[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක 2022-01-09

අතරමං නොවන මඟ

වස විෂ කී සැණින් ඇති වන්නේ බියකි. ඒ, ජීවිතය ලෙඩ කරවමින් මරණය පවා ළඟ කරවිය හැකි බැවිනි. එහෙත් සමාජ විපර්යාසයන්ගේ භයානකකමේ තරම පෙන්වමින් කුසගින්න නිවා ගන්නට ගන්නා ආහාරවල ද ඇත්තේ වස විෂ ය. පිපාසය නිවා ගන්නා ජල බිඳුව පවා විෂ වෙමින් තිබේ. මේ තත්ත්වය උද්ගත වී ඇත්තේ මිනිසුන්ගේ ම වරදිනි. කාලාන්තරයක් තිස්සේ ආත්මාර්ථකාමී වූ මිනිස් ක්‍රියාකාරකම්වල පල වර්තමානයේත්, අනාගතයේත් මිනිසුන්ට විඳින්නට සිදුව තිබේ. කුඩා දරුවාට ද මහල්ලාට ද එය පොදු ය.

සොබා දහමේ දායාදයන්ට පිටුපාමින් වැඩියෙන් හා ඉක්මනින් මුදල් උපයා ගැනීමේ පරමාර්ථය පෙරදැරි ව කාලාන්තරයක් පුරා විවිධ රසායනික ද්‍රව්‍ය වගාවන්ට සේ ම ආහාර නිෂ්පාදනයන්ට ද එක් කිරීම තුළ මේ අවාසනාවන්ත තත්ත්වය උද්ගත ව තිබේ.

මිනිසුන් ලෙස දැන්වත් මේ ගැන සිතා බැලිය යුතුව තිබේ. බෞද්ධයකු කුරා කුහුඹුවකුට හෝ වරදක් නොකළ යුතු ය. ඒ අනුව ඍජුව හෝ වක්‍රව ජීවිත හානි කරන, පරිසරය විනාශ කරන විෂ ද්‍රව්‍ය පිටු දකින්නට, පරිසරයෙන් දුරස් කරන්නට තම තමන් ස්වයං විනයක් ඇති කර ගත යුතුව ඇත. අහිතකර යමක් කළේ නම් පාරා වළල්ලක් සේ එහි පල තමන් පසුපස ද හඹා එන බව අප මොහොතකටවත් අමතක කළ යුතු නැත.

සමාජය තුළ ආකල්පමය වෙනසක් අවශ්‍ය වන්නේ තමන්ට අහිත නොවන, අනුන්ට ද අහිත නො වන සාධු චරිතයක් නිර්මාණය කර ගන්නට ය.

පළමුව ස්වයං විනයක්, ඍජු ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම තුළ තමන්ගේ චරිතය බබළවා ගන්නට සමත් වෙනවා නම් රටක් සමාජයක් බැබළවීම අපහසු නොවේ. ඉවසීම, දරා ගැනීම, කැප කිරීම, උත්සාහය ඒ සඳහා අත්‍යවශ්‍ය ය. එසේ නොමැති ව අයහපත තුළම දුවන්නන් පසුපස හැල්මේ දිවීම, අන්ධයින් සේ කල් ගෙවීම, ආලෝකය දකිමින් අඳුරට ම ඇද වැටීම සමීපයේ ම ඇති මහා විපතක පෙරනිමිති බව සිහියට ගත යුතු ය.

අප පරෙස්සම් විය යුතු මෙසේ බාහිර පරිසරයෙන්, ක්‍රියාකාරකම්වලින් සිරුර ලෙඩ කරන වස විෂවලින් පමණක් ම නොවේ. ඊටත් වඩා භයානක විෂ කාරක තමන් තුළ ම වේ. ඒ විෂ අභ්‍යන්තරය ම දවා විනාශ කරන හලාහල විෂක් බඳු ය. මේ ජීවිතය පමණක් නොව සසර ජීවිතය ද විනාශයට පමුණුවන්නට සමත් ය. තමන්ගෙන් නොනැවතී මුළු මහත් සමාජයම විනාශයට ගෙන යන්නට තරම් මේ හලාහල විෂ බලවත් ය. ඒ හලාහල විෂ නම් සිතේ හටගන්නා කෙලෙස් මල ය. ලෝබ, ද්වේෂ, මෝහා දී අකුසල මූලයන් ඒ සඳහා හේතු කාරක වේ.

වෛරයේ ක්‍රෝධයේ ගිනිදැල්. නිමක් නොමැති තණ්හාව නිසා වන අයිතිකර ගැනීමේ උත්සාහයන්, අනුන්ගේ දියුණුව දකින්නට නොහැකි තරමට බලවත් ඊර්ෂ්‍යා සහගත සිතිවිලි ආදි අපමණ වස විෂ අපගේ අභ්‍යන්තරය විනාශ කර දමයි. සන්තානය තුළ පවත්නා එවැනි කෙලෙස් එකවර විනාශ කිරීම පහසුවෙන්, දවසින් දෙකකින් කළ නොහැක්කකි. ක්‍රමයෙන් දුරු කළ යුතු දෙයකි.

ඒ සඳහා වන එකම මඟ සම්බුදුරජාණන් වහන්සේ දෙසූ සදහම් මඟ ය. ඒ මාවතට අවංක සිතින් පිවිසීමට අප තවමත් ප්‍රමාද නැත. ඒ අප්‍රමාදී බව සසර අතරමං නොවන්නට ය .

දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]