[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලකඹර එකලු කළ සුපුන් සඳ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

ලකඹර එකලු කළ සුපුන් සඳ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේගේ 110 වන සංවත්සරය අප්‍රේල් මස 29 වන දින විද්‍යොදය පිරිවෙණේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ක්‍රි.ව. 1827 ජනවාරි 20 වන දින හික්කඩුව නම් පින්බර ග්‍රාමයේ දී ජන්මලාභය ලද උන්වහන්සේගේ ගිහි නාමය වූයේ දොන් නිකුලස් අබේවීර ගුණවර්ධනය. නව හැවිරිදි වියට පත් නිකුලස් අබේධීර කුල කුමරුවා තොටගමුවේ ශ්‍රී රාහුල සංඝ රාජයාණන් වහන්සේගේ විහාරස්ථානය වූ තොටගමුවේ රන්පත් රාජමහා විහාරස්ථානයේ දී හික්කඩුවේ සුමංගල නමින් සසුන් ගත විය. එතැන් සිට ශාසන ප්‍රතිපදාවට අවශ්‍ය ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නිරත විය.

1844 දී වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් යටතේ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙණින් අධ්‍යාපනය ලදහ. ශාස්ත්‍ර පිපාසාවෙන් පෙළුණු උන්වහන්සේ කාශිනාථ නම් බ්‍රාහ්මණ පඬිවරයකුගෙන් සංස්කෘත භාෂාව හා තර්ක න්‍යාය ආදී ශාස්ත්‍ර ද හදාළහ.

සුපිරිපුන් විසිවස් එළැඹි සුමංගල හෙරණපාණෝ 1848 දී උපසම්පදාව ලැබීය.

උපසම්පදාවෙන් අනතුරුව බොහෝ දෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිදු කළ අතර, පරමධම්ම චේතිය පිරිවෙණ, හික්කඩුවේ තිලකාරාමය, බෝගහ වත්තේ සුදර්ශන පරමානන්ද විහාරය, කොටහේනේ පරමානන්ද විහාරය ද උන්වහන්සේගේ ආගමික, ජාතික සේවාවන්හි කේන්ද්‍රස්ථාන විය. 1873 දී කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන ඇරඹීම නා හිමියන්ගේ කර්තව්‍යයන් අතර උත්කෘෂ්ටතම කාර්යය වේ.

නොබෝ කලකින් ම විද්‍යොදය පිරිවෙනින් දෙස් විදෙස් වියතුන් බිහිවීම හා එහි කීර්තිය දස දෙස විහිදීම කාර්යයේ සඵලත්වය පිළිබිඹු කරන්නක් විය. වර්තමානයේ ද විද්‍යොදය පිරිවෙන උන්වහන්සේ වෙනුවෙන් දෙස් විදෙස් ඡාත්‍රවර්ගයාගේ ප්‍රඥාලෝකය දල්වමින් සිටී.

ශාස්ත්‍රීය ශික්ෂණයේ දී සාම්ප්‍රදායිකව පැවතුණු ශාස්ත්‍රයන් එසේම පවත්වා ගැනීමට වෙහෙසුණු සුමංගල නාහිමියෝ නවීන ලෝකයට අනුගත වන පරිදි උචිත දේ ද අධ්‍යනය කළහ. තත්කාලීනව නූතන ලෝකයේ පිළිගෙන තිබුණු නව විෂයයන් ද සුදුසු පරිදි පිරිවෙනේ විෂය නිර්දේශයට අන්තර්ගත කළහ. ඒ අනුව ත්‍රිපිටක ධර්මය, සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඡන්දෝලංකාර, තර්කය න්‍යාය, ඡ්‍යොතිෂය, ගණිතය, ඉංගී‍්‍රසි, හින්දු වැනි විෂයයන් ද අන්තර්ගත කළහ. එබැවින් එදාමෙදාතුර විද්‍යොදය පිරිවෙණෙ ගිහි පැවිදි ශිෂ්‍යයෝ නවීන ලෝකයේ සිය කුසලතා විදහා පෑමට අත්‍යන්තයෙන් ම සමත්ව ඇත.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් කළ සේවාව ජාතික, ආගමික, අධ්‍යාපනික, සාමාජික ආදී නොයෙක් අංශයන් කරා විහිදී යයි. නූතන ලංකා ඉතිහාසයේ මා හැඟි මෙහෙවරක් ඉටු කිරීම සඳහා ස්වදේශීය සාහිත්‍ය යොමු කළ ලේඛකයන් අතර ශ්‍රී සුමංගල නාහිමියෝ ඉහළින් වැජඹෙති.

සුවිශිෂ්ට බුද්ධිමතකු වූ සුමංගල හිමියෝ සිය දැනුමින් ලෝකාභිවෘද්ධිය සැලසීමට ග්‍රන්ථාවලියක් නිර්මාණය කළහ. සිදත් සඟරා සන්නස, කාව්‍ය ශේඛර සන්නස, වර්ණ රීතිය, සත්‍ය සංග්‍රහය, සන්ධි ග්‍රන්ථය, මාසර්තු ලක්ෂණය. සීමා විභාගය, ආඛ්‍යාත විභාගය බ්‍රහ්ම ධර්ම කාව්‍ය බාලාවතාර ටීකාව අභිප්‍රශස්ත කෘතීන් වෙති. මහා වංසයේ තත්කාලීන කොටස සංග්‍රහ කිරීම යුගයේ ජාතික මෙහෙවරක් ලෙස විද්වත් සම්භාවනාවට පාත්‍ර වේ. මෙම ග්‍රන්ථ කරණයෙන් ගම්‍ය වන්නේ උන්වහන්සේ ශාස්ත්‍ර උන්නතිය අපේක්ෂා කරමින් උගත් අනාගත පරපුරක් බිහි කිරීම පිණිස සානුකම්පිතව ක්‍රියා කළ ආකාරයයි.

