[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයේ ලස්සන අවලස්සන කරන මලකඩ ගැන දන්නවා ද?

ජීවිතයේ ලස්සන අවලස්සන කරන මලකඩ ගැන දන්නවා ද?

කාලය නවතින්නේ නැත. එය නොනැවතී ගෙවී යයි. උදාවූ හිරු නිශ්චිත කාලයක් තුළ අවරට ගොස් නොපෙනී යන්නේ දවස නිමා කරමිනි. ගලා බසින දිය පාරක ස්වභාවය ද එසේ ම ය.

ගෙවී ගිය කාලය ද, දිවා කාලය නිමා කළ හිරු ද, ගලා ගිය දිය දහර ද කිසිවකුටත් නැවත ලබා ගත නොහැක. ජීවිතය ද කාලය මෙන් ගෙවී යන, හිරු මෙන් මොහොතින් මොහොත අවරට ළං වන, දිය දහර මෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා උත්පාද ඨිති භංග තත්වයට පත් වන ලෝක යතාර්ථය තුළ සදාකාලික නොවූ තාවකාලික ගමන් කිරීමකි.

එනිසා ඒ මොහොතේ කළ යුතු යම් යම් කාර්යයන් ඒ මොහොතේ ම කළ යුතු ය. එලෙස නොකරන්නේ නම්, නැවත එම කාර්යයන් සම්පූර්ණ කිරීමට ඒ ගෙවී ගිය කාලය ජීවිතය අවසන් වන තුරු නැවත ලැබෙන්නේ නැත. එලෙස ජීවිතයේ අතපසු වූ වැඩ අසීමිත සංඛ්‍යාවක් ගොඩගැසෙන්නේ පමාව හෙවත් ප්‍රමාදය හේතුවෙනි.

බොදු පිළිවෙත තුළ ප්‍රමාදයට කිසිදු අවකාශයක් ලැබෙන්නේ නැත. එය සහමුලින් උදුරා දැමිය යුතු, ඉවත් කළ යුතු ජීවන ස්වභාවයක් බව බෞද්ධ දර්ශනයේ මොනවට විස්තර වේ. පිළිවෙළක් නැති අසාර්ථක ජීවිත තුළ නිබඳ ව ප්‍රකට වන්නේ ප්‍රමාදය යි. යමෙක් ජීවත් වුව ද ප්‍රමාදයෙන් යුක්ත නම්, මිය ගිය තැනැත්තකු ලෙස සැලකිය යුතු බව පමාදො මච්චුනො යන්නෙන් සහ යෙ පමත්තා යථා මතා යන බුද්ධ භාෂිතයන්ගෙන් පැහැදිලි වේ.

අප ජීවත් වන සමාජයේ එලෙස සැරිසරන, මෘත භාවයට පත් මිනිසුන් කොතෙකුත් හමුවීමෙන් මේ බුද්ධ භාෂිතයන්හි ඇති යතාර්ථය නැවත නැවතත් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ‘ප්‍රමාදය’ යම් තැනැත්තකු ජීවත් වුවත් ,මියගිය තැනැත්තෙක් බවට පත් කීරීමට තරම් ප්‍රබල වූයේ කවරහෙයින්ද යන්න විමර්ශනශීලි ව ගැඹුරින් අධ්‍යයනය කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ප්‍රමාදය සියලු කාර්යයන් අතපසුවීමට හේතු වේ- පමාවීමෙන් වැඩ සංඛ්‍යාවක් ගොඩගැසී එකී කාර්යයන් කර ගත නොහැකිව දිනෙන් දින මඟ හැරී යයි. ඇතැම්විට එකී කාර්යයන් කිසිදා සම්පූර්ණ කළ නොහැකිව ‘අතපසු වූ වැඩ’ නැමැති ගොඩට එක්වන අවස්ථා ද නැත්තේ නොවේ- එලෙස මඟ හැරුණු සමහර කාර්යයන් ජීවිතය අවසන් වන තුරුත් ඇතැම්විට සම්පූර්ණ කර ගත නොහැකි ය.

