙක් තමාව කෑමට
අල්ලාගත් යක්ෂයකුගෙන් නිදහස් වූ බව ධර්මයේ සඳහන් පුවතකි. මෙලොව වශයෙන් හැම
ආරක්ෂාවක් ම ලැබීම සරණ යෑමේ ඉතාමත් ම ප්‍රයෝජනය යි.
රජ, සොර, සතුරු, ආදීන්ගෙන් යක්ෂ, පේ‍්‍රතාදීන්ගෙන් අවි, ගිනි, සුළං, දිය, හෙණ
ආදියෙන් සිංහ, වග, වලස්, දිවි ආදී සතුන්ගෙන් වන්නා වූ යම් උපද්‍රවයක් අන්ත්‍රාවක්
වෙයි නම්, එකල බුද්ධ රත්නය සිහි කළ යුතුයි. ඒකාන්තයෙන් එයින් ආරක්ෂාව සැලසෙනවා.
මෙසේ මෙලොව වශයෙන් ලැබිය හැකි සෙත, ශාන්තිය ආරක්ෂාව ලැබීම තමා සරණ යෑමේ සාන්දෘෂ්ඨික
ප්‍රයෝජන
(තවත් තොරතුරු දැන ගන්නට රසවාහිණියේ තිබෙන වෙස්සාමිත්තාවගේ කථාව කියවන්න)
සම්ප්‍රදායික ප්‍රයෝජනය නම්, සතර අපා දුකින් වැළකීම හා උතුම් සප්ත කාම සම්පත් ලබා
ගැනීමත් ය. මේ කියන්නේ ලෞකික සරණාගමනයෙන් පරලොව වශයෙන් ලැබිය හැකි ප්‍රයෝජනයයි.
යමෙක් රත්නත්‍රය සරණ ගියේ නම්, ඔහු අපායේ නූපදින බව දේශනාවෙන් පෙනෙනවා.
යමෙක් බුදුන් සරණ ගියේ නම්, ඔහු කිසි කලෙක අපායට නොයයි. මනුෂ්‍ය ආත්මයෙන් චුත
වූවාහු. දිව්‍ය ලෝකයේ උපදියි . එහෙත් මෙකල සිටින බෞද්ධයන්ගෙන් නම් ඕනෑ තරම් අපායේ
උපදිනවාට මොනම සැකයක්වත් නෑ. වැඩිහරියකට සිදුවන්නේ ඒ ටිකයි කියා කිව්වොත් ඒ කීමෙහි
වරදක් නැහැ. අපායට නොගොස් වළකින්න පුළුවන් වන්නේ පිරිසුදු සරණාගමනයෙනුයි. අපිරිසුදු
වූ , කඩතොලු වූ සරණයෙන් නම් අපායේ නොගොස් දිව්‍ය ලෝකයේ ම උපදින්න ලැබෙන්නේ නෑ.
පිරිසුදු සරණාගමනයෙන් සුගති සැප ලැබෙන බවට බණ කථාවක් මෙතැනට මම කියන්නම්. කවුරුත්
හොඳින් කියවා ධාරණය කර ගන්න.
අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ සේතව්‍ය නුවර එක්තරා බ්‍රාහ්මණ
කුමාරයෙක් උක්කට්ඨා නුවර දිසා පාමොක් ආචාරීන් සමීපයට ශිල්ප හැදෑරීමට ගියා. කාලයක්
මේ කුමාරයා ඉතා හොඳින් ඉගෙනීම කළා. තමාට ඇති කියා හිතෙන කල් ඉගෙන ගත්තා. පසුව
මව්පියන් දැක්මට ගමට යන්නට සිතා ගුරු පඬුරු වශයෙන් කොපමණ මුදලක් ගෙව්වාම ඇද්ද කියා
ආචාරීන් වහන්සේගෙන් විචාළා. මසුරන් දාහක් ගෙවිය යුතු බවයි දිසාපාමොක් ඇදුරු තැන
කිව්වේ. ඡත්‍ර නැමැති මේ කුමාරයා මව්පියන්ගෙන් එය ඉල්ලාගෙන එන්නෙමි’යි කියා ගුරුන්
වැඳ ගම් බලා ආවා. කලකින් ගෙදරට ආ පුතාට සංග්‍රහ බොහෝමනේ. මව්පියන්ගෙන් ලැබුණ
සංග්‍රහ හෙම විඳල පසුව කුමාරයා කිව්වා ගුරු පඬුරු දීමට මසුරන් දාහක් වුවමනා බව.
ඔව්හු හොඳයි කියා පසුදා අරගෙන යෑම පිණිස මසුරන් දාහක් ඔහුට දුන්නා. මේ වෙලාවේ හොරු
කට්ටියක් ගේ බිඳින්න සූදානම් ව හිටියා. ඒ අතර මෙබඳු කල්පනාවක් ඇති වුණා. ගේ බිඳීම
හරි ගියොත් හොඳයි. වැරදුණොත් අහවරයි. ඊට වැඩිය හොඳා මේ කොල්ලා මසුරන් දාහ අරගෙන යන
කොට මඟ රැක සිට ඔහු මරා මසුරන් පොදිය ගන්න එක කියා එසේ සිතාගෙන හොරු ආපසු ගියා.
කුමාරයා මසුරන් පොදියත් අරගෙන පසුදා උදෙන් ම ගමනට පිටත් වුණා.
අද දවසේ කාට නම් විශේෂ යහපතක් සලසම් ද කියා දිනපතා අලුයම මහා කරුණාවෙන් ලොව බලා
වදාරණ බුදුහාමුදුරුවෝ එදත් අලුයම මහා කරුණාවෙන් ලොව බලා වදාළා. ටික වේලාවකින්
හොරුන්ගෙන් මැරුම් කන මේ කුමාරයා එදා බුදු ඇසට පෙනී ගියා. ඔහුට තමන් වහන්සේ දක්නට
ලැබුණොත් වැඩක් වන බවත්, නැතහොත් මැරී අපායේ උපදින බවත් බුදුහාමුදුරුවෝ දැක්කා.
තමන් වහන්සේ දක්නට ලැබුණොත් ඔහු රත්නත්‍රය සරණ යන බවත්, ඒ කුසලයෙන් දෙව්ලොව උපදින
බවත් උන්වහන්සේට පෙනී ගියා. සකල සත්වයා කෙරෙහි පතළ මහා කරුණා ඇති බුදුහාමුදුරුවෝ
වහාම මේ කුමාරයා යන අතරමඟට වැඩ ගසක් මුල වැඩ උන්නා. ගුරු පූජාවට මසුරන් පොදියක්
අරගෙන උක්කට්ඨා නුවර බලා යන මේ කුමාරයාට ගසක් මුල වැඩ හුන් බුදුහාමුදුරුවෝ දක්නට
ලැබුණා. දුටුවන් වශී කරවන බබළන ශරීරයක් ඇති බුදුරදුන් දැක්මෙන් ම මේ කුමාරයාට
ජීවිතයේ කවදාවත් ඇති නොවූ තරම් පී‍්‍රතියක් උපන්නා. පුද්ගලයා කවරෙක් වුවත් මොහු හා
කථා කරන්නට ඕනෑ යයි සිතා බුදුහාමුදුරුවෝ ළඟට ගියා. කුඩා දරුවකුට ආදරයෙන් කථා කරන
පියෙක් මෙන් බුදුහාමුදුරුවෝ ඔහුට කථා කළා. රත්නත්‍රය ගැන කියා දී සරණ යන්නැයි ඔහුට
අවවාද කළා. ඊළඟට මේ ගාථා ඔහු ලවා කියවා සරණයේ පිහිටෙව්වා.
