[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේට පැවරී තිබෙන්නේ මොනවගේ කාර්ය භාරයක් ද?

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂුන් වහන්සේලා අට දහසක් පමණ මේ වන විට වැඩ සිටිනවා. ඒ වගේ ම දෙදහසක් පමණ තිබෙන විහාරස්ථානවල පරිපාලන කටයුතු, භික්ෂු සංඝයාගේ කටයුතු වෙනුවෙන් යම් යම් අවවාද අනුශාසනා ලබාදෙමින් එම නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම අප වෙත පැවරී තිබෙන එක කාර්යයක්. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය යම් සංවිධානයක් හැටියට විශේෂාධිකාරී මණ්ඩලය,කාරක මහා සංඝ සභාව ,පාලක මහා සංඝ සභාව ආදී වශයෙන් සංවිධාන වශයෙන් පිහිටුවාගෙන තිබෙනවා. එම විශේෂාධිකාරී මණ්ඩලය මසකට වරක් රැස්වෙමින් එහි මූලාසනය බාරගෙන එම මාසය තුළ නිකායේ කටයුතු වගේම රටේ තත්ත්වය පිළිබඳ සාකච්ජා කිරීම සිදුකරනවා.

මාස තුනකට වතාවක් කාරක මහා සංඝ සභාව රැස්වන විට විශේෂාධිකාරී මණ්ඩලයට අයත්වන ස්වාමීන් වහන්සේලා, 21 ක් නමක් පමණ වූ මහෝපාධ්‍යායන් වහන්සේලා වගේම කාරක සංඝ සභා 48ක තේරී පත්ව ඇති කාරක සභික ස්වාමීන් වහන්සේලා ඒකරාශීව එම සභාව පවත්වනවා. එහිදී විශේෂාධිකාරී මණ්ඩලයෙන් ගත් තීරණ අනුමත කිරීමත්, එදිනෙදා රට තුළ ඇති වී තිබෙන යම් යම් ජාතික, ආගමික ප්‍රශ්න පිළිබඳව සාකච්ජා කරමින් සුදුසු තීන්දු තීරණ ගැනීමට කාරක සංඝ සභාව මෙහෙයවීමේ වගකීමත් පැවරෙනවා.

සය මසකට වතාවක් පාලක මහා සංඝ සභාව රැස්වන විට කාරක සංඝ සභාවේ සියලු ස්වාමීන් වහන්සේලා, දිසා පාලක ස්වාමීන් වහන්සේලා, අනුවිජ්ජක ස්වාමීන් වහන්සේලා වශයෙන් ඒ පාලක සංඝ සභාවට නියමිත දෙසිය නමකට ආසන්න භික්ෂූන් වහන්සේලා ඒකරාශීවෙමින් නිකායේ අභිවෘද්ධිය වෙනුවෙනුත්, රටේ පොදු ප්‍රශ්න පිළිබඳවත් සාකච්ජා කරමින් ගත් තීන්දු තීරණ අනුමත කරමින් කි‍්‍රයාත්මක කිරීමේ වගකීම පාලක සංඝ සභාවට පැවරෙනවා. එය යථා තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීම මහානායක ස්වාමීන් වහන්සේ හැටියට නිකාය පැත්තෙන් පැවරී තිබෙනවා. ඒ වගේම නිකායේ භික්ෂුන් වහන්සේලා ගේ විනය පැවැත්ම, විහාරස්ථාන ආශි‍්‍රතව ඇතිවන යම් යම් ගැටලු විසඳීම සඳහා අනුකාරක සභාවට පවරා දීමත් සිදුකරනවා. අධිකරණ අංශයෙන් අධිකරණ නායක හිමියන්, අධිකරණ ලේකම් හාමුදුරුවන්, නියෝජ්‍ය ලේකම් හාමුදුරුවන් ආදී වශයෙන් වැඩ සිටිනවා. ඒ අවශ්‍ය කටයුතු සඳහා අවවාද අනුශාසනා කරමින් අධිකරණ නායක හාමුදුරුවන් වහන්සේලා වෙත සහයෝගය ලබාදීමත්,අප විසින් කළ යුතු වෙනවා. අධිකරණ අංශය අංශ තුනක් යටතේ කි‍්‍රයාත්මක වෙනවා. මේ ආදී කටයුතු නිකාය වශයෙන් සිදුකරන අතරතුර රටේ පවතින ජාතික ආගමික පොදු ප්‍රශ්නවල දී යම් යම් පුද්ගලයන් බලාපොරොත්තු වන අවවාද අනුශාසනා ලබාදෙනවා. රජයට අවශ්‍යම කරන යම් යම් අවවාද අනුශාසනා ලබාදීම ආදී වශයෙන් මහානායක හාමුදුරුවන් වහන්සේ වශයෙන් පැවරී තිබෙන කටයුතු ලෙස කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්.