මේ ආකාරයට ජීවිතයේ එදිනෙදා කළ යුතු කාර්යයන් නොකෙරෙන්නට බලපාන ප්‍රධානම හේතුව ප්‍රමාදී බවයි. මිනිසා එකී ප්‍රමාදයට ගොදුරු වන්නේ ‘කෝසජ්ජ’ හෙවත් කුසීතකමේ අතුරු ඵලයක් ලෙසිනි.

මැළි, කම්මැළි, අලස, උදාසීන යන වචනවලින් ගම්‍ය වන්නේ ද ඉහත සඳහන් කුසීතකමයි. ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ කුසීතකම මල ධර්මයක් බව දෙසූහ. මල ධර්ම යනු මලකඩයි.

මලකඩ ඇතිවන්නේ ලෝහ හෙවත් යකඩ මත ය. මල බැඳුණ යකඩය එකී මලකඩින් ම විනාශයට පත් වේ. මලකඩ යකඩ විනාශ කරන දිලීරයකි. මෙලොව ඇති අනෙක් සියලු වස්තුන් ද ඒ ඒ වස්තුන්ට අයත් මලකඩ හෙවත් දිලීර මගින් අනුක්‍රමයෙන් විනාශවීම සියලු වස්තූන්ට පොදු ය. ඒ අනුව සියලු වස්තූන් විවිධ මලකඩයන්ගෙන් විනාශවන බව මොනවට පසක් වේ.

යකඩයක වේවා, වෙනත් වස්තුවක වේවා විනාශයට හේතු වන්නේ එක් වර්ගයක දිලීරයක් හෙවත් මලකඩක් පමණි. එහෙත් මිනිසා විනාශ කිරීමට පාදකවන මලකඩ වර්ග හතක් ඇති බව ශාන්ති නායකයාණන් වහන්සේ පෙන්වා දී තිබේ. කෙසේ වුව ද මේ ලිපියේ අරමුණ එම හත අතුරෙන් එකක් වන කුසීතකම නැමැති මලකඩ පමණක් විමසීමයි.

කුසීතකම නැමති මලකඩ අපේ ජීවිතයේ කවර අංගයක් කා විනාශ කරන්නේ ද යන්න පළමුව වටහා ගත යුතු ය. මලං වණ්ණස්ස කෝසජ්ජං යන බුද්ධ භාෂිතය විමසීමෙන් එයට පිළිතුරු ලැබේ. පුද්ගලයාගේ රූපවත් බව, නිරෝගී බව, පිරිසුදු බව කම්මැළිකම නැමැති මලකඩ විසින් කා විනාශ කරන බව ඉහත සඳහන් බුද්ධ භාෂිතයෙන් ප්‍රකාශ වේ. පිරිසුදුකම නිරෝගි බවට හේතුවේ. නිරෝගි තැනැත්තාගේ සියලු අඟපසඟ මැනවින් පවතින අතර, නිරෝගි පුද්ගලයා ළගන්නා සිරුරකින් යුත් රූපවත් තැනැත්තෙකි. ඒ අනුව පුද්ගලයාගේ සුන්දරත්වය සහ සෞඛ්‍ය සම්පන්න බව නැතිවීමට කම්මැළිකම හේතුවන බව සක්සුදක් සේ පැහැදිලි ය.