යෝවද තංපව රෝමනු යේසූ
සක්‍යමුණී භගවා කත කිච්චෝ
පාරගතො බල විරිය සමංගී
තං සුග තං සරණත්තමු පේමී
රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංකත මප්පටි කූලං
මධුරමි මං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්තමු පේමී
යත්තච දින්න මහප්ඵල මාහු
චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ටච පුග්ගල ධම්මදසාතෙ
සංඝමි මං සරණත්තමු පේමී
මේ එදා ඡත්‍රමානවක සරණයේ පිහිටවීම සඳහා බුදුහාමුදුරුවෝ ඔහුට ඉගැන්වූ ගාථා තුනයි.
එතැන් සිට මේ ගාථා තුන ඡත්තමානවක ගාථා යන නමින් ප්‍රකට වුණා. ඉතින් අර කුමාරයා
සරණයේ පිහිටවල සරණය පිරිසුදුව ආරක්ෂා කරගත යුතු බවත් වදාරා ඔහුට යන්නට අවසර දුන්නා.
කුමාරයා මසුරන් දහසක් අතේ ඇතිව තමාගේ ගමන පටන් ගත්තා. කලින් කියාපු විදියට මඟ රැක
සිටි සොරුන්ගෙන් එකෙක් විෂ පෙවූ ඊයකින් විද කුමාරයා මරා මසුරන් දහස අරගත්තා. තමාගේ
මරණයට ටික වේලාවකට කලින් සරණයේ පිහිටි මේ කුමාරයා ඒ සරණානිශංසයෙන් තව්තිසා දෙව්ලොව
සැට යොදුන් දෙව් විමනක ඡත්‍ර නම් දිව්‍ය රාජයෙක් ව උපන්නා.
බලන්න උපන්දා සිට මිථ්‍යා දෘෂ්ඨිකයෙක් ව සිටි, කවදාවත් දනක් නොදුන්, මලක් නොපිදූ,
බණක් නො ඇසූ, සීලයක් නොරැකි මේ කොලුවා දෙව් ලොව උපදින්නට කළ පින්කම මොකක්ද?
මැරෙන්නට ටිකකට ඉස්සෙල්ල රත්නත්‍රය සරණය යාමයි.
යම්තම් කථා කරන්නට හැකි වූ දා සිට තෙරුවන් සරණ යන අපේ බෞද්ධයන් මැරී අපායේ උපදිනවා
නම් එයටත් හේතුවක් තිබෙන්ට ඕනෑ. ඡත්ත කුමාරයා ටික කාලයක් නමුත් පිරිසුදුව සරණය
ආරක්ෂා කළ නිසා මැරෙනවාත් සමඟම නිදා පිබිදුනාක් මෙන් දෙව් ලොව උපන්නා. සරණය කිළිටි
කර නොගෙන හොඳ බෞද්ධයන් වශයෙන් ජීවත් වුණොත් අපටත් නිවන් දක්නා ජාති දක්වා අපායක නො
ඉපිද දෙව් මිනිස් දෙගතියේ ම උප්පත්තිය ලබන්නට හැකි වෙනවා.
දිනක් ශක්‍ර දිව්‍ය රාජයා මුගලන් හාමුදුරුවන්ගෙන් තෙරුවන් සරණ යෑමේ අනුසස් ගැන
විචාළා. මුගලන් හාමුදුරුවෝ දේශනා කළා
ශක්‍ර දේවේන්ද්‍රය, බුදුන් සරණ යෑම ඉතා යහපති. බුදුන් සරණ යෑම හේතු කොට ගෙන මේ
සත්වයෝ මරණින් පසු දිව්‍ය ලෝකයේ උපදිති. ඔවුහු කරුණූ දසයකින් සෙසු දෙවිවරුන්ව
පරදිත්.
එනම්, දිව්‍යමය ආයුෂය, වර්ණය, සැපය, යසස, බලය යන මේ පසකි. දිව්‍යමය රූපය ශබ්දය,
ගන්ධය, රසය, ස්පර්ශය යන පසෙන් ය. මේ කරුණු දසයෙන් සෙසු දෙවිවරුන්ට වඩා ඔවුන්
ශ්‍රේෂ්ඨ වන බවයි කියන්නේ. මෙසේ අපා දුකින් වැළකීමත්, උතුම් දෙව් මිනිස් සැප
ලැබීමත් සම්ප්‍රදායික ප්‍රයෝජනය යි. ලෝකෝත්තර සරණාගමනයාගේ ඵල ද දෙයාකාරයි. විපාක
ඵල, ආනිසංස ඵල කියායි. විපාක ඵලය නම් සතර සාමාන්‍ය ඵලය හෙවත් සෝවාන් ආදි මාර්ගඵල
සතරයි. ආනිශංස ඵලය නම් නිවනයි.
