[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

86 වැනි වියට පා තබන වේරහැර අරියවංශ නාහිමියෝ

86 වැනි වියට පා තබන වේරහැර අරියවංශ නාහිමියෝ

වේරහැර අරියවංසාභිධාන නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වූයේ ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති රාජකීය පණ්ඩිත ආගම චක්‍රවර්තී පලන්නොරුවේ ශ්‍රී සිද්ධාර්ථ විමලධම්මාභිදාන කොළඹ නව කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මාපිටිගම ගුණරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පලන්නොරුවේ ශ්‍රී විජයසුන්දරාරාමාධිපති සද්ධර්ම විමලකීර්ති ශ්‍රී පිඹුරේ සීලවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

මූලික ධර්ම ශාස්ත්‍ර හැදෑරීම සිදුවූයේ මාලිගාකන්දේ විද්‍යෝදය මහා පරිවේණස්ථානයෙනි. 1959 විද්‍යෝදය අවසාන පරීක්ෂණයෙන් භාෂාත්‍රයෙන් ප්‍රමුඛත්වය ලබා ගෙන අනතුරු ව විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් සමත් ව 1961 වර්ෂයේ දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඉහළ සාමාර්ථයක් සහිතව උපාධිය ලබා ගත් නාහිමි මුලින් ම පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන්, කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේස්වර පිරිවනෙහි කටයුතු කළහ.

අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පරිවේණස්ථානය ආරම්භ කරන ලද්දේ 1965 සැප්තැම්බර් මස 13 වන දා ය. අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, දෙවුන්දර ශ්‍රී සුමංගල ධර්මකීර්ති වාචිස්සරාභිදාන කොළඹ කඩවත් සතර තුළ ප්‍රධාන සංඝනායක, ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් එය ආරම්භ විය. ඒ අවස්ථවේ සිට පිරිවෙනෙහි සියලු වගකීම් දරමින් පරිවේණාධිපති ධුරයට පත් වෙමින් 1996 වර්ෂයේ දෙසැම්බර් 06 වන දා පාරිවේණාධිපති ධූරයෙන් විශ්‍රාම ලැබූහ. අනතුරුව 1984 වර්ෂයේ තමන් වහන්සේගේ ම භූමියක ආරම්භ කරන ලද කොස්ගම, කරගල්ල ශ්‍රී නීග්‍රෝධ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි ධුරය දරමින් පිරිවෙන් දෙකෙහි ම අභිවෘද්ධිය සඳහා සිය සැඳෑසමය කැප කරමින් ක්‍රියා කළහ.

නාහිමියන්ගේ ආචාර්යත්වය ලැබූ ශිෂ්‍යවරයන් වහන්සේලා සංඛ්‍යාවෙන් අල්ප වුවත් උන්වහන්සේගෙන් උපාධ්‍යායත්වය දැරූ යතිවරයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් දැනටත් ලෝක ශාසනික සේවාවේ නිරත ව කටයුතු කරති. පිරිවෙන ආරම්භ කරන ලද මුල් අවස්ථාවේ පටන් නාහිමියන්ට අවට විහාරස්ථානවලින් තිබූ අසීමිත ගෞරවය හා පිළිගැනීම හේතුවෙන් ඒ ඒ විහාරස්ථානවල ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිය සාමණේරයන් වහන්සේලා පැවිදි කිරීමේ කාර්යයේ දී උපාධ්‍යාය ධූරය සඳහා තෝරා ගනු ලැබූයේ නාහිමිපාණන් වහන්සේ ය. එසේ උපාධ්‍යාය ධුරය දරමින් නාහිමිපාණන් වහන්සේ අතින් පැවිදි බිමට පත් ශිෂ්‍ය භික්ෂු පිරිස වත්මනෙහි දෙස් විදෙස් ශාසනික සේවාවෙහි නිරතව සිටිති. එය වේරහැර අරියවංශ නාහිමි අතින් සිදු වූ අනර්ඝත ම සේවාව ලෙස සැලකිය හැකි ය.

ශ්‍රී සුධර්මාරාම පරිවේණස්ථානය අවට විහාරස්ථානවල කුදු මහත් ආගමික උත්සව පින්කම් විෂයයෙහි පමණක් නොව ඒ ඒ දායක පින්වතුන්ගේ, නිවෙස්වල සිදු කෙරෙන පින්කම් ආදිය ද සාර්ථක ව සිදු කර ගැනීම සඳහා නාහිමිපාණන් වහන්සේගෙන් ඉටු වූ සේවාව අතිශයින් අගය කළ යුතු ය. නාහිමිපාණන් වහන්සේගේ මේ විශිෂ්ට කැපවීම නිසා අවට විහාරස්ථානවල දායක පින්වතුන්ගේ බැඳීම පරිවේණස්ථානය සමඟ වර්ධනය විය.

නාහිමිපාණන් වහන්සේගේ සුවිශේෂ පෞරුෂත්ව ලක්ෂණ හා ක්‍රමානුකූල බව නිසා දේශනයේ හා සන්නිවේදනයේ ඇති පෘථිලත්වය නිසා ද නාහිමි කෙරෙහි ආකර්ෂණය දිනෙන් දින වැඩිවන්නට විය. එය මුදිතාවෙන් සැලකූ භික්ෂූන් වහන්සේලා හා දායක පින්වත්හු නාහිමි සේවාව ඇගයීමට ලක් කළහ.

වේරහැර නාහිමිපාණන් වහන්සේගේ පුරුෂාර්ථ කාලීන අවශ්‍යතා ඉටුකරන පදනමකින් සකස් වූ ඒවා විය. පුද්ගලික ජීවිතයේ සුඛ විහරණය, මිල මුදල් ඒකරාශි කිරීම, පෞද්ගලික ගිණුම් තර කර ගැනීම ආදිය කෙරෙහි උනන්දු නොවූ හ. උන්වහන්සේගේ ප්‍රමුඛතාව හිමි වූයේ පරාර්ථය පදනම් කරගත් පුරුෂාර්ථ කෙරෙහි ය. භික්ෂූන් අධ්‍යාපනයෙන සන්නද්ධ කිරීම කෙරෙහි ය. ශ්‍රී සම්බුද්ධ ශාසනය රැක ගැනීම කෙරෙහි ය. ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය වූයේ ස්වාර්ථ සාධනීය අධිගමනයන්ට පත්වීමට වඩා පරාර්ථකාමී හැඟීමෙන් ශාසන අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම යි.

උන්වහන්සේ පසුගිය 06 වැනි දින 86 වැනි වියට පියවර තැබූහ. ශ්‍රී සිද්ධාර්ථ විමලධම්මාභිධාන වේරහැර අරියවංශ නාහිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

උඳුවප් පුර අටවක

දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]