සතුරා සිටින්නේ තමන් සමීපයේම යි
හඳුනා ගන්නට දක්ෂයෙක් වන්න
මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන්හි
ප්‍රවීණාචාර්ය ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛණ ශාස්ත්‍රී
ගලගෙදර රතනවංස හිමි
අවි ආයුධ,වස විස, මත්ද්‍රව්‍යවලින් සොර සතුරන්, සොබා දහමෙන් ආදී බාහිර වශයෙන් අපට
කරදර, බාධක, හානි සිදු වේ. එම කරදර බාධක හමුවේ සමහර දෙනා ඉවසීමෙන් කටයුතු කිරීම ද,
සමහර දෙනා නොඉවසීමෙන් ජීවිත හානි කර ගැනීම ද, තව සමහරෙක් වෛරයෙන් පළිගැනීම් වස්
ප්‍රතිප්‍රහාර දැක්වීම ද සිදු කරති.
අප හමුවට එන කරදර සඳහා අප කුමන අයුරින් කටයුතු කළ ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ
දේශනය අනුව ඒ සියල්ලට ම වඩා තම ජීවිතයට විනාශය කැඳවන්නක් ඇත. එනම් සිතයි. එය හරියට
තියුණු ආයුධයක් සේ තම ජීවිතය විනාශ කරනු ඇත. ලොව පවතින බලගතුම දෙය වන්නේ ද සිත යි.
සිත හොඳ මඟට යොදා දියුණු කළ හොත් කෙනකුට බුදු, පසේ බුදු, මහ රහත් ආදී උතුම් ම, උසස්
ම ස්ථානයන්ට පත්වීමටත්, සෝවාන්, සකෘදාගාමී අනාගාමී මඟඵලවලට පත්වීමටත් පුළුවන. සිත
නරක අතට යොදා ඒ මඟ දියුණු කළ හොත් යක්ෂ, පේ‍්‍රත, අසුර, භූත ආදි කොටස්වලට
පත්වීමටත්, තිරිසන් ආදී පහත් ස්ථරයන්වලට පත්වීමටත් අවකාශය සැලසෙනු ඇත.
නරක සිත තමා ම නසන්නේ කෙලෙස ද? මේ සිත උපතින් ම ප්‍රභාස්වර ය. ආගන්තුක ව පැමිණෙන
කෙලෙස් ධර්ම හේතුවෙන් සිත අපවිත්‍ර වේ. එම අපවිත්‍රවීම කොතෙක් තියුණු ද කිවහොත් තමා
තමා ම නසන ස්වභාවයෙන් යුක්තවීමට තරම් බලවත් ය. එම කෙලෙස් හරියට සතුරන් වැනි ය.
එනිසාම කෙලෙස් සතුරන් කියා ද කියනු ඇත. රුසියාවේ සිටි සාර් රජු ප්‍රකාශ කළේ තමාගේ
සතුරා තමා ම ය යනුවෙනි. ඇත්තෙන් ම අපට බාහිර වශයෙන් ඇති සියලු සතුරු ආක්‍රමණවලට වඩා
තම සිතින් ම එන සතුරු බලවේග විනාශය කැඳවීමේ ප්‍රවණතාවය වැඩි ය. මෙම කෙලෙස් සතුරන්
වශයෙන් හඳුන්වන්නේ ඇයි ? ඒ බව අපට ධම්ම පදය තුළින් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. එහි
සඳහන් චිත්ත වග්ගය මේ සඳහා ඉතා වැදගත් වනු ඇත. එහි සිතේ ස්වභාවය ඉතා පැහැදිලිව
දේශනා කොට ඇත.
දිසෝ දිසං යං තං කයිරා
වේරි වා පන වේරිනං
මිච්ඡාපණීහිතං චිත්තං
පාපියෝ නං තතෝ කරේ
යම් සතුරෙක් සතුරකුට කරන විපතකටත් වඩා, යම් වෛරකාරයෙක් වෛරකාරයකුට කරන විරුද්ධ
ක්‍රියාවකටත් වඩා වැරැදි විදියට පිහිටුවා ගන්නා ලද සිත ඔහු මහා පව්කාරයකු කරන්නේ ය.
ඉහත ගාථාවෙන් පැහැදිලි වන්නේ වැරැදියට යෙදු සිත මොන තරම් අනතුරක් කරන්නේ ද යන්න
පිළිබඳව යි. සාමාන්‍යයෙන් ජන සමාජයේ වරදක් කරන අය අප දකින්නේ සතුරන් විලසිනි.
නැත්නම් වැරැදිකරුවන් විලසිනි. නමුදු ඔවුන් කරන වැරැදි තුළින් වුව ද තම සිත තමනට
විරුද්ධ ව කටයුතු කරන්නේ නොමඟට සිත යෙදවීම තුළිනි. එසේ සිදුවන්නේ සිතේ ඇති වන
අයහපත් සිතිවිලි ම හේතුවෙනි.