සරණය කිලිටි වීම
සරණය කිලිටි වීම කරුණූු කීපයකින්ම සිදු වෙනවා. රත්නත්‍රය කෙරෙහි සැක කිරීම,
බුදුරදුන් පරලොවටත්, දෙවියන් මෙලොවටත් සලකා ගෙන යාග හෝම, බලි බිලි පූජා ආදිය කිරිම,
රත්නත්‍රයේ සුවිසි මහා ගුණ නොදැනීම, පස් පව් දස අකුසල් කිරීම ආදි වැරැදි ක්‍රියා
නිසා සරණය කිලිටි වෙනවා. කිලිටි වූ සරණයෙන් අර කලින් කියාපු ආනිශංස ලබන්ට අමාරුයි.
අපායේ නොගොස් වළකින්න කිලිටි වූ සරණයෙන් හැකි කමක් නෑ. මෙලොව ආරක්ෂාව පවා කිලිටි වූ
සරණයෙන් නම් හරිහැටි ලබා ගන්න පුළුවන් කමක් නෑ. රත්නත්‍රයේ පිහිට ගැන විශ්වාසය
නොතබා රන්ත්‍රයෙන් ලැබිය හැකි ආරක්ෂාව ලාමක කොට සිතා බලි බිලි යාග හෝමාදිය කිරීමෙන්
සරණය කිලිටි වෙනවා. කොටින්ම තුණුරුවන් ගුණ හරි හැටි නොදැනීමෙන් තුණුරුවන් කෙරෙහි
මමත්වය අදාළ ගෞරවය අඩුවීමත්, පව්කම් කිරීමත් සරණය කිලිටි වීමට හේතු වෙන බව දැන ගන්න
ඕනෑ.
සරණය පිරිසුදු වීම
රත්නත්‍රයේ සූවිසි මහා ගුණ එනම්, ඉතිපිසො ගාථාවෙන් කියැවෙන නව අරහාදී බුදුගුණයක්
ස්වාක්ඛාතෝ ගාථාවෙන් කියැවෙන ධර්මයේ ගුණයත්, සුපටිපන්නෝ ගාථාවෙන් කියැවෙන සංඝ
රත්නයේ ගුණයත් යන සූවිසි මහා ගුණයත් දැන ගැනීම, පස් පව් දස අකුසල් නොකිරීම දාන,
ශීල, භාවනා දයා කරුණා මෛත්‍රී ආදී කුසල ධර්මයන් පුරුදු පුහුණු කිරීම, ධර්ම ශ්‍රවණය
කිරීම, දේව පුද පූජා බලි බිලි යාග හෝමාදිය නොකිරීම මේ ආදී කරුණුවලින් සරණයේ
පිරිසුදු බව ඇති වෙනවා. පිරිසුදු සරණය ඇති මිනිහෙක් කවදාවත් අපායේ උපදින්නේ නෑ. යේ
කේචි බුද්ධං ආදී ගාථාවෙන් බුදුහාමුදුරුවෝ ඒ බව දේශනා කළා. නිවන් දක්නා ජාති දක්වා
ඔහුගේ සැරිසැරීම වන්නේ දෙව් මිනිස් දෙගතියේමයි. නිර්වාණ ධර්මය අවබෝධ කරන්නේ
පිරිසුදු සරණ ශීලය ඇති පුද්ගලයා ම යි. ඒ නිසා තම තමන්ගේ බෞද්ධත්වය කෙලෙසා නොගැනීමට
හැම බෞද්ධයෙක් ම උත්සාහ දරන්නට ඕනෑ. |