[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

බලංගොඩ ප්‍රඥාවංස අනු නාහිමි

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උත්තරීතර අනුනායක ධුරන්දරව වැඩ විසූ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බලංගොඩ ප්‍රඥාවංස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 11 වැනි වියේ දී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූහ. බලංගොඩ බලගහමුල ශ්‍රී වීරසුන්දරාරාමාධිපති දිසා පාලක ධුරන්දර කළුපහන ධම්මෝභාස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1940 වර්ෂයේ පැවිදි බව ලබා මූලික සාමණේර බණ දහම් හදාරා කොළඹ වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙනට උන්වහන්සේ ඇතුළත් වූහ.

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය ද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද ඉහළින් සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගත් එකම පැවිදි ශිෂ්‍යාවීමේ භාග්‍ය ද හිමිකර ගත්තේ ය.

නිසි වයස සම්පූර්ණ වන විට උතුම් උපසම්පදාව කැලණිය උදකුක්ඛේප සීමාවේ දී ලබා ගත්තේ ය. 1951 වර්ෂයේ දී ය. අනුනාහිමිපාණෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයෙකි. පුනර්ජන්ම හා ජීවලෝකය (පරිවර්තන) බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරාභවය (සංස්කරණ) භාරතීය බෞද්ධ කලා ගවේෂණ සහ සිංහල කලාවේ සජීවී ලක්ෂණ (විචාර) පාලි පාඨමාලාව සම්භාවණීය වූහ. ග්‍රන්ථ රචනයට අමතරව සිංහල, ඉංගී‍්‍රසි මාධ්‍ය පුවත්පත් සඟරාවලට ධර්ම ශාස්ත්‍රීය ලිපි සපයමින් ලේඛනයෙහි යෙදුනහ.

අධ්‍යාපන සේවා කටයුතුවල නිරත වුණු නාහිමිපාණෝ, වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙන, මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය යන පිරිවෙන්වල 1981 දක්වා දහම් ගුරුවරයකු ලෙස කටයුතු කළහ. ඉන්පසු පිරිවෙන් පරීක්ෂක ධූරය භාරගෙන කටයුතු කර 1984 දී විශ්‍රාම ලබා ගත්හ.

අපවත් වී වදාළ අනුනායක හිමිපාණන් වෙනුවෙන් සිදුකරන තෙමස් පූර්ණ පින්කම බලංගොඩ සිරි වීරසුන්දරාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ. වත්මන් විහාරාධිපති දිසාපාලක ධුරන්දර ඉඹුල්පේ දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් 19, 20, 22 යන තෙදින තුළ දී පින්කම් සංවිධාන කෙරේ. සුමධුර ධර්ම දේශනා දෙකක් හා මහා සංඝයා විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පවත්වා බලංගොඩ ප්‍රඥාවාස අනුනාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කෙරේ. අනුනාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා.

****

කපුගම සෝමාලංකාර නාහිමි

පණ්ඩිත කපුගම සෝමාලංකාර නාහිමිපාණන් වහන්සේ.මාතර, කපුගම ගම්මුලාදෑනී, දොන් නෝනිස් අලහකෝන් සහ දෝන ප්‍රැන්සිනා වික්‍රමසේකර රාජපක්ෂ දම්පතීන්ගේ පුත්‍රයකු ලෙස 1936 අප්‍රේල් මස 30 වන දින මෙලොව ජනිත පින්වත් කුමරු, නිසි වයස් සපිරීමෙන් පසුව 1950 ජනවාරි 03 වන දින පුණ්‍ය භූමියට ඇතුළත් විය.1956 ජනවාරි 01 වන දින උපසම්පදාවට පත් වුයේ කැබිතිගොඩ සුධර්ශනාරාමාධිපති ශ්‍රි සුමනතිස්ස නාහිමිපාණන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙනි. මාතර ගුණරත්න මුචලින්ද මහ පිරිවෙනෙන් මුලික අධ්‍යාපනය ලැබු උන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙහි ප්‍රාචීන අවසාන විභාගය සමත් ව පිරිවෙන් ගුරුවරයකු ලෙස පැවිදි හා ගිහි ශිෂ්‍ය බුද්ධිය,දැනුම,මෙන්ම ආගමික අවබෝධය වර්ධනය කිරිමේ මෙහෙවරක නිරත වුහ.

