[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

මුළාව

හිමිවරු දෙසූවත් යහමඟ වණන බණක්
එමඟින් ලබා නැත ජාතිය නවමු පණක්
දස අත බැලූ විට නරකට පුදුම තැනක්
අනිකක් නිසා නොව මාරයා දීපු අණක්

සදහම උරා දිවිමඟ නොකරම සාර
මොකටද දෙන්නෙ සසරම මරුවට බාර
පෙර කළ පිනෙන් මෙලොවට ආ මේ පාර
යම ලොව කරා යන්නට සැරසෙන ආර

ආලෝකයක ඇති බලගතුකම නොදැන
කටයුතු කළොත් නොදැනිම අඳුරට වැටෙන
ගතියක් තිබේ සසරේ නිබඳ ම රඳන
ඒ බව හැඳින දැන යායුතු යන ගමන

දියුණුව කරා ගෙන යන්නට ජනතාව
කටයුතු කරන අය තුළ ඇත සමතාව
වටිනා ගුණයක් ය සැමවිට මුදිතාව
එනමුදු ගමන වැඩ වෛරයෙ ගැත්තාව

කාලය ඉගිල්ලෙයි ඒකයි සොබාදම
ඒ තුළ වෙනස්වෙයි විශ්වයෙ නිමාව ම
මම මාගේ ය බැඳි සැමදේ බැඳීම ම
යන මේ ගමන ගෙන දෙන්නේ මුලාව ම

****

බොදු ගීයක්

දස පෙරුම් දම් පුරා සසරේ
එළිය දුටුවා අවිදු අඳුරේ
තුන් ලොවක් දිනු සෑසි සමිඳේ
ඔබේ සිරිපා වඳිමි නිබඳේ

සුපිපි සල්මල් ලුම්බිණියේ
සත් පියුම් පිට වැඩිය දිනයේ
ලොවම ඒකාලෝක වූයේ
තිලෝගුරු සම්බුදු පියේ

නිමක් නොපෙනෙන සසර කතරේ
කෙලෙස් පරදා ජයම ලැබුවේ
සිතට සෙත දුන් බුදු සමිඳුනේ
සැදැහැයෙන් පා පියුම් වන්දේ

****

මිහිදු සමිඳු වැඩි නිසා

දෙසූ සදහම් අමා රසයෙන්
රුදුරු සිත් මුදු වුණා
තැනූ සිව්මහ පිරිස සමඟින්
සමාජය නිසි තැනක තැබුවා

වෙහෙර දාගැබ් වාපි කෙත්වත්
තනා ලොව ජයකෙහෙළි නැගුවා
අනුබුදු මිහිඳු මා හිමියනි
මෙ ලක්බිම පින් කෙතක් වූවා

ගම් නියම්ගම් පුරා පැතිරුණු
කසාවත හැමතැනම දිලුනා
මෙලොව පරලොව දෙකක් ඇති බව
හැම දෙනගෙ හදවතට දැනුණා

අහිංසාවේ බලය පෙරටුව
සත් වගට නිවහනක් තැනුණා
ගිනි ගහන ලොව දිනෙක නිවනා
සිසිල් දිය බිඳු එකතු කෙරුණා

****

විඳීම

දැක සිත ගෙනෙන සැප
වසා නෙත් යළි දැක
ගෙනෙන සිත දුක
නොබලා ඉන්නට සිතන සිත
යළි ගෙනෙන සිත දුකම
වෙළී හිඳ තනි වෙලා ගත
දුරක සිට රහසෙ එන
රැගෙන සැප සිත
හමු නොවෙන යළි
පවසන සිත
නිහඬ වී තැනක
බලා හිඳ යළි
තබා සිත දුකම
විමසුවා සිත
සැප රැඳි තැන සිත
සැප නොලැබ සිත
ගෙන වේදාන සිත තව දුකම
අතැර කය යළි නොඑන සිත
පැමිණ යළි තැනක සිට
ඒ තැන ද සිත දුකමය
දිවි මග කොතැනක ද
සැප සිත
ගත සැප
විඳින සැම දෙයම සිත දුකමය
දිවි ගමන කෙළවර පෙනෙන සිත
දුක සැප
විඳිය යුතු දෙයම දුක
සසර නිම නැති සිත..........

****

පින් කරමු

ලොව ඇති මිනිසුනුත් මරා
සතු නැතිදේ ගනිති සොරා
මුලසුන ගෙන ඇතිය සුරා
යන්නේ නරකයම කරා

සිටිනා මේ කයම දරා
දිනකදි යනවානෙ දිරා
කිරෙන් දියර ගනු සෙ පෙරා
පින ගමු පව්තිරය ඉරා

****

භික්ෂූන් වහන්සේ

මුසා නොපවසන
කිසිවකුට නොබණින
අර්ථය ධර්මය දැන
මිහිරි දම් දෙසන

සමත විදසුන් ධර්මයෙහි
නොනැවතී ඉන් මතුද
දහම් සිත් පුරා පිරුණේ
ඒ මහණ තෙම නොමැත පිරිහුණෙ

****

නිගා නොකරමු

වටදා ගෙවල් දාගැබ්
බුදු පිළිම නෙළා
යුග පුරුෂයින් සිරිලක
පින්බිමක් කළා
සඟවා ඇතත් වස්තුව
රන් පතක ලියා
එය සිදුකළේ මොක්සුව
ලැබ ගැනුම සිතා
පුහුදුන් මිනිසුනේ
තම බඩ වියත පතා
නොකරනු පුරා වස්තුව ගෙන
රටට නිගා..........

****

යුතුකම්

කුස ආ දින පටන් සෙනෙහස දලුලනවා
පණ දෙවෙනියට ගෙන දරුවන් සුරකිනවා
තම කුස නැතත් දරු කුස ගිනි නිවලනවා
සරු හෙට දිනක් වෙනුවෙන් නිති වෙහෙසෙනවා

මව් පිය සෙනෙහසින් ජයටැඹ දකින දරු
වැජඹෙයි සමාජයෙ ඉහළම තැනෙක සරු
වියපත් වෙලා සවි ශක්තිය නැති වාරු
මහමඟ අසරණයි “අත්වැල” ඉවත් කෙරූ

සිටියත් තබාගෙන උරහිස වසක් සිය
ගෙවා දමනු හැකි වෙද ඒ උතුම් ණය
එක ලෙස නොරැඳ නික්මී යයි තරුණ විය
රැකගමු මව්පියන් නෙත් දෙක විලස තම

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]