අප සිදුහත් මහ බෝසතාණෝ බුද්ධත්වය ලැබීමේ දී උන්වහන්සේගේ එම ගමන නවත්වාලනු වස් දස
මාර සේනාව පැමිණි බව බුද්ධ චරිතය තුළින් අනාවරණය වේ. එම දස මාර සේනාව වන්නේ කාම
(කැමැත්ත) අරති (කුසලට කලකිරීම) බුප්පිපාසා (පිපාසාව, බඩගින්න) තණ්හා (තෘෂ්ණාව)
ථීන– මිද්ධ (සිතේ කයේ අලස බව) උත්තාස (තැතිගැන්ම, භය) විචිකිච්ඡා (සැකය) මක්ඛ –
තම්හ ( නැති ගුණ කීම, ගුණමකු බව, සිතේ දැඩි බව) යසස (ලාභ සත්කාර මගින් හා වැරැදි
මාර්ගයන්ගෙන් ලබන කීර්තිය) අත්තුක්කංසන පරවම්බන (තමන් උසස් කොට සලකමින් අනුන් පහත්
කොට තැකීම) මෙම දසමාර සේනාවෝ බුදු රදුන් බුද්ධත්වය ලබා ගැනීමේ දී බාධා කළහ. ඇත්තෙන්
ම දසමාර සේනාව නම් කෙලෙස් සතුරන් ය. ඕනෑම සිතකට එලෙස කෙලෙස් සතුරන් ඇතුල්වනු ඇත. අප
ඔවුනට අවනත වුවහොත් ඔවුන් විසින් අප විනාශ කරනු ඇත. එයින් තමන්ගේ හොඳ අභිප්‍රායන්
කඩාකප්පල් වනු ඇත. තමනට වගේ ම අනුනටත් ලොකු විනාශයක් එතුළින් සිදු වීම නියත ය.
එනිසා සිත ට පැමිණෙන කෙලෙස් සතුරන් මැඩ පැවැත්වීමට නිරන්තරයෙන් වෙහෙස විය යුතුව ඇත.
ත්‍රිවිධ අකුසල, පංච නීවරණ, යනා දී කෙලෙස් සතුරන් නිරන්තරයෙන් අපේ සිතට ඇතුල් වේ.
ඒවා සිතට පැමිණ, සිතේ ප්‍රසන්නභාවය නැති කොට, සිත කිලිටි කරනු ඇත. එයින් සිදුවන්නේ
තමාගේ සිත තමා විසින් ම නසා ගන්නා ආයුධයක් බවට පත්වීම ය. ඒ කෙලෙස් සතුරන්ගෙන්
ප්‍රධාන සතුරෙක් ලෙස වෛරය පෙන්වා දීමට පුළුවන. වෛරය තුළින් තමා පමණක් නොව මුළු
විශ්වය ම විනාශ කිරීමට පුළුවන. කායික මානසික දෙඅංශයේ ම රෝගීවීමට නැසීමට වෛරය සමත්
වනු ඇත.
නහි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ
මේ ලෝකයේ කිසි විටෙකත් වෛර කිරීමෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. (වෛර කරන්නාට) වෛර
නොකිරීමෙන් ම වෛරය සංසිඳේ. මේ සෑම කල්හි නොවෙනස් ව පවත්නා සත්‍ය ධර්මයකි.
(ස්වභාවයකි)
ඒ අනුව සලකා බැලීමේ දී තමා නසන ආයුධය වන්නේ වැරැදියට යෙදූ තම සිත ම බව පැහැදිලි වේ.
තමන්ට අනුන් නිසා යම් කරදරයක්, විපතක් වන්නේ නම් ඒ ඉතා සුළු වශයෙනි. නමුදු තමාගේ
සිත තමාට ඊට වඩා ලොකු විනාශයක් සිදුකරනු ඇත. සමහර විට එය මේ ආත්මයට පමණක් නොව ඊළඟ
බවවලට ද බලපානු ඇත. අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි. වැනි කෙලෙස් ධර්ම ස්ථාවර
වුවහොත් සෝවාන් වීමටවත් නොහැකි ය. සතර අපාදි දුක්වලට පවා පත්වීමට ඒවා බලපානු නිසැක
ය.
ඉහත කරුණු පිළිබඳ අවධානය යොමු කොට සිත පවිත්‍ර කර ගැනීම ඉතා මැනවි.වෛරාදී අකුසල
සිතිවිලි ඉවත් කිරීමත්, මෛත්‍රිය වැනි උතුම් බෝධිපාක්ෂික ධර්ම වර්ධනය (පුහුණු)
කිරීමත් සසර ගමන සුබ වීමට ඍජුව ම බලපානු ඇත.
මිනිසත් බව ලද පමණින් එහි වටිනාකමක් ඇති නොවේ.
උසස් චින්තන ශක්තියක් තුළින් දුර්ලභව ලද මිනිසත් බව තව තවත් ඔපවත් වන්නේ උසස්
චින්තන ශක්තියක් තුළිනි. උසස් සිතිවිලි වර්ධනය කොට ගෙන, තමා, තමා විසින් ම නසන්නකු
බවට පත් නොකොට ගෙන තමා තමා විසින් ම නොනසන්නෙක් බවට පත්වීමට සැවොම උත්සාහවත් වීම
ඉතා අගනේ ය. |