රුහුණු විශ්ව විද්‍යාලයෙන් දේශිය වෛද්‍ය ගෞරව සම්මානයත්,ශ්‍රි ලංකා විෂ වෛද්‍ය සංගමයෙන් ,විෂ වෛද්‍ය චින්තාමනි සම්මානයත්, ජාතික සමගි සංගමයෙන් ,ගෞරව සම්මාන සන්නසෙනුත් පිදුම් ලබා ඇත.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රි රෝහණ මහ සංඝ සභාවේ විධායක සභික ධුරය හොබවන මුන් වහන්සේ කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරය හොබවති.

මාතර කඩවත් සතර සමථ මණ්ඩල උපදේශකධූරය හොබවමින්, ගුණරත්න මුචලින්ද මහ පිරිවෙන්හි කෘත්‍යාධිකාරි හිමියෝ ලෙස මුන් වහන්සේ විශාල සමාජ මෙහෙවරක නිරතව සිටිති. සසුන් කෙත සදහමින් පෝෂණය කරන ,ශ්‍රි රෝහණ පාර්ශවයේ උපසම්පදා කාරක සභික, පරිවෙණාධිපති ශ්‍රාස්ත්‍රපති ඕවිටගමුවේ නන්දසාර ,ශාස්ත්‍ර වේදී කීරිපිටියේ සේනානද, ගෞරව ශාස්ත්‍ර ‍වේදි අතපත්තුකන්දේ ආරියවංශ ,විචිත්‍ර පරිත්‍රාණු භාණක ගජනායකගම කස්සප යන ශිෂ්‍ය භික්ෂුන් වහනසේලා පිරිසක්ද උන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් සාසන මෙහෙවරෙහි නිරතව සිටිති.

මාතර ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති, ආයුර්වේද වෛද්‍ය, විෂ වෛද්‍ය චින්තාමනි, දේශිය වෛද්‍ය ශුරි, පණ්ඩිත කපුගම සෝමාලංකාර නාහිමිපාණන් වහන්සේ එළඹෙන 30 වැනි දින තම දිවිමඟ 85 වන වියට එළඹෙති.

උන් වහන්සේට “නිදුක් නිරෝගි සුව සම්පත සමඟ චිරජීවනය ලැබේවා.

****

කනංකේ මහානාම මාහිමි

අකුරැස්ස, තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ මහා විහාරාධිපති මාතර මහා මන්තින්ද මහ පිරිවෙනේ විශ්‍රාමලත් පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත කනංකේ මහානාම මාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව මෙම මස 19, 20 යන දිනවලදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

අපවත් වී වදාළ තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කනංකේ මහානාම මාහිමිපාණන් වහන්සේ ගුණ නැණ සපිරි ආදර්ශ සම්පන්න මහ යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැකි ය. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයට අයත් කනංකේ ගම නිජබිම කරගෙන 1934.06.13 දින ආර්.කේ.කේ. අප්පුහාමි මහතාගේ හා බී.ඒ. සෝමාවතී මාතාවගේ පුත් රුවනක් ලෙස ජන්මලාභය ලබන ලද මෙම පින්වත් කුමරු එවකට හේනේගම ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති ව වැඩ සිටි කර්මවාගාචාර්ය හේනේගම ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට කනංකේ ධම්මරතන, කෝඹල ධම්මසිරි යන හිමිපාණන් වහන්සේලාගේ ද ශිෂ්‍යයකු ලෙස 1946.08.26 දින කනංකේ මහානාම නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අවශ්‍ය මූලික බණ දහම් වත් පිළිවෙත් හේනේගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ ප්‍රාචීන විද්‍යාලයෙන් ලබා ගත් අතර ඇල්ගිරිය මහින්ද පිරිවෙන හා ගොඩපිටිය ජේතවන මහ පිරිවෙන මගින් මූලික අධ්‍යාපනය ලබාගත් මහානාම සාමණේරයන් වහන්සේ 1955.06.13 දින මහනුවර මල්වතු මහා විහාරයේ දී අති උතුම් උප සම්පදාවට පත් වූහ.

උසස් අධ්‍යාපනය සඳහා මාතර මහා මන්තින්ද මහ පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග ඉහළින්ම සමත් ව රාජකීය පණ්ඩිත උපාධිය ද විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය මඟින් ශාස්ත්‍රවේදී උපාධිය ද ලබාගෙන පැවිදි මහ පඬිරුවනක් බවට පත් වූහ. රත්නපුර මුවගම විසුද්ධාරාම පිරිවෙන මගින් පිරිවෙන් ගුරු සේවයට පිවිසි මහානාම පණ්ඩිත හාමුදුරුවෝ කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ ද සේවය කළහ. කඹුරුපිටියේ ශ්‍රී බෝධි ගුප්ත නාහිමිපාණන් වහන්සේගේ ඇරයුම අනුව මාතර මහා මන්තින්ද මහ පිරිවෙනෙහි ගුරු මණ්ඩලයට එක් වූ මහානාම හිමිපාණන් වහන්සේ පසුව එහි පරිවේණාධිපතින් වහන්සේ ලෙසට ද, පත්ව ගිහි පැවිදි සිසුන් විශාල පිරිසකට ගුණ නැණ ලබා දෙමින් අපමණ සේවාවක් සිදු කළහ. පිරිවෙන් ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද කනංකේ රාජ මහා විහාර පිරිවෙන, ඇල්ගිරිය ශ්‍රී මහින්ද පිරිවෙන හා මාලිම්බඩ ශ්‍රී පේමානන්ද පිරිවෙන ද නඟා සිටුවීම සඳහා අමරණීය සේවාවක් සිදුකර ඇති මහානාම හිමිපාණන් වහන්සේ කුඩා ආවාසයක් ව පාලුවට ගොස් තිබූ තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයට අවශ්‍ය සියලු විහාර අංග ගොඩ නඟමින් එය රමණීය පින්බිමක් බවට පත් කළහ. විහාරස්ථ දායක පිරිසගේ පමණක් නොව, අවට විහාරස්ථානවලින් පැවරෙන ජාතික ආගමික සාමාජික කටයුතු ද ඉතා කැපවීමෙන් ඉටු කළහ. ප්‍රදේශයේ දරු දැරියන් යහපත් ගුණ ගරුක පුරවැසියන් බවට පත් කිරීම සඳහා ශ්‍රී පාලිත නමින් දහම් පාසලක් ආරම්භ කළ අතර ශාසනයේ අනාගත පැවැත්ම උදෙසා ශාස්ත්‍රපති හේනේගම මංගල හිමි වැනි වටිනා ශිෂ්‍ය පිරිසක් ද සකස් කළහ. ඉවසීම, කරුණාව, පරෝපකාරය, කළගුණ සැලකීම, අනතිමානී බව ආදී වටිනා ගුණාංගවලින් තම පැවිදි ජීවිතය ආලෝකමත් කරගෙන සිටි මහානාම හිමිපාණන් වහන්සේ වත් පිළිවෙත් සපුරමින් ඉතා සරල ජීවිතයක් ගත කළහ. ප්‍රදේශයේ ගිහි පැවිදි සෑම දෙනාගේ ම ගරු බුහුමන් ලබමින් වසර 75 ක ආදර්ශ සම්පන්න පැවිදි ජීවිතයක් ගත කළ කනංකේ මහානාම නාහිමිපාණන් වහන්සේ 2021.01.20 දින අපවත් වූහ. උන්වහන්සේගේ ගුණ සමරා පින් අනුමෝදන් කරවීම සඳහා මෙම මස 19 දින රාත්‍රී ධර්ම දේශනා පින්කමක් හා 20 දින දවල් සඟසතු දානමය පින්කමක් සිදු කිරීමට ශාස්ත්‍රපති හේනේගම මංගල හිමි හා ප්‍රවීණාචාර්ය බෙංගමුවේ ධම්මික හිමියන් ප්‍රධාන ශිෂ්‍ය පිරිස හා දායක පිරිස කටයුතු යොදා ඇත. කනංකේ මහානාම මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]