[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව් මිනිසුන්ට ප්‍රිය වීමට සත්‍ය වචන පවසන්න

 දෙව් මිනිසුන්ට ප්‍රිය වීමට සත්‍ය වචන පවසන්න

රජගහනුවර වේලුවනාරාමයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සවස් යාමයෙහි රාහුල හිමි සඳහා අම්බලට්ඨිකාවට වැඩම කළහ.

දැන දැන බොරු කියනවා නම්

තමන් සිටින තැනට බුදුරදුන් වඩින බව දුටු රාහුල හිමියෝ බුදුරදුන් වෙනුවෙන් ආසනයක් පනවා පා දෝවනය සඳහා පැන් භාජණයක් ද පිළියෙළ කළහ. පා සෝදාගත් බුදුරදුහු බඳුනෙහි පැන්ටිකක් ඉතිරිකර එය රාහුල හිමිට පෙන්වා මෙසේ ඇසූහ.

‘රාහුල’ මේ බඳුනෙහි ඉතිරි වී ඇති වතුර ටික ඔබට පේනවා නේද? එහෙමයි බුදුහාමුදුරුවනේ මට පේනවා. ඒ වගෙ තමයි රාහුල යම්කිසි භික්ෂුවක් ලජ්ජා නැතිව දැන දැන බොරු කියනවා නම් ඔහුගේ මහණකමත් මේ වගේ අල්පයි. ටිකයි.

ඉතිරි වූ වතුර ටික ඉවතට වීසි කොට එය රාහුල හිමිට පෙන්වූ බුදුරදහු දැන් ඔබට හිස් භාජනය පේනවා නේද? එහෙමයි බුදුහාමුදුරුවනේ, රාහුල යම්කිසි භික්ෂුවක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් ඉවත දැමුවා වගෙයි.

බුදුරදහු ඒ බඳුන යටිකුරු කොට මුණින් අතට තබා රාහුල මෙය ඔබට පෙනේ ද? එහෙමයි බුදුහාමුදුරුවනේ, ඒවගෙ තමයි රාහුල. යම් කිසි භික්ෂුවක් ලජ්ජා නැතුව දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් මුණින් අතට හැරවූ හිස් භාජනයක් වගෙයි. යනුවෙන් ප්‍රකාශ කළහ.

රාහුල ලජ්ජා නැතිව දැන දැන බොරු කියන භික්ෂුවට ඕනෑම පාප කර්මයක් කළ හැකි ය. රාහුල විහිලුවටවත් බොරු කියන්න එපා.

රාහුල කණ්ණාඩිය ඇති මුහුණ බැලීමටයි. රාහුල, කණ්ණාඩියෙන් මුහුණ බලා අඩුපාඩු සකස් කර ගන්නාක් මෙන් නුවණින් සලකා බලා කයින්, වචනයෙන් සිතින් කෙරෙන කාර්යයන් සකස් කරගන්න.

තමන්ට පීඩාවන දේ

රාහුල, කයින් යමක් කරන්නට පෙර මේ අයුරින් සිතන්න. මේ කරන ක්‍රියාව මට පීඩාවක්. අහිතක් පිණිස පවතින්නක් ද? අන්‍යයන්ට පීඩාවක් අහිතක් පිණිස පවතින්නක්ද? මටත් අනුන්ටත් දෙපැත්තටම පීඩාවක් අහිතක් පිණිස පවතින්නක්ද? මේ කයින් කරන ක්‍රියාව අකුසල් ද? එයින් දුක් විපාක ගෙන දේද? මේ අයුරින් නුවණින් සලකා බලා තමන්ටත්, අනුන්ටත්, දෙපැත්තටම අහිතකර අකුසල් විපාක ගෙන දෙන ඒ ක්‍රියාව නොකරන්න. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම පීඩාවක් දුකක් ඇති නොවන කුසල් ක්‍රියාවක් නම්, එය සැප විපාක ලබා දෙන්නක් නම් එය කරන්න. එබඳු සැප විපාක ලබා දෙන කුසල් ක්‍රියාවන් නැවැත නැවැත කරන්න.

රාහුල, ඔබ මෙවැනි දුක් විපාක ලබාදෙන කාය කර්ම කර ඇත්නම් එහි වැරැද්ද නුවණින් විමසා බලා බුදුරදුන්ට හෝ නුවණැති බ්‍රහ්මචාරීන්ට කියා නැවැතත් එබඳු වරදක් නොකරන බවට අධිෂ්ඨානයක් ඇති කරගන්න. නිවැරිදි ශික්ෂණය ඇති කරගන්න. මේ ආකාරයට තමන්ටත් අනුන්ටත් අහිතකර පීඩාවක් දුකක් ඇති නොවන ක්‍රියාවන් කරන්න. එවිට ඔබට ඒ ගැන සිතා සතුටෙන් පී‍්‍රතියෙන් ඉන්න පුළුවන් වේවි. මේ අයුරින් සැනසිල්ල උදා කරන ක්‍රියාවල් කරන්නට අධිෂ්ඨාන කර ගන්න.