සුපේශල ශික්ෂාකාමී මහතෙරනමක් වශයෙන් වැඩසිටින ඔබ වහන්සේට මෙවැනි වගකීම් සහගත ශාසනික කාර්යභාරයක නියැළීමට පසුබිම සකස්වුණේ කුමන ආකාරයෙන් ද? හාමුදුරුවනේ,

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ මකුලෑව කියන ඉතා පිටිසර ඈත ගම්මානයක උප්පත්තිය ලැබුවත් අවුරුදු 11 දී පමණ මීරිගම ප්‍රදේශයට පැමිණියා. මීරිගම විද්‍යාවාස පිරිවනේ වැඩසිටි රාජකීය පණ්ඩිත නිතලව ශ්‍රී ඤාණේෂ්වර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ඥාති ස්වාමීන් වහන්සේ නමක් වූ නිසා මෙම ප්‍රදේශයට වැඩම කිරීමට අවස්ථාව ලැබුණා. රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, ශාස්ත්‍රාචාර්ය පිදුමේ රතන ස්වාමීන් වහන්සේ, මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන ස්වාමීන් වහන්සේ ඒ වගේම දැනට වැඩසිටින ශාස්ත්‍රවේදී ලෝලුවාගොඩ ඤාණරතන ස්වාමීන් වහන්සේ යන ධර්මධර විනයධර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1960 වර්ෂයේ මාර්තු 24 වැනිදා උතුම් පැවිදිබවට පත්වෙන්නට අවස්ථාව ලැබුණා. පැවිදිවීමෙන් අනතුරුව උන්වහන්සේලා යටතේ මූලික අධ්‍යාපනය ලබාගත්තා සේම මීරිගම විද්‍යාවාස පිරිවෙන තුළින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකොට අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව පුරා වසර පහක් ති‍්‍රපිටක ධර්මය සහිතව පාලි සංස්කෘත ආදී භාෂාවන් ඉගෙන ගැනීමට කටයුතු කළා. වෙඬරුවේ උත්තරානන්ද මහානායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමත්, ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් සුපේශල ශික්ෂාකාමී බවත් මගේ පැවිදි ජීවිතය ආලෝකවත් කිරීමට බොහෝ සේ බලපෑවා. බුද්ධශ්‍රාවක ධර්ම පීඨයෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන අධ්‍යාපන අංශයෙන් ඉදිරියට ගමන්කළා. ති‍්‍රපිටකාචාර්ය ති‍්‍රපිටක විශාරද උපාධියත්, විද්‍යෝදය පිරිවනේ ශී‍්‍ර සුමංගල සභාව මගින් පවත්වනු ලබන සද්ධම්මාචරිය විනයාචරිය විභාග සමත්වෙමින් අධ්‍යාපන කටයුතු සිදුකරන අතරතුර නිකායේ කටයුතු සඳහාත් සම්බන්ධ වුණා.

