[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්ම චක්‍රය සංකේතය විධිමත් හා අර්ථාන්විත වීම කාලීන අවශ්‍යතාවකි

බෞද්ධ ධර්ම චක්‍රය සංකේතය විධිමත් හා අර්ථාන්විත වීම කාලීන අවශ්‍යතාවකි

“ධර්ම චක්‍රය” යන වචනය ඇසෙත් ම බෞද්ධ හදවත් තුළ ඇති වන්නේ ශ්‍රද්ධා භක්තියකි. ගෞරවයකි. දාර්ශනික චිත්තරූපයකි. එසේ වන්නේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මය පමණක් නොව, විශ්ව සාධාරණ ධර්මතා දර්ශනය ම ඉන් මූර්තිමත් වන බැවිනි. එබැවින් එය බෞද්ධ දර්ශනය, විශ්ව සාධාරණ ධර්මතාවය කැටිවුන ප්‍රබල වූත්, උත්තරීතර වූත් සංකේතයකි.

තම තමන්ගේ වැටහීමේ, අවබෝධයේ තරමට ධර්ම චක්‍ර සංකේත, විවිධ වූවා පමණක් නොව, විවිධ අර්ථකථන හා විග්‍රහයන් ද ඉදිරිපත් විය.

මේ දක්වා නිර්මාණය වූ බෞද්ධ ධර්ම චක්‍ර කීපයක් “සිරිලක ආගමික සංකේත” නම් කෘතියේ, රේටියගම සුමනරතන හිමියෝ ගෙනහැර දක්වති.

1) ස්වස්තික හැඩය ගත් ධර්ම චක්‍රය.

2) සූර්යයාගේ රැස් විහිදෙන ආකාරයෙන් නිර්මිත ධර්ම චක්‍රය.

3) විකසිත නෙළුම් මලක හැඩය ගත් ධර්ම චක්‍රය හා

4) ගරාදි පිටට නෙරා ගිය, අටලෝ දහම හෝ ආර්ය අශ්ටාංගික මාර්ගය සංකේතවත් කරන ධර්ම චක්‍රය වශයෙනි.

මෙසේ දක්වමින්, ඒ පිළිබඳ විග්‍රහයක් කරන උන්වහන්සේ,

“ලෝ දහම කැරකෙන හෝ පෙරළෙන දෙයක්යැ’යි ධර්ම චක්‍රයෙන් මූර්තිමත් වේ නම්, සමහර චක්‍රවල පිටට නෙරා ගිය දැව (ගරාදි) මූර්තිමත් වී තිබෙන්නේ මන්ද? යන්න ගැන ප්‍රශ්නයක් මතු වේ. කල් යාමේ දී දහම වටා හෝ කලාව වටා හෝ වල්බිහිවීම නිරන්තරයෙන් සිදුවන්නකි. එසේ නම් අද භාවිතා වන ධර්ම චක්‍රය ද අර්ථ සුන් වී ගිය, මෝස්තරශීලී එකකි. ඉන් ප්‍රකට වන්නේ ගැඹුරු දහමක් හෝ දර්ශනයක් නොව, නැවක සුක්කානමක් බඳු හුදු කලා කෘතියක් පමණි. ”

උන් වහන්සේගේ මෙම ප්‍රකාශය, විග්‍රහය අර්ථාන්විත වූත්, ඉතා වැදගත් වූත් සත්‍යයකි. කාගේත් අවධානයට යොමුවිය යුත්තකි. පසුගිය කාලයේ ධර්ම චක්‍රය සංකේතය කාන්තා ඇඳුම්වල හා පාවහන්වලට යොදාගෙන තිබූ බව මාධ්‍යය තුළින් අසන්නට දකින්නට ලැබුණු බව කාටත් අමතක වී ඇතැයි නොසිතමි.

නීතිය හමුවේ එය ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමක් වශයෙන් ඔප්පු විය. පොලිසියේ මහතුන් පමණක් නොව සමස්ත බෞද්ධයා ම අවඥාවට අපහාසයට ලක් විය.

