[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 48: විමලී කුමරියට වෙදකම් කිරීම මිත්‍ර සෙනෙවි පමා කරයි

දුටුගැමුණු මහ රජතුමා - 48:

විමලී කුමරියට වෙදකම් කිරීම මිත්‍ර සෙනෙවි පමා කරයි

සිරිනාග උදෑසනින් ම අවදි විය. උදෑසනින් පිළියෙළ කර තිබු ඔසුපැන් බඳුන බී දිය නා, නිල කුටියට ගොස් දවසේ වැඩ සැලසුම් කරගත්තේ ය. නිවස ඉදිරිපිට බුදු කුටියට ගොස් මල් පහන් පුදා බුදුන් වැන්දේ ය. දෙවියන්ටත්, සියලු ඥාතීන්ටත් පින් දුන්නේ ය. අවසානයේ ලොවට සෙත් පැතුවේ ය.

දුටුගැමුණු රජතුමා ගේ ජයග්‍රහණය සඳහා දිවි හිමියෙන් කැපවන බවට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දුන්නේ ය. අනතුරුව කුටියට ගොස් ගමනට සූදානම් විය. උදෑසන ආහාරය ගෙන නිවෙසින් බැහැර ව අශ්වයා පිට නැඟී ඇතුළු නුවර දෙසට ගමන් කළේ ය.

ඇතුළු නුවර වීදිය දිගේ මද දුරක් ගිය ඔහු කලින් අසා දැන ගත් විස්තර අනුව පැමිණ සුන්දර ගෙවත්තකින් යුතු ප්‍රියමනාප නිවසක් ඉදිරියේ අසු නතර කළේ ය. මෙය පුෂ්පනාථ වෙදැදුරු ගේ නිවෙස විය යුතු යැයි හැඟිණි. නිවස ඉදිරිපිට පැළවලට සාත්තු කරමින් සිටි මහලු වියට ළං වූ පුද්ගලයෙක් අසු ගේ හඬ අසා හිස හරවා බැලුවේ ය.

සිරිනාග එහි වූ කුළුණක අසු ගැට ගැසුවේ ය. මේ පුෂ්පනාථ වෙදැදුරු විය යුතු යැයි අනුමාන කළේ ය. මදක් වේලා ඔහු දෙස බලා සිටි වෙදැදුරු "මේ සිරිනාග සෙනෙවි තුමා ද?" යි විමසී ය.

"ඔව් වෙදතුමනි, ඔබ තුමා දැක හඳුනාගන්න බොහෝ දිනක සිට වුවමනාව තිබුණා. ඒත් පැමිණි දා සිට පැවරූ රාජකාරි කටයුතු නිසා ඊට ඉඩක් ලැබුණේ නැහැ."

"යමු ඇතුළට, මම බෙහෙත් පැළෑටි කිහිපයකට සාත්තු කරමින් හිටියේ. මගේ ඖෂධ සඳහා අවශ්‍ය සියලුම දේ මේ වත්තේ වවා තිබෙනවා. මෙහි රඳවාගෙන බෙහෙත් කරන රෝගීන්ට වුවමනා ඖෂධ පිටතින් ගන්නේ නැහැ."

වෙදතුමනි, මට මේ දිනවල පැවරී තිබුණු රාජකාරිය ප්‍රියමනාප එකක් නොවෙයි. අනුරාධපුර රාජධානියේ සැඟවී සිටින ආගන්තුකයින් සොයා බලා වාර්තා කිරීම කළේ කැමැත්තකින් නොවෙයි. "

නමුත් අනික් සෙනෙවිවරුන් මෙන් සිරිනාග සෙනෙවිතුමා කිසිවකුට හිරිහැර නොකළ බව අසන්නට ලැබුණා. එහෙත් දිඝජන්තුලා චරපුරුෂ චෝදනා යටතේ අහිංසක සිංහලයන් මරා දැමු බවට ආරංචි වුණා. "

"මම කළේ සියුම් ලෙස නිරීක්ෂණය කරන බව ඇඟවීම පමණයි. සැකකටයුතු පිරිස හෙමින් සැරේ පලා ගිහින්"

"සිරිනාග සෙනෙවිතුමනි, ඔබ ඉතාම තරුණයි. ඔබේ පෙනුමෙන් සත්පුරුෂයකු බව පෙනෙනවා. ඔබ ගේ මෑණියන් ගේ යහපත් ගුණ ඔබ ළඟත් තිබෙන බව මට හිතෙනවා"

"සුමන මහා සිටුතුමා ගේ ත්, සිටු දේවිය ගේ ත් මරණ මගේ සිත කම්පා කළ ඝාතන දෙකක්. ඒ මරණවලට වගකිවයුතු පුද්ගලයන් පිටින් මෙහි ආ බවක් පෙනෙන්නේ නැහැ."

"මා ගැන ඔබතුමා තුළ පවතින විශ්වාසයට ස්තතියි වෙදතුමනි, මගේ අම්මා ගේ මරණය දැන ගත් මොහොතේ මම විලාප තියා ඇඩුවා. දින ගණනක් කෑමක්වත් ගත්තේ නැහැ."

"ඔව්, ඒ මරණය හරිම දුකක්. ඇයට අඩු නොවන උණත්, බඩේ අමාරුවත් තිබුණා. රජ ගෙදර කෑමකින් හටගත් උණක් බවයි පෙනී ගියේ. බොහෝ අමාරු වූ පසුව ලෙඩා බැලීමට මා කැඳවාගෙන ගියා . මා දුන් බෙහෙත් කිසිවකින් ඇයට ගුණයක් ලැබුණේ නැහැ. පසුව ඇයට වමනය කරන්නට සැලැස්වූවා. වමනය පරික්ෂා කළා. අත්තන ඇට කුඩු ඇගේ ආහාරයට මිශ්‍ර වී ඇති බව පැහැදිලි ව පෙනී ගියා. ඇයට වස ශරීරගත වී ඇති නිසා බෙහෙත් ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට මා ඉක්මණින් ගෙදර අවා.

"මගදී මිත්‍ර සෙනෙවිතුමා හමු වුණා ."

"වෙදතුමනි, මේ හදිසියේ කොහෙද යන්නේ? "

"හදිසි ලෙඩෙකුට බෙහෙතක් ගෙන එන්නට යනවා"

"කවුරුද ලෙඩා?"

"බෝධිනාග ගේ බිරිඳ - විමලී කුමරිය"

"මගේ අස්රියට නඟින්න, මා ආවේත් හදිසි ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමට ඔබතුමා කැඳවා ගෙන යන්න යි"

"කවුද?"

"ඔබ ගේ ලෙඩා දෙවනුව බලන්නම්. මේ මරණාසන්න රෝගියෙක්. ඇයට වෙදකම් කිරීම මොහොතක්වත් ප්‍රමාද කරන්න බැහැ."

"මා අස්රියට නංවා ගත්තේ බෙහෙත් රැගෙන ඒමට මගේ නිවසට යාමට යි. නමුත් ඔහු මගේ බලවත් විරෝධය මැද අස්රිය තානායමට ගෙන ආවා. "

"තානායමේ ලෙඩෙක් ඉන්නවා. ගිය ගමන් ආපසු ඔබතුමා අස්රියෙන් ම එවන්නම්. බෙහෙත මට ලියා දෙන්න. අසරුවකු යවා බෙහෙත ගෙන්වා දෙන්නම්."

"මා කැමති වුණේ ම නැහැ. නමුත් ඔහු බලෙන් ම ඔහු ගේ තානායමට ගෙන ආවා. ඇත්තටම තානායමේ ලෙඩෙක් හිටියේ නැහැ. හිස ඇම්ම යැයි කියමින් තරුණියක් බොරුවට ඔළුව පෙරවාගෙන ඇඳක දිගා වී සිටියා. මෙය මිත්‍ර ගේ කපටිකමක් බව තේරුම් ගිය හැටියේ මම ඔහුට බැණ වැදුනා. මගේ කෝපය තේරුම් ගත් ඔහු අසරුවා බෙහෙත ගෙන ළඟම එන බව පැවසුවා."

"වෙදතුමනි, මෙන්න ඔබ ලියා දුන් බෙහෙත. අපි දැන්ම යමු. මිත්‍ර සෙනෙවි මා ගෙන ගොස් බෝධිනාග ගේ නිවස ඉදිරිපිට බස්සවා ගියා. නිවසට ඇතුළුවන විටම මට ඇසුනේ බෝධිනාග ගේ විලාප හඬයි. විමලී මෙලොව අතහැර ගොස් සිටියා."

"මිත්‍ර සෙනෙවි මට ගෙනැවිත් දී තිබුණේ මා ලියා දුන් බෙහෙත නොවෙයි. මුල සිට ම ඇයට ප්‍රතිකාර කිරීමෙන් මා වැළක්වීමේ උත්සාහයක මිත්‍ර සෙනෙවි නියැළී සිටියා. අද වන තෙක් මේ රහස මම කිසිවකුටත් පැවසුවේ නැහැ."

"සිරිනාග ගේ මුහුණෙහි පෙනුම වෙනස් විය. ඔහු ගේ මුහුණ කෝපයෙන් පිරී ඇති බව පුෂ්පනාථ වෙදතුමාට පෙනී ගියේ ය. ඔහු සිරිනාග ඇමතී ය.

"සෙනෙවිතුමනි, මගේ සිතේ වේදනා ගෙන දුන් අදහස එළි කිරීමට ලැබීම මට මහත් සහනයක්. ඒත් එයින් තවත් ගැටුම් ඇති වෙනවාට මම කැමති නැහැ."

"හොඳමයි වෙදතුමනි, ඔබතුමා ගේ හමුවීම ගැන මම සතුටු වෙනවා. ඉදිරියටත් ඔබතුමා ගේ ඇසුර පතමි. මම මෙහි ආවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ දවස පටන්ගන්න යි. "විජිතපුර බලකොටුවට එන ලෙස දීඝාභය මහ සෙනෙවිතුමා ගේ හදිසි පණිවිඩයක් ලැබිලා තියෙනවා. එහි යන ගමන් ඔබතුමා හමුවීමට පැමිණියේ. "

සිරිනාග වෙදතුමාට වැඳ සමුගත්තේ ය. එතැනින් නික්මුණේ වචනයට නඟන්නට බැරි තරම් වේදනාබර සිතිවිලිවලින් යුතු ව ය.

ඔහු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ බෝපත්වල සිසිලසත් විඳීමින් පහන් වූ සිතින් බෝ මලුවෙන් පිටතට පැමිණියා පමණි.

"සිරිනාග, "ඒ මහා සෙන්පති මිත්‍ර ගේ කටහඬ ය. ඔහු ගේ ගැඹුරු හඩෙහි වූයේ මිතුරු බවක් නම් නොවේ.

"තොප මේ සූදානම් වෙන්නේ විජිතපුර බලකොටුවට යන්න ද?"

"ඔව්, හදිසි පණිවිඩයක් ලැබී තියෙනවා"

"කාගෙන් ද?"

"දීඝාභය මහා සෙනෙවිතුමා ගෙන්"

"කුමක් සඳහා ද?"

"දන්නේ නැහැ මහ සෙනෙවිතුමනි"

"අද දීඝාභය විජිතපුර බලකොටුවේ නැහැ"

"එසේ නම් දූතයකු මට ගෙන ආ පණිවිඩයේ තේරුම කුමක් ද?"

"දීඝාභය සෙනෙවිතුමා රාත්‍රියේ හෝ කඳවුරට පැමිණිය හැකියි. හවස් වන විට මට එහි ළඟා වෙන්නට පුළුවන්. "

"උපතිස්ස කියන්නේ ඔහු මහ රජතුමා ගේ කැඳවීමක් අනුව මහියංගනයට ගිය බව යි. පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ මහියංගන විහාරයේ වැඩ සිටින නිසා. එහි ගොස් තිබෙන්නේ වැදගත් සාකච්ඡාවකට. සමහර විට දින කිහිපයකින් එන එකක් නැහැ ."

"එසේ නම් මගේ මේ ගමනෙන් ඇති වැඩක් නැහැ. මම දැන් ම නවතින්නම්. ඔබතුමා ගෙන් මේ බව දැන ගන්නට නො ලැබුණා නම් මා නිකරුණේ වෙහෙසට පත් වෙනවා ."

"තොප අද රාත්‍රියේ මගේ නිවසේ භෝජන සංග්‍රහයට පැමිණෙනවා ද? උපතිස්සත් පැමිණෙනවා. "

"නැහැ, මහා සෙනෙවිතුමනි, උපතිස්ස සමඟ කතාබහ කරන්නට ඇත්නම් හොඳයි. නමුත් සවස මිහින්තලයට යන්නයි අදහස් කර ගෙන සිටින්නේ"

බිනර අව අටවක

සැප්තැම්බර් 28 අඟහරුවාදා අ.භා 18.16 අව අටවක ලබා
29 බදාදා අ.භා 20.29 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]