[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මින්පසු මෙහි එන්න එපා දැන්ම මෙතැනින් යන්න

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටින සමයේ සිදු වූ අපූරු කථා පුවතකි මේ.

මින්පසු මෙහි එන්න එපා දැන්ම මෙතැනින් යන්න

දිනක් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ පාත්‍රා සිවුරු ආදිය අරගෙන බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට වැඩම කර ‘‘ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, සමා වන සේක්වා!, මම රජගහනුවර පිප්ඵලී වනයේ පිප්ඵලී ගුහාවේ වැඩවාසය කරමින් ධුතාංග පිරීමට කල්පනා කළා. එයට ඔබ වහන්සේගේ ආශිර්වාද ලබා දෙනවා නම් මම බොහෝ සේ සතුටට පත්වෙමි‘යි ඉතා ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කර අවසර ඉල්ලා සිටියා.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි අපමණ කරුණාවෙන් යුක්ත බැවින් ගමන පිළිබඳවත්, එහි දී මුහුණ දීමට සිදුවන බාධක සහ සිවුපසය ගැනත් වැඩිදුරටත් තොරතුරු විමසා අවැසි උපදෙස් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පා ගමනින් ම සැතපුම් සිය ගණනක දුර ගෙවා පිප්ඵලී වනයේ, පිප්ඵලී ගුහාව වෙත වැඩම කළා. උන්වහන්සේගේ ගමනට තවත් සාමණේර පිරිසක් ද සම්බන්ධ වුණා. තෙරුන් වහන්සේට වාසය කිරීමට සුදුසු අයුරින් කුටියක් සකස් කර පැන් ආදිය පෙරා තබා අසල පිහිටි ලෙන්වලට වැඩම කර භාවනා කටයුතුවල නිරතවීමට පටන් ගත්තා. දිනක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ කුටිය සහ මිදුල ඇමදීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ අමතා,

‘‘පින්වත් මහණෙනි මම අද දින පටන් දින හතක් ධ්‍යානයට සමවැද හත් වැනි දින නැඟී සිටින්නෙමි. ඔබ වහන්සේලාත් එකදු දිනක්වත් අපතේ නොයවා භාවනා කටයුතුවල නිරත වන්න“යි අවවාද කළා. තෙරුන් වහන්සේලාත්,මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අවවාදයේ පිහිටා කටයුතුවල නියැළුණා. හත්වැනි දින මහ රහතන් වහන්සේ ධ්‍යාන සුවයෙන් නැඟී සිට ‘‘මම අද කවරකුට පිහිට වෙම්දැයි දිවැසින් විමසා බලා ඒ වේලෙහි හැල් කෙතක් රැක බලා ගන්නා තරුණියක දැක ඇයගේ පුණ්‍ය මහිමයත්, ප්‍රඥාම හිමයත් අවබෝධ කර ගත්තා.

ඇය සිටින හැල් කෙත වෙත වැඩම කළා. ලාජා නම් තරුණිය ඉතා දුක සේ ජීවත් වන තැනැත්තියක්. එදින දිවා ආහාරයට ගෙදරින් ගෙන ඒමට තරම් දෙයක් ගෙයි තිබුණේ නෑ. ඇය උදෑසනත් කුසගින්නේ ම හැල්වී කෙත බලා ගැනීමට පැමිණියේ සිටුවරයා වෙතින් රැකියාව අහිමි වේ ය යන බියෙන් ම යි. හෝරාවෙන් හෝරාව කාලය ගත වුණා. මධ්‍යාහ්න සමය උදාවීමට පටන් ගත්තා. අව් රශ්මිය වැඩි වෙන්නට පෙර හොඳින් පැසුණු වී කරල් ටිකක් කඩාගෙන විත් පැලේ තිබෙන අස්කට්ටේ දමා බැදගෙන පොරි බවට පත් කර ගැනීමට ඇය කල්පනා කළා. ඒ අයුරින්ම කටයුතු කළා. ඉතා පිරිසුදුව සකසා ගත් පොරි බඳුන දකින ඇයගේ කුස ගින්න තවත් වැඩි කළා.