මෙවැනි අවස්ථාවල දී ගිහි පැවිදි විද්වතුන්ගේ අවධානය, සැලකිල්ල යොමු වී ද? දෑස් ඇරුණේ ද? නැත. කෙසේ වෙතත් අප ඇඟිල්ල දිගු කරමින් අනුන්ට දොස් පවරනවාට වඩා ද්වේශ කරනවාට වඩා කළ යුත්තේ, ඇති අඩුපාඩුකම් දුබලතාවයන් මඟ හරවාගෙන උත්තරීතර ධර්ම චක්‍රය සංකේතයේ ගෞරවයත්, අර්ථාන්විත බවත්, ආරක්ෂාවත් තහවුරු වන ආකාරයෙන් කි‍්‍රයා කිරීම ය. ගිහි පැවිදි බෞද්ධයාගේ සහයෝගය ඇතිව වාද භේදයෙන් තොරව බෞද්ධ භික්ෂූන් වහන්සේ පෙරමුණ ගෙන කි‍්‍රයා කළ යුතුව ඇත.

බෞද්ධ දර්ශනය පිළිබඳ ගිහි පැවිදි විද්වතුන් ඇති අප රටේ මේ ගැන මෙතෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. ඛේදවාචකයකි. බොහෝ විට සිදුවන්නේ අඩුපාඩු සකසා ගන්නවා වෙනුවට කෙස් පැලෙන තර්කවාද විවේචන ඉදිරිපත් කොට බැහැර කිරීම ය. බැහැර වීම ය. ගැටලුව එතැනම ය. බුද්ධිමත් තීරණයකට සම්මුතියකට නොඑළඹීම කැපී පෙනෙන දුබලතාවයකි. ඒ නිසාම නින්දා අපහාසවලට පමණක් නොව අගෞරවයට ද පාත්‍ර වෙයි.

එබැවින් එකම ධර්ම චක්‍ර සංකේතයක් සම්මත කරගෙන ආචීර්ණ කල්පිත මතවාදයන් බැහැර කොට භාවිත කරන්නේ නම්, බෞද්ධ අපේ අනන්‍යතාවය රැකෙනවා මෙන්ම අගෞරවයටත් අවඥාවටත් ලක් නොවනු ඇත.

ධර්ම චක්‍රාකාරයෙන් නිර්මාණය වූ සංකේත කොතෙක් තිබුණත් ඒවා සියුම්ව විග්‍රහ කර බලන විට පෙනී යන කරුණක් වන්නේ, බුදුරජාණන් වහන්සේ අපේක්ෂිත ධර්ම චක්‍රය, කුමක්දැයි තර්කානුකූලව ඉතා සියුම්ව විමර්ශනය කරමින් ම විග්‍රහ කරගත යුතු බවය.

එහෙත් ඒ සඳහා පොත්පත් අටුවා ටීකා අවශ්‍ය නොවේ. එම ධර්ම චක්‍රයම “ධම්මචක්කප්පවත්තන” සූත්‍රයයි. එසේම “ධම්මචක්කප් පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං...” උපක ආජීවකට කළ දේශනාවෙන්ම එය තහවුරු වෙයි. මේ නිසා ධර්ම චක්‍රයක් නිර්මාණය විය යුත්තේ ඒ අනූව බව පිළිගත යුතුය. දම්සක් පැවතුම් සූත්‍රයම අවශ්‍ය මඟ පෙන්වා දෙයි. එබැවින් “ධර්ම චක්‍රය සංකේතය” නිර්මාණය කිරීමේ දී එම සූත්‍රයම ගුරු කොට, මූලධර්මය කොට ගත යුතු නොවේ ද?

ඒ ගැන සලකා බලන විට මේ දක්වා නිර්මාණය වූ ධර්ම චක්‍රය සංකේතයකින්, බුද්ධ භාෂිතය කෙරෙහි අවධානයක් යොමු වී ඇති බවක් නම් නොපෙනේ.

ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්තර්ගතය වන්නේ, මැදුම් පිළිවෙත, චතුරාර්ය සත්‍ය හා ද්වාදසාකාර ඤාණ දර්ශනය යන ප්‍රධාන කරුණු ය. මෙම සූත්‍ර දේශනාවේ මුලින්ම දේශනා කොට වදාළේ මැදුම් පිළිවෙත ය. අන්ත දෙකක් බැහැර වූ ආර්ය මාර්ගය වශයෙන් දේශිත බැවින් එය බැහැර කළ නොහැක. ඒ ගැන සැලකිලිමත් විය යුතු බව සියුම්ව බලන විට වැටහේ.