ජාතික වශයෙන් ගත් කල්හි තත්කාලීන සමාජයේ පැතිරෙමින් පැවති මිෂනාරී අදහස් පරදා බෞද්ධයන් තුළ නව ප්‍රබෝධයක් ඇති කරවීම පිණිස කටයුතු කළහ. ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය, පිහිටුවීමට කටයුතු කළහ. ලංකාලෝක සමය, සරසවි සඳරැස, ලක්මිණි පහන, සුදර්ශනය, සුමති සංග්‍රහය ආදී පත්‍ර සඟරා මුද්‍රණය කරවා ධර්ම ශාස්ත්‍රීය උත්පත්තියට හා ජාතිවාක්සල්‍යය ඇති කරවීමට කටයුතු කළහ. තත්කාලීන මිෂනාරී බලවේග මෙන්ම විවිධ මතධාරී භික්ෂූන් සමඟ කරන ලද වාද විවාද ද විය. අධිමාස වාදය, පාරුපන වාදය, බද්දේගම වාදය, පානදුරාවාදය, උදම්මිට වාදය, ගම්පොළ වාදය, ඌරුගොඩවත්තේ වාදය, අධිමාස වාදය, සව්සත්දම් වාදය, පාරුපනවාදය, තණළලවාදය ආදී වාද මෙහෙයා සමය සමයාන්තර කරුණු ලබා දී කථිකයන් තෙදවත් කොට බෞද්ධ ජයග්‍රහණය පිටුපස උන්වහන්සේ ප්‍රතාපවත් සේවයක් ඉටු කළහ.

මේ සියලු කටයුතු හරහා උන්වහන්සේ අපේක්ෂා කළේ බුදු දහම නො නැසී දිගු කලක් පවත්වා ගැනීම හා ධර්ම ශාස්ත්‍රයේ අභිවෘද්ධියයි. මෙනිසා තත් කාලීන උගතුන් මාහිමියන් හඳුන්වා ඇත්තේ ‘මිහිබට වදනිසුරු’ එනම් මහ පොළවට ආ දෙවියන්ගේ ගුරුවරයා ලෙසිනි.

සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් හෙබි ශ්‍රී සුමංගල නායක හිමිපාණෝ දෙසක් නොහැර පැතිර ගිය කීර්ති ධරයෙක් වූහ. බහුශ්‍රැත පඬිවරයෙක් වූහ. චතුර ධර්ම කථිකයෙක් වූහ. සමයසමයාන්තර වාද විවාදවලදී සේනාධි නායකයෙක් වූහ. ලාංකේය ජනතාවගේ සංඝ පීතෘවරයාණෝ වූහ.

මේ ආදී කීර්ති ඝෝෂාව නිසාම විවිධ ගෞරව සම්මානාදියෙන් උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. ඒ අතර ශ්‍රී පාදස්ථානයේ නායක ධූරය දක්ෂිණ ලංකාවේ නායක ධූරය, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ අනුශාසක ධූරය, මහාබෝධි සමාගමේ අනුශාසක ධූරය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන නායක ධූරය ඉතාලියේ රාජකීය ආසියාතික සංගමයේ ගෞරව සාමාජිකත්වය විශිෂ්ට උගතකුට ම හිමිවන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධිය ඉන් කිහිපයකි. මේ ඈ තනතුරු නිසා නාහිමියෝ නොව නාහිමියන් නිසා තනතුරු වැජඹිණි යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

උන්වහන්සේ විසින් එදා සිදුකළ ධර්ම ශාස්ත්‍රීය සේවාව එදා මෙදාතුර සිය වසකටත් අධික කාලයක් ලොවට හිතසුව පිණිස පවතියි. විද්‍යොදය පිරිවෙණත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නම් වූ විද්‍යොදය විශ්වවිද්‍යාලයත් තදානුබද්ධ ආයතනයක් එම සේවාව මතුවට ද ලොවට අඛණ්ඩව දායාද කරනු ඇත. මෙසේ අචින්ත්‍ය ගුණ කදම්බයකින් හෙබි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාර්ව භෞම පණ්ඩිත බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ 1911 අප්‍රේ්ල් 29 වන දා දැයෙන් සමුගත්හ. එනමුත් විද්‍යොදය පිරිවෙන නමැති ප්‍රදීපස්ථම්භයේ දැල්වූ ධර්ම ශාස්ත්‍රාලෝක ප්‍රදීපයෙන් එදා මෙන්ම අදත් අදමෙන් හෙටත් ලෝකයා ප්‍රඥා ලෝකය ලබාගනු නො අනුමාන ය.

සුමංගල නාහිමියන්ගේ 110 වන ගුණසමරු උත්සවය විද්‍යොදය පිරිවෙණේ දී සැමරෙන මේ මොහොතේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]