පැලෙහි තිබුණු පැණි සමඟ පොරි කළවම් කර කෑමට සූදානම් වුණා. තවත් වතාවක් කුරුල්ලන් පැමිණ වී කරල්වල වසන අයුරු ඇයට එවේලෙහි දකින්නට ලැබුණ නිසා වහා ඔවුන් එළවා දැමීමට කුඹුර වෙත බැලූ ඇයට දකින්නට ලැබුණේ පීත වර්ණයෙන් බබළන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පින්බර රුවයි. ඇය බුදුරජාණන් වහන්සේ ගැනත්, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැනත් අසා තිබුණා. පිණ්ඩපාතයේ වැඩම කරන බවත්, එවිට පාත්‍රයට යමක් පිළිගැන්වීමෙන් මහත් වූ ආනිශංස ගෙන දෙන බවත් අසා තිබුණා. එහෙත් කුලී වැඩ කර ලබන ලද මුදලින් බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවක සංඝයාට දානයක් දීමට හෝ එවැනි කටයුත්තක් කිරීමට සිතීම පවා ඇයට හීනයක් වී තිබුණා.

ඇයගේ නිවසේ තත්ත්වයත්, ආර්ථික අපහසුතාත් සිහිපත් වුණත් මෙවැනි සිතිවිල්ලක් ද ඇයට පහළ වුණා. ‘‘මම අහල තියන විදිහට බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තමන් වහන්සේලාගේ පාත්‍රයට ලැබෙන ඕනෑම දෙයක් වළඳනවාලු. ඒ නිසා අද මා වෙත උදා වී තිබෙන්නේ අදහා ගත නොහැකි තරම් භාග්‍යයක්.

ඒ නිසා මම සකස් කර ගත් පොරි ටික මේ තෙරුන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. උන්වහන්සේ ඒවා පිළිගත්තොත් මම කොතරම් නම් පින්වන්තදැ’යි සිතා උදෑසන සිට කුස ගින්නෙන් පීඩිතව සිටි ඇය තමන්ගේ ආහාරයට සකසා ගත් දුප්පත්ම දානය පූජා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉතා කරුණාවෙන් ඒ දානය තමන් වහන්සේගේ පාත්‍රයට පිළිගත්තා. තරුණිය දානය පාත්‍රයට පිළිගන්වන ගමන් තෙරුන් වහන්සේට ඇසෙන අයුරින් ‘‘ස්වාමිනි, ඔබ වහන්සේ දුටු ධර්මයට මමත් හිමි තැනැත්තියක් වෙම්වා“යි ප්‍රාර්ථනා කළා.

තෙරුන් වහන්සේ ඇයගේ වදන් අසා ‘‘ඔබගේ අදහස එසේම සිදුවේවා“යි ආශිර්වාද කළා. තෙරුන් වහන්සේ නැවතත් පිප්ඵලී ගුහාවට වැඩම කර පොරි දානය වැළඳුවා. තරුණියට අදහා ගත නොහැකි තරම් සතුටුයි.

ඇය ගී කියන්න පටන් ගත්තා. නටන්න පටන් ගත්තා. සතුටින් ඉපිලී ගියා. බඩගින්නක් නැති තරම් සතුටක් දැනුණා. ඒ සතුටු සිතින් යුක්තව ම නැවතත් හොඳින් පැසුණු වී කරල් සොයමින් කුඹුරේ එහා මෙහා ඇවිදින්න පටන් ගත්තා. දිවා සමය උදාවී තිබූ නිසාත්, කුඹුරේ ජලය බැස යාමට සලසා තිබූ නිසාත්, ජලය සොයමින් පැමිණි නාගයකු ඇගේ පයට පෑගුණා.

කුපිත වූ නාගයා ඇයට දෂ්ට කළා. තමා බේරා ගැනීමට මහත් හඬින් කෑ ගැසුවා. එහෙත් අසල කිසිවකුත් නො සිටි නිසා ඒ විෂ ශරීර ගතවීමෙන් ඇය මරණයට පත් වුණා. ඉතා සතුටු සිතින් යුක්තව සිටි නිසා මරණයත් සමඟ තව්තිසා දෙව් ලොව මහත් වූ දිව්‍ය සම්පත් හිමි දිව්‍යාංගනාවක් ලෙසින් උපත ලැබුවා. දොළොස් යොදුනක් දිග රන් වස්ත්‍රයක් ඇයට පහළ වී තිබුණා. එය හකුළන විට කුඹ මලක් තරමට හැකිලෙනවා.

එය හැඳගෙන එබදුම සළුවක් පොරවාගෙන, දහසක් පිරිවර කොටගෙන, තමන් පෙර කළ පින්කම කියා පාන්නාක් මෙන් සුවඳ පොරි පිරුණු රන්තැටි සියගණනක් සහිත මාලිගාවක හිමිකාරියක් බවට පත් වුණා.