එම සියලු කරුණු ඇතුළත් වන සේ ධර්ම චක්‍රය සංකේතයක් නිර්මාණය කිරීම මගේ උත්සාහයයි. එහි ගරාදි පමණක් නොව මුළු චක්‍රයම අර්ථ ගන්වා තිබීම විශේෂත්වයකි. සියලු කරුණු ඇතුළත් වීමෙන් පසු ධර්ම චක්‍රයේ නිමාව මෙසේ දක්වාලිය හැක.

මෙම ධර්ම චක්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඇතුළත් කරුණු අන්තර් ග්‍රහණය වන්නේ කෙසේදැයි කොටස් වශයෙන් විමසා බලමු.

මෙම චක්‍ර ප්‍රධාන කොටස් හතරකට බෙදා එහි එක් එක් කොටස චතුරාර්ය සත්‍ය වශයෙන් නම් කෙරේ. එනම්, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය අර්ථවත් වේ. (1 රූපය)

චතුරාර්ය සත්‍යයේ එක එක සත්‍ය පිළිබඳ ලබා ගත් ඤාණ ශක්තීන් ද දේශනා කළහ. (ද්වාදසාකාරං යථාභූතං ඤාණ දස්සනං...) එනම් ද්වාදසාකාර ඤාණ දර්ශනයයි. එක ආර්ය සත්‍යයක් පිළිබඳ සත්‍ය ඤාණය, කෘත්‍ය ඤාණය, කෘත ඤාණය (පරිඤ්ඤාතං, සච්චිකතං, භාවිතං) යන ඤාණ දර්ශනය මෙහි ඇති රවුම් තුනෙන් පෙන්වා දී ඇත. එය සත්‍ය හතරටම සාධාරණව යෙදුණු විට දොළොස් ආකාර වේ. කොටස් තුනකට නොබෙදා රවුම් තුනෙන් ද අර්ථ ගැන්විය හැකි ය. (2 රූපය)

මින් මජ්ක්‍ධිම පටිපදාව අර්ථවත් වේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී පළමුව දේශනා කළේ අන්ත දෙකින් බැහැර වූ මධ්‍යම ප්‍රතිපදාව ය.(මජ්ක්‍ධිම පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා) ඉන් බුද්ධත්වය අවබෝධ කළ බවය. එබැවින් එහි විශේෂත්වයක් පවතින බව තේරුම්ගත හැකිය. එසේම ඉන් අරිඅටගිමග විග්‍රහ කෙරේ. මාර්ග සත්‍යයෙන් ද විග්‍රහ කළත් එය චතුරාර්ය සත්‍යයට අයත් ය. වෙන් කොට දැක්විය නොහැක.

මෙය ඊට පරිබාහිර ය. මෙහි ගරාදි දෙවන රවුමෙන් මතු වන ආකාරයට දක්වා ඇත්තේ අන්ත දෙකක් බැහැර වීමත්, මැදුම් පිළිවෙතට අයත් අංග අට බවත් පහසුවෙන් වටහා ගැනීමටත්, විග්‍රහ කර අර්ථ දැක්වීමටත් පහසු වන ආකාරයට ය. (3 රූපය)

මෙම ධර්ම චක්‍රය රවුම් තුනකින් සමන්විත ය. ඉන් අර්ථවත් වන්නේ මැදුම් පිළිවෙතේ අනුපූර්ව ප්‍රතිපදා න්‍යායයි. එනම් සීල, සමාධි, ප්‍රඥා ය. සීලයෙන් සමාධියත්, මේ දෙකෙන් ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂ වේ. එම රවුම් තුන ක්‍රමයෙන් කුඩා වන ආකාරයට දැක් වේ. ක්ලේෂ ධර්මයන්ගේ ප්‍රහාණය තුළින් සියුම් ප්‍රඥාව ලැබෙන බව ය. රවුම් තුනේ පරාසය ක්‍රමයෙන් කුඩා වන සේ දක්වා ඇත්තේ එය මනාව තේරුම් ගැනීමට පහසු වන ලෙසය. (4 රූපය)

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]