1969 වර්ෂයේදී ඉහත සඳහන් කළ ආචාර්යපාදයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් ඉඳුරුවේ උත්තරානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්තා. එම අවධියේ සිටම මීරිගම ප්‍රාදේශීය සංඝ සභාවේ සාමාජික හිමි නමක් ලෙස නිකායේ කටයුතු සිදුකළා. පාලක සංඝ සභාවේ අනුවිජ්ජක ධූරය, දිසාපාලක, කාරක සංඝ සභික, නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී ධුරයටත් පත්වුණා. පසුව සංඥා ලේඛකාධිකාරී වශයෙන් අධිකරණ අංශයෙන් ජෙට්ඨාධිකරණ, උපරිමාධිකරණ තත්ත්වයට අයත් කාර්යයන් ඉටුකරමින් පසුව මහෝපාධ්‍යාය තනතුරට අධිකරණ නායක ධූරයට, අනුනායක ධුරයට පත්වුණා ට පසුවයි මහානායක ධූරයට පත් වුණේ. එවකට වැඩ සිටි අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ආචාර්ය පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වූණාට පසුව නිකාය වෙනුවෙන් ශාසනයේ වැඩකරන්න කියන මහා සංඝ රත්නයේ ඉල්ලීම අනුව මහානායක ධූරය බාර ගැනීමට සිදුවුණා. ඒ අනුව කාරක සංඝ සභාවේ දී ගනුලැබූ ඒකමතික තීරණය අනුව මහානායක ධූරයට තෝරාගනු ලැබුවා. ඒ අනුවයි මේ මහානායක ධූරය දක්වා පැමිණීමට අවස්ථාව සැලසුණේ.

අධ්‍යාපනික වශයෙන් පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතු කළා. මරදානේ ශී‍්‍ර ලංකා විද්‍යාලය වගේම අලව්ව ශී‍්‍ර රාහුල පිරිවනේ පරිවේණාධිපති, මීරිගම විද්‍යාවාස පිරිවනේ පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කාලයක් සේවය කරමින් විශ්‍රාම ගියාට පසුව විහාරස්ථානයේ කටයුතු කරගෙන යනවා. අපේ ගුරුහාමුදුරුවන් වහන්සේලා අපට පෙන් වූ මඟ පෙන්වීම ත් දැනට අභාවයට පත්ව සිටින මගේ සදාදරණීය මව්පිය දෙපළගේ මූලික ආධාර උපකාරත් ඒ මග පෙන්වීමත් අනුව ශාසනික පැවිද්දත්, එම පැවිද්ද තුළින් සම්බුද්ධ ශාසනයට යම් සේවයක් සිදු කිරීමටත් අවස්ථාව උදාවුණා.

බුදු දහමේ ව්‍යාප්තිය පිළිබඳව නූතනයේ විවිධ ගැටලු මතු වී තිබෙනවා. ඔබ වහන්සේගේ අදහස පැහැදිලි කරනවා නම්,

කලින් කලට බුදු දහම තුළ යම්යම් විකෘතිතාවයන් ඇතිකරන පුද්ගලයන් පහළවෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි බුද්ධකාලයේදීම ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් ධර්ම මාර්ගයේ නොගොස් වෙනත් දෙයක් අනුගමනය කළා. දේවදත්ත හාමුදුරුවන්ටත් පක්ෂව සිටි පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලිකරදීමෙන් පසුවයි සැරියුත් මුගලන් රහතන් වහන්සේලා වැඩම කරමින් උන්වහන්සේලාගෙන් කණ්ඩායමක් නියම මාර්ගයට ගනු ලැබුවේ. ඒ කාලයේදීත් කලින් කලට යම් යම් දේ් සිදුවුණා. 1956 වර්ෂයේ බුද්ධ ජයන්තිය කාලය වන විටත් තාපස නිකායක් පැමිණීම නිසා බුද්ධ ශාසනයේ යම් අර්බුදයක් ඇතිවුණා. එදාට වඩා වර්තමානය වන විට ජනමාධ්‍ය දියුණුයි . ඇතැම් පිරිස් මේ ධර්මය විවිධාකාරයෙන් සිතැඟි පරිදි විග්‍රහ කිරීමට පටන් අරගෙන තිබෙනවා. ශාසන ඉතිහාසය, ලංකා ඉතිහාසය පිළිබඳව යම්යම් ගැටලු මතුකරගෙන තිබෙනවා. මහා සංඝරත්නය හැටියට තුන්නිකායේ ම මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයත්, ධර්මය පිළිබඳ ව දැනුම් තේරුම් ඇති භික්ෂූන් වහන්සේලාත් බොහෝම උනන්දුවෙන් යුතුව එම කරුණු කාරණා පැහැදිලි කර දෙනවා.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]