[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඊළඟ බවය ගැන කියන මරණාසන්න මොහොතේ ගති නිමිති

ඊළඟ බවය ගැන කියන මරණාසන්න මොහොතේ ගති නිමිති

" බොහෝ වෙලාවට මරණකරුට තිබෙන ලොකුම අලාභය ධර්මය නොදත් ඥාතීන් සිටීම ය. මරණයේ දී ඒ තැනැත්තා කායික වේදනා මෙන් ම, මානසික වේදනා අත්විඳී . ඒ සියල්ලට ම වඩා ප්‍රියයන් අත්හැර යාමේ වේදනාවයි."

ජීවිතයේ වඩා වැදගත් ම අවස්ථාව උපත නොව මරණය යි. මන්ද යත් සසර ගමනේ දී සුගතිය, දුගතිය තීරණය කිරීම සඳහා මෙම අවස්ථාව බොහෝ සෙයින් බලපෑම් සිදු කරන බැවිනි. එහෙයින් එම මෙහොතේ දී සිත සකස් කර ගැනිම අත්‍යවශ්‍ය වේ. සිත සැකසීමේ දී එය ඒ මොහොතේ දී සිදු කර ගැනීම පහසු නොවේ. එය සිදු කරගත හැකිවන්නේ බුදු සරණ ගිය සැබෑ ශ්‍රාවකයාට පමණි.

යහපත් ව හොඳීන් සිටින කාලයේ දී පින් සිදු කරනවා සේ ම ධර්මයෙහි යෙදීම අවශ්‍යය. එමෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස හිතන්න පුරුදු කළ යුතු ය. එසේ නොමැති ව මම ඒ මොහොත් එය බලා ගන්නම්, දැන්ම අවශ්‍ය නොවේ යන හැඟීමෙන් සිටින කෙනකුට එය කළ නොහැකි ය. මරණය හමුවේ සියල්ලෝ ම බියට පත්වේ. “සබ්බේ භායන්ති මච්චුනෝ“ නිවැරැදි ව ධර්මය තේරුම් නොගත් පිරිස් ඒ මත භව සමුදය හෝ භව නිරෝධය නො ලබයි. භව යනු පැවැත්ම යි. එය ධර්මයට අනුව කම්ම භව විපාක වශයෙන් දෙයාකාර වේ. මෙහි දී කම්ම භව යනු පවතින්නට අවශ්‍ය කර්මයෝ ය . විපාක භව යනු එය විපාක වශයෙන් ලබන ස්ථානයන් ය.

එක් භවයක අවසානය මරණයෙන් කෙළවර වන අතර, අනෙක් භවයේ ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත් වේ. සිදුහත් බෝසතාණන් වහන්සේ “අයමන්තිමාජාති නත්ථිදානි පුනබ්භවෝ“ ලෙස සිංහ නාද කොට ප්‍රීතිය ප්‍රකාශ කළේ නැවත තමන් වහන්සේ ගේ උපතක් නැති බව යි. තථාගතයන් වහන්සේ මේ භවය වර්ණනා නො කළේ මේ තත්වය නිසා ම ය. කෙනකු මේ භවයේ දී මරණයට පත්වීම දහම සඳහන් කරනුයේ “ආයුස්මාච විඤ්ඤාණං“ යනුවෙනි. එනම් ආයුෂ, උෂ්ණත්වය සහ විඤ්ඤාණය ඉවත්වීම යි. නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ඔවුන් දැක්වූයේ සිහිය, ස්වසනය, හෘද ස්පන්දනය මොළයේ විද්‍යුත් කම්පනයන් නැතිවීම වශයෙන් ය.

කෙනකුගේ උපතට හේතුවන කාරණා 03ක් මහාතණ්හාසංඛය සූත්‍රයේ දී මෙසේ දක්වනු ලැබේ. මව සුදුසු අවස්ථාවක පසුවීම , මව්පිය එක්වීමක් තිබීම හා ගන්ධබ්භයකු ගේ පැමිණීම යි. මෙහි දී ගන්ධබ්භ යනු විඤ්ඤාණය යි. ධර්මයෙහි මෙය සම්භවේසී ලෙස ද විස්තර වේ. සර්වස්තිවාදීන්ට අනුව අන්තරාභවය ලෙස ද දැක්වේ. ථේරවාදය තුළ මේ පිළිබඳ ඒකමතිකත්වයක් නොවේ. කෙනකු මිය යාමේ දී ඔහුට පහළවන අවසාන සිතිවිලි ධාරාව චිත්ත පරම්පරාවේ අවසානය චුති සිත ලෙස විස්තර වේ. කෙනකු ගේ මිය යාමේ දී (හදිසි මරණයක් වූව ද) ඔහුට කර්ම නිමිති හා ගති නිමිති පහළ වේ. පුරුද්දක් ලෙස කරන හොඳ හෝ නරක කර්ම ආචින්ත්‍ය කර්මයන් ය. ආසන්න යනු මරණාසන්න මොහොතේ ඇතිවන සිතිවිල්ලයි.