වැළකිය යුතු තැන

රාහුල මේ අයුරින්ම වචනයෙන් සිදුවන ක්‍රියාවල් ගැනත් සිතන්න. තමන් පිට කරන වචනය තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම අහිතකර නම් එබඳු වචනවලින් වළකින්න.

තමන්ටත් අනුන්ටත් සැප ගෙන දෙන දුක ඇති නොකරන කුසල් උපදවන වචනම භාවිත කරන්න. තමන්ටත් අනුන්ටත් සැප ගෙන දෙන දුක ඇති නොකරන කුසල් උපදවන වචනම භාවිත කරන්න. දුක්ගෙන දෙන වචන භාවිත කර ඇත්නම් ඒ ගැන නුවණැති ගුණවත් අයට කියා නැවත එබඳු වචන භාවිත නොකරන බවට අධිෂ්ඨානයක් ඇති කරගන්න.

මේ අයුරින් ම ඔබ සිතින් තමන්ටත් අනුන්ටත් අහිතක්, පීඩාවක් නොවන දෙපාර්ශ්වයටම සැපය සුවය ලබාදෙන සිතිවිලිම සිතන්න. උත්සාහ කරන්න. නිවැරදි කුසල් සිතිවිලි ගැන සිතමින් සතුටු වන්න. පී‍්‍රතිවන්න.

රාහුල, මේ අයුරින් ඔබ කයින්, වචනයෙන්, සිතින්, කිසිම කෙනෙකුට අහිතක් නොවන කුසල ක්‍රියාවන්ම කරනවා යැයි අධිෂ්ඨානයක් ඇති කරගන්න.

මේ සඳහන් කළේ බුදුරදුහු රාහුල හිමියන්ට දේශනා කරන ලද අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ කෙටි හැඳින්වීමකි.

තුන්දොරින් සිදුවන අකුසල්වලින් වළකින අයුරුත්, තුන්දොරින් කුසල් කරන අයුරුත් ඒ ගැන සිතා සතුටට පී‍්‍රතියට පත්වන අයුරුත් මෙහි පෙන්නුම් කර ඇත.

තමන්ටත්, අනුන්ටත් දෙපැත්තටම සැනසිල්ල උදාකරන ක්‍රමය මෙහිදී පැහැදිලිව පෙන්නුම් කර දී ඇත.

විශ්වසනීය බව

අපි මෙහිදී විශේෂයෙන් බොරුකීම ගැන කරුණු සලකා බලමු. පංචශීලය ගතහොත් එය ආධ්‍යාත්මික පාරිශුද්ධියට මෙන්ම සමාජ ස්ථාවරත්වයට ද වැදගත් වනු ඇත. පවුලක් තුළ පැවැතිය යුතු සතුට සංහිදියාව අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ අති විශ්වසනීය වෙයි.

සත්‍ය ගරුක බව මෙහිදී අවධානයට ලක් කර ඇත. වචනයෙන් කෙරෙන වැරැදි හතරක් ගැන බුදු දහමෙහි සඳහන් ය. අසත්‍ය හෙවත් බොරු කීම, අසන්නන්ගේ සිත් පාරවන පරුෂ වචන කීම, භේද ඇතිකර ලීමට, කෙටවීම, කේළාම් කීම., කිසිම ඵල ප්‍රයෝජනයක් නැති හිස්වචන කීම.

අසත්‍ය යනු කුමක්ද?

දැක්ක දෙයක් නොදැක්ක ලෙසත්, නොදැක්ක දේ දුටු දේ ලෙසත් සිදු නොවූ දෙය සිදු වූ ලෙසත්, සිදු වූ දෙය සිදු නොවුණ දේ ලෙසත් කළ දෙයක් නොකළ දෙයක් ලෙසත්, නොකළ දේ කළ දෙයක් ලෙසත් ප්‍රකාශ කිරීමයි.

මෙයින් අදහස් වන්නේ සත්‍ය දෙය අසත්‍ය ලෙස දැක්වීමයි.

බොරු ප්‍රකාශ කිරීම අංගචලනයෙන් ද ඉඟියෙන් ද කළ හැකිය. ඇහි බැම නැටවීමෙන්, හිස වැනීමෙන්, විවිධ සංඥා ක්‍රම තුළින් මෙය සිදු කළ හැකි ය. අසත්‍ය ප්‍රකාශන, ලිපි ලේඛන, රේඛා, චිත්‍ර, වැනි මාර්ගවලින්ද බොරුව ප්‍රකාශ කළ හැකිය. බොරු ගණන් හිලව්, ශේෂ පත්‍ර, වත්කම්, බැරකම් ප්‍රකාශනය රේගුවට බදු අයකරන ආයතනවලට පෙන්වන ගණන් හිලව්වලින් ද අසත්‍ය ප්‍රකාශන සිදු කරන්නට පුළුවන.

මෙයින් බොරුවක් වීමට කරුණු හතරක් සම්පූර්ණ විය යුතු ය. අසත්‍යයක් වීම, රැවටීමට ඇති ඕනෑකම, ඒ සඳහා ගන්නා උපක්‍රමය, කියන දෙය අන් අය විශ්වාස කිරීම ය.

සