[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්ම දූතයෝ

බෞද්ධ ධර්ම දූතයෝ

මහණෙනි, බහු ජන හිත සුව පිණිස ලෝකයා කෙරෙහි කරුණාවෙන් සියලු දෙව් මිනිසුන් ගේ හිත සුව පිණිස සැරි සරන්න. - මහා වග්ගපාලි

බුදු සමය පිළිබඳ ඉතිහාසයේ පිටු පෙරලන විට බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලා බුදුරදුන්ගේ අති උත්තම දහම් පණිවුඩය සාමකාමී ව, ගෞරවාන්විත ව බෙදාදුන් හැටි අපට පෙනේ. තම ආගම් ප්‍රචාරයට බිහිසුණු ක්‍රම භාවිත කළ අයට එම සාමකාමී දූත මෙහෙය ලජ්ජාවට කාරණයක් විය හැකි ය.

බෞද්ධ ධර්ම දූතයෝ (සෙසු ආගමික දේශකයන් හා) මිනිසුන් සිය සමයට හරවා ගැනීමට ගම් නියම් ගම්වල දී තරඟ නොවැදුනාහ. තම සමය විශ්වාස නො කරන්නවුනට වෛර කිරීමක් බෞද්ධ ධර්මදූතයන් කිසි දිනෙක නො සිතන්නකි. ආගමික සංස්කෘතික හා ජාතික ගති නො ඉවසීම අබෞද්ධ ආකල්පයකි. සැබෑ බෞද්ධ ගතිය පෙවුණු ජනතාව විශේෂ වූහ.

බුද්ධ දේශනාවේ අනුමැතිය කිසි දිනෙක ආක්‍රමණය සඳහා නොලැබෙන්නේ ය. මේ ලෝකය ඇති තරම් ලේ වගුරුවා, හැකි තරම් පීඩා විඳ ඇත්තේ ආගමික මති මතාන්තර පිළිබඳ රෝගයෙනි. ආගමික උමතුවෙන් හා ආගමික අසහනයෙනි. ආගම පිළිබඳව හෝ වේවා, දේශපාලනය පිළිබඳව හෝ වේවා, මිනිසුන් දැන දැනම ප්‍රයත්න දරන්නේ මානව වර්ගයාට තම තමන් රුචි කරන ජීවන මාර්ග පිළිගැන්වීමට ය. එසේ කරමින් ඔවුහු ඇතැම් විට සෙසු ආගමික අනුගාමිකයනට විරුද්ධවාදීකම් දක්වති. බුදු සමයත් බුදු සමය වැළඳගත් අයගේ සංස්කෘතියත් අතර කිසිදු අවුලක් හෝ ගැටුමක් ඇති නොවී ය.

මක්නිසාද යත්? ජාතික සම්ප්‍රදායයන්, සිරිත් විරිත්, කලා ශිල්ප හා සංස්කෘතීන් ඈ යමක් ජනතාව පිළිගෙන තිබිණි නම් ඒවා තව දුරටත් පණ පෙවී හැඩ ගැසී පැවතීමට මහත් සේ ඉඩකඩ ලැබුණු නිසා ය.

බුදුරජාණන් වහන්සේගේ සාමයේ පණිවුඩය මිනිසුන්ගේ හදවත් විවෘත කෙළේ ය. ජනතාව විසින් කැමැත්තෙන් ම බුදු දහම පිළිගනු ලැබී ය.

ඒ අනුව බුදු සමය ලෝක ආගමක් වූයේ ය. ස්වාධීන රාජ්‍යයන් විසින් බෞද්ධ ධර්ම දූතයනට ආරාධනා කර ඔවුහු මහත් බැතියෙන් පිළිගනු ලැබූහ. බුදු සමය කිසිදු රටකට යටත් විජිත බලපෑම් හෝ දේශපාලන ශක්තිය මත හෝ ඉදිරිපත් නො කෙරිණි.

බුදු සමය, පළමු වැනි ආධ්‍යාත්මික බලවේගය ලෙස ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ විශාල ජාතීන් ඇති, දුෂ්කර බාධක වලින් වෙන් වූ, දුරස්ථ වූ, භාෂාව, සිරිත් විරිත්, සංස්කෘතිය අතින් වෙනස් වූ රටවල් සමීප කිරීමට සමත් වූ නිසා ය. එහි අරමුණ වූයේ අන්තර් ජාතික වෙළෙඳාම අයත් කර ගැනීම, ආශාවන් සපුරා ගැනීම, නොවේ. එහි පරමාර්ථය වූයේ ජනතාවට ආගම භාවිතයෙන් වැඩි සාමයක්, සතුටක් ලබා ගත හැකි ක්‍රමය පෙන්වාදීම ය.

අශෝක අධිරාජයා බෞද්ධ ධර්මදූත මෙහෙයේ තත්ත්වය හා ප්‍රවේශයට ඇති දිදුලන නිදර්ශනයකි. බොහෝ පෙරදිග හා අපරදිග රටවලට ධර්මදූත මෙහෙය පැතිර ගියෝ අශෝක අධිරාජයන් දවස ය. අශෝක මහ රජු බුදුරදුන්ගේ සාම පණිවුඩය බොහෝ රටවලට ඉදිරිපත් කෙළේ ය. එතුමා සියලු ආගම්වලට ගෞරවය දැක්වූයේ ය. නොමසුරුව ආධාර දුන්නේ ය. අන්‍ය ආගම ඉවසීම එතුමාගේ විශේෂ ලක්ෂණය වූයේ ය.

අශෝකස්තම්භයක ලියන ලද එතුමාගේ එක් ලිපියක් අදත් ඉන්දියාවේ නැඟී සිටිමින් මෙසේ කියයි.

‘කෙනෙකු තම ආගමට පමණක් ගෞරව නො කළ යුතු ය. සෙසු ආගම්වලට ගර්හා නොකළ යුතු ය. නමුත් මොන හේතුවක් නිසා හෝ අන්‍ය ආගම්වලට ද ගෞරව කළ යුතු ය. එසේ කරමින් කෙනකු තම ආගමට ආධාර දෙන අතර අනුන්ගේ ආගම්වල වර්ධනයට ද සේවාවක් කළ යුතු ය. එයට විරුද්ධ ව කටයුතු කරන්නෝ තම ආගමේ මිනීවල කපන්නෝ ය. අන්‍ය ආගම්වලට ද හානි පමුණුවන්නෝ ය. කිසියම් කෙනකු තම ආගමට ගරු කරමින් සෙසු ආගම්වලට නිගරු කරන්නේ ද එසේ කරන්නේ තම ආගමට ඇති භක්තිය නිසා “මම මගේ ආගම ප්‍රභාවත් කරමි’යි සිතීමෙනි. එහෙත් එයට ප්‍රතිපක්ෂව එසේ කිරීමෙන් ඔහු ඔහුගේ ආගමට තදබල ලෙස හානි කෙරෙයි. එබැවින් එකඟත්වය යහපත් ය.”

සියලු දෙන අසත්වා. අන්‍යයන් අදහන ආගම ධර්මයට ද සවන් දීමට කැමැති වෙත්වා.”

ක්‍රි.ව. 283 දී බුදුරදුන් ගේ ධර්මය ඉන්දියාවේ සජීවී බලවේගයක් බවට එතුමා පත් කෙළේ ය. ආරෝග්‍යශාලා, සමාජ සේවා ආයතන, ස්ත්‍රී පුරුෂයන් සඳහා විද්‍යාස්ථාන, ළිං පොකුණු විනෝද මධ්‍යස්ථාන ආදිය නව ව්‍යාපාරය අනුව රට පුරා පැන නැඟිණි.

අර්ථ විරහිත යුද කල කෝලාහල වල කෲරත්වය මිනිසුනට වැටහී ගියේ ය. ඉන්දියාවේ හා සෙසු රටවල ඉතිහාසයේ රන් යුගය සේ සැලකෙන්නේ කලා ශිල්ප සංස්කෘතිය හා ශිෂ්ටාචාරය මුදුන් පෙත්තට ම ළඟා වූ විට ය. එ සේ සිදු වූයේ බෞද්ධ බලපෑම් ශක්තිමත්ව පැවැති රටවල හා එම වකවානුවල ය.

මානව වර්ගයාට උඩඟු විය හැක්කේ එවැනි ඉතිහාසයකට ය. නාලන්දා මහා විශ්වවිද්‍යාලය ඉන්දියාවේ පැවැතියේ ක්‍රිව. දෙවන සියවසේ සිට නව වැනි සියවස දක්වා ය. එය බුද්ධ ශාසනයේ නිෂ්පාදනයකි. අප දන්නා පළමු විශ්වවිද්‍යාලයත්, අන්තර් ජාතික ශිෂ්‍යයනට විවෘත වූ විශ්ව විද්‍යාලයත් එයම ය.

අතීතයේ පෙරදිග බොහෝ රටවලට බුදු සමය කුමක්දැයි දැන ගැනීමට සැලැස්වීමේ හැකියාවක් තිබිණි. සන්නිවේදනය හා ප්‍රවාහනය ඉතා දුෂ්කර වුව ද මිනිසුනට කඳු හෙල් මරු කතර හරහා යෑමට සිදු වූ වද, එකී දුෂ්කරතා නො සලකා බාධක මැඩගෙන බුදු සමය දිගට හරහට පැතිරී ගියේ ය. අද මේ සාම පණිවුඩය බටහිරට ද පැතිරේ. අපර දිග රටවල බුදු සමයට ඇළුම් කරන්නේ නූතන විද්‍යාව හා සංගත වන්නේ බුදු සමය පමණක් බැව් විශ්වාස කරන නිසා ය.

බෞද්ධ ධර්ම දූතයෝ යම් කිසි තේරුමක් ඇති ආගම් ඇදහූ මිනිසුන් තම ආගමට හරවා ගැනීමට එතරම් ආශාවක් හෝ අවශ්‍යතාවක් නොපෙන්වූහ. එකී ජනයා ඔවුන්ගේ ආගමින් තෘප්තිමත් ව සිටිත් නම් බෞද්ධ ධර්ම දූතයනට එවැනි අය තම ආගමට හරවා ගැනීමට එතරම් ආශාවක් හෝ අවශ්‍යතාවක් නොපෙන්වූහ. එකී ජනයා ඔවුන්ගේ ආගමින් තෘප්තිමත් ව සිටිත් නම් බෞද්ධ ධර්ම දූතයනට එවැනි අය තම ආගමට හරවා ගැනීමට අවශ්‍යතාවක් නො වීය. ඔවුහු සෙසු ධර්ම දූතයන්ට ද පූර්ණ සහයෝගය දුන්නේ ඒ අය නපුරු පවිටු නො දැමුණු ජනයාට ආගමානුකූල ජීවිතයක් ප්‍රගුණ කිරීම් වස් කරන සේවාවට සහයෝගය දීමට ය.

බෞද්ධයෝ සෙසු ආගම්වල ප්‍රගතිය ද දකිනු රිසියෝ ය. යම්තාක් දුරට සැබෑ ලෙසින් ජනතාවට ඔවුන්ගේ ආගම අනුව ආගමික ජීවිතයකට යොමුවීමට ආධාර කරතොත් එසේ ම ඔවුහු සාමයෙන් සතුටෙන් ස්වාවබෝධයෙන් සංගතව සිය ජීවිත ගෙන යති. ඒ තාක් දුරට අන්‍ය ආගමික දේශකයනට ද සහයෝගය දෙති.

අනික් අතට ඇතැම් ධර්ම දූතයෝ අන්‍ය ආගමික අනුගාමිකයනට තම තමන්ගේ ආගම් ඇදහීමට බාධාකර වෙනත් ආගමකට හරවා ගැනීමට කරන සටන හෙළා දකිති. මිනිසුනට ආගමික ජීවිතයක් ගෙන යන සැටි කියා දීමේ පරමාර්ථයෙන් ධර්මදූත මෙහෙයේ යෙදෙන විට ආගම්වලට හරවා ගැනීමේ තරඟයක්, අසුබදායක වාතාවරණයක් ඇතිවීමට හේතුවක් නො මැත. අන්‍යයනට බුදු සමය ඉදිරිපත් කිරීමේ දී බෞද්ධ ධර්ම දූතයෝ කිසි රටෙක දිව්‍ය සම්පත් අතිශයෝක්තියෙන් කාල්පනික ලෙස ඉදිරිපත් නො කළහ. මක්නිසාදයත්? එසේ කිරීමෙන් මානව ආශාවන් ආකර්ශණය කරවා තණ්හාව පුබුදු කරවන හෙයිනි. ඒ වෙනුවට බුදුරදුන් වදාළ පරිදි මනුෂ්‍ය ජීවිතය සහ දිව්‍ය ලෝක ජීවිතය පිළිබඳ යථා තත්ත්වය පැහැදිලි කරදීමට ප්‍රයත්න දැරූහ.

  පොසොන් පුර අටවක 

ජූනි 17 බ්‍රහස් අ.භා 22.00 පුර අටවක ලබා 18 සිකුරා අ.භා 20.39 ගෙවේ
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]