තමන්ට මෙපමණ දිව්‍ය සම්පත් හිමි වූයේ කවර පිනක මහිමයෙන්දැ’යි දිවසින් බලා සියලු පුවත් දැන ගත්තා. තව තවත් පින්කම් කිරීමේ තදබල ආශාවක් ඈ සිත්හි පහළ වුණා. ඒ නිසාම මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ වැඩ සිටින පිප්ඵලී ගුහාව වෙත පාන්දරින් ම ගොස් කුටිය අවට මිදුල ඇමද, පැන් පෙරා තබා සියලු වත් පුරා නැවතත් දෙව් ලොවට පැමිණීමට කටයුතු කළා.

දෙවැනි දවසත් එසේ ම කළා. මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ උදෑසන කුටියෙන් පිටතට වැඩම කරන විට සියලු කටයුතු නිමා වී තිබෙනු දුටුවා. උන්වහන්සේ ඒ සියල්ල තමන් වහන්සේ සමඟ පැමිණි සෙසු භික්ෂූන් වහන්සේලා කර තබන්නට ඇතැයි සිතුවා.

එහෙත් තෙවැනි දින පාන්දර තමන් වහන්සේගේ කුටියට ඉතා කුඩා සිදුරකින් මහා දිව්‍ය ආලෝකයක් වැටෙනු දැක කුටියෙන් නික්මී එළියට පැමිණ තමන් කවුරුන් දැයි දිව්‍යාංගනාවගෙන් ප්‍රශ්න කළා. එවිට ඇය අසවල් කුඹුරේ හැල්වී බලා ගත් තරුණිය බවත්, තෙරුන් වහන්සේට පොරි දානයක් පිළිගන්වා මහත් වූ දිව්‍ය සම්පත් ලැබූ බවත්, එම සම්පත් ස්ථිර කර ගැනීමේ අරමුණින් තව තවත් පින් කිරීමට මෙසේ වතාවත් කරන බවත් නමස්කාර කරමින් පවසා සිටියා.

එහෙත් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ දිව්‍යාංගනාවගේ එම ක්‍රියාවට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ‘‘පින්වත් දිව්‍යාංගනාවනි, මින් පසු මෙහි එන්න එපා, කළ පින්කම් හොඳටෝම ඇති, දැන්ම මෙ තැනින් යන්න’’යැයි අවවාද කළා. දෙවඟන මහත් සේ හඬන්න පටන් ගත්තා.

‘‘අනේ ස්වාමිනි එසේ නො වදාරනු මැනවි, ඔබ වහන්සේ නිසා ලැබූ මේ සම්පත්තිය තහවුරු කර ගන්නට අවස්ථාව ලබා දෙනු මැනවැ’’යි නැවත නැවතත් ආයාචනා කළා. එහෙත් එයට මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් අවසර හිමි වූයේ ම නෑ. ඇය වේදනාවටත්, දුකටත් පත් වූවා.

තවතවත් හැඬීමටත් වැළපීමටත් පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ සුගන්ධ කුටියේ වැඩ සිටිමින් මේ පුවත දැක ආලෝකයක් විහිදුවා ‘‘පින්වත් දෙව්දුව දුක් නො වන්න, මගේ පුත්‍ර මහාකාශ්‍යප තෙරුන් වහන්සේ ඔබට අහිත පිණිස එසේ නො පවසති. ඒ තෙරුන් වහන්සේ උන්වහන්සේගේ ආරක්ෂාව සලසා ගත යුතු ය.

මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ මනාව හික්මුණු අයෙක් වෙති. ඉදිරියේ ඇතිවන ලෝකාපවාදය නිසා ඔබට මේ ස්ථානයෙන් පිටව යන්නට උපදෙස් දුන්හ.

පින් කිරීම දිව්‍ය මනුෂ්‍ය කවර ආත්මයක සිටියත් නැවත නැවත කළ යුතු ය. එය මෙලොව පරලොව සුගතිය පිණිසම පවතියි. එ බැවින් සුදුසු තැන් බලා පින් කර ගත යුතු යැයි ධර්මාවවාද දී වදාළා.

දෙව්දුව සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, මහාකාශ්‍යප මහ රහතන් වහන්සේටත් නමස්කාර කර ඉතා සතුටින් දෙව් ලොවට පිටත් ව ගොස් බොහෝ කලක් දිව්‍ය සම්පත් වින්දනය කළා. බොහෝ පින්කම් ද සිදු කර ගත්තා.

දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]