කම්මැළිකම පුද්ගලයා සම්පූර්ණයෙන් විනාශ කරන හලාහල විෂ හා සමාන පුද්ගල නාශක මලකඩකි. කම්මැළියා වෙලාවට අවදි නොවේ. නිදන්නේ ද නිදිය යුතු වෙලාවේ නොවේ. කම්මැළියාට නින්දට රාත්‍රිය දවාල වශයෙන් වෙනසක් ඇත්තේ ම නැත. කම්මැළිකමෙන් නිතර නිතර නිදන තැනැත්තාගේ සෞඛ්‍ය තත්වය කෙසේ දැයි තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

කම්මැළියා තමාගේ පැවැත්මට අවශ්‍ය ආහාර පාන පවා නිසි වෙලාවට පිළිවෙළකට ගන්නේ නැත. ඇඳුම් පැළඳුම් ද සෝදන්නට, පිරිසුදු කර ගන්නට ඔහුට වෙලාවක් නැත. සතියකට දින කීපයක් පමණක් දත කට මැදීම, නා පිරිසුදු වීම ඔහුගේ දින චරියාවයි. දිනපතා දත කට මැද නා පිරිසුදුවීමක් කම්මැළියාට ඇත්තේ ම නැත. අපිරිසුදු, දුගඳ හමන ඇඳුම් නොසේදීම නිසා කම්මැළියා අප්‍රිය අප්‍රසන්න තැනැත්තෙක් වෙනවා පමණක් නොව විවිධ චර්ම රෝග ආදි ලෙඩ රෝගවලින් පීඩා විඳීන්නෙක් බවට ද පත්වේ. කම්මැළිකම නැමැති මලකඩ පුද්ගලයාගේ රූපවත් බව සහ ශරීර සෞඛ්‍යය කා විනාශ කරන්නේ ඒ ආකාරයෙනි. නිසි වෙලාවට අවදි නොවන, ආහාර පාන නොගන්නා, දත කට මැද නා පිරිසුදු නොවන කම්මැලියා යම් බෝවන රෝගයක් වේ නම් ක්ෂණයෙන් ඊට ගොදුරු වේ. එපමණක් නොව ශරීර පැවැත්මට අවශ්‍ය නිසි ව්‍යායාම කරන්නට කම්මැළියාට කොහෙත්ම වෙලාවක් නැත. එනිසා ඔහු දියවැඩියාව, හෘදයාබාධ, රුධිර පීඩනය ආදි බෝ නොවන රෝග රැසකට නිතැතින් ගොදුරු වන්නෙකි. වර්තමානයේ මෙරට බෝ නොවන රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින්නේ කම්මැළිකම නැමැති මලකඩය හේතුවෙනි.

කම්මැළිකමෙන් යුත් ගෘහණියක් තම ස්වාමි පුරුෂයාට සහ ආදරණීය දරුවන්ට මෙරට ඇති පෝෂ්‍යදායී ආහාර වෙහෙස මහන්සිවී උයාපිහා දෙනවා වෙනුවට චූන් පාන් ආදිය ක්ෂණික ආහාර ලබා දෙන්නේ කම්මැළිකම නැමැති මලකඩ නිසා ය. මෙරට අනාගතය බාර ගන්නා දරුවන් නිතැතින් ලෙඩ රෝගවලින් යුත් පිරිසක්වීමට එකී මලකඩය හේතු වන බව මොනවට පසක් වේ.

කම්මැළිකම ඇතැමකුට හුදු සරල දෙයක් ලෙස පෙනුණ ද එය පින්වත් ඔබේ සිරුරේ නිරෝගි රූපවත් බවත් පිරිසුදු ප්‍රසන්න බවත් නිතැතින් ඈත් කරයි. එ පමණකින් නොනවතින කම්මැළිකම නැමැති මේ මලකඩ, එදිනෙදා පින්වත් ඔබ කළ යුතු කාර්යයන් නොකිරීමට පොළඹවන අතර, අන්‍යයන්ට පමණක් නොව ඔබට ම, ඔබ ප්‍රයෝජනයක් නැති ප්‍රමාදි අසාර්ථක හිස් පුද්ගලයෙක්වීම කිසිසේත් වැළැක්විය නොහැකි ය.

උඳුවප් පුර අටවක

දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]