කෝසල මල්ලිකාව, ධර්මාශෝක රජු දුගතිගාමී වන්නේ ත් (ස්වල්ප කාලයකට), වසර 50 ක් අලුගෝසු රැකියාව සිදුකළ පුද්ගලයා දිව්‍ය ලෝක ගතවන්නේ ත් මේ නිසා ම ය. එහෙත් ඒ තත්වයන් දීර්ඝ කාලයක් නොපවතී.

මෙහි වැදගත් ම අවස්ථාව ගති නිමිත්තයි. ජීවිත්වන ඥාතීන් ඒ වෙනුවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. බොහෝ වෙලාවට මරණකරුට තිබෙන ලොකුම අලාභය ධර්මය නොදත් ඥාතීන් සිටීම ය. මරණයේ දී ඒ තැනැත්තා කායික වේදනා මෙන් ම, මානසික වේදනා අත්විඳී . ඒ සියල්ලට ම වඩා ප්‍රියයන් අත්හැර යාමේ වේදනාවයි. එහි දී අවබෝධය ඇති කෙනෙක් නම් සිත කුසලයෙහි පිහිටුවා ගෙන සුගතිගාමී තැනක සිත පිහිටුවා ගනී. මෙවැනි වෙලාවක ඥාතීන් හඬන්න, වැළපෙන්න, ඇඟට පනින්න, අතපය අතගාන්න පටන් ගතහොත් ඔහු නැවත වේදනාවට මෙන් ම තෘෂ්ණාවට පත්විය හැකි ය. එහි දී සිදු කළ යුත්තේ නිදහසේ ඔහුට සිටීමට අවස්ථාව සැලසීම හා ආගමික කටයුතු සිදු කිරීමයි. පිරිත් ශ්‍රවණයට අවස්ථාව ලබාදීම, කළ පින් මතක් කිරීම, සුවඳ හඳුන්කූරු දැල්වීම, ජිව මතක වස්ත්‍රයක් පූජා කිරීම ඉතා වැදගත් ය. මරණකරුට ඊළඟ භවය පිළිබඳ ජීවත්ව සිටිය දී ගතිනිමිති පහළ වේ.

අටුවාවට අනුව අපාගත වන්නේ නම්, ලෝහ කටාරම් ද, මිනිස් ලෝකයෙහි පහළ වන්නේ නම්, මව් කුසක්, තොටිල්ලක් දකින්නට ලැබේ. දිව්‍ය ආත්ම භාවයක් ලබන්නේ නම් දිව්‍ය රථ, මල්මාලා, කප්රුක් දැකීමට අවස්ථාව සැලසේ. ධම්මික උපාසකතුමන්ට මෙවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුවිය. එතුමන් ගේ අවසාන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේ සෙත් පිරිත් දේශනා කළහ. ඒ මොහොතේ දී ධම්මික උපාසක අතින් සංඥා කළ අතර, භික්ෂූන් වහන්සේ එ තැනින් නැඟිට විහාරස්ථානයට වැඩියහ. එසේ වැඩියේ ඇයි දැයි ධම්මික උපාසකතුමන් නිවැසියන් ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ නවත්වන්න යැයි ඔබ අතින් සංඥා කළ නිසා උන්වහන්සේ වැඩි බවයි. එහි දී එතුමා සඳහන් කළේ, මම එසේ කීවේ දිව්‍ය රථ මා කැඳවාගෙන ඒමට ආ බැවින් ඔවුන් නැවැත්වීමේ අරමුණින් බවයි. මෙය ගති නිමිත්තකි.

තව ද දිව්‍ය භවයකට යන්නේ නම් සුදු පැහැය, මිනිස් ආත්මයක් නම් කහ පැහැය, තිරිසන් භවයක් නම් නිල් පැහැය, ප්‍රේත භවයක් නම් රතු පැහැය, අසුර නම් තද කොළ පැහැය මරණකරුට දකින්නට ලැබේ.

මේ කරුණු මත මරණාස්නන මොහොත යනු අප සිතනවාට වඩා බැරෑරුම් අවස්ථාවක් බව වැටහේ. වඩා අවශ්‍ය වන්නේ අවබෝධයෙන් ඊට මුහුණදීමයි.

බිනර අව අටවක

සැප්තැම්බර් 28 අඟහරුවාදා අ.භා 18.16 අව අටවක ලබා
29 බදාදා අ.භා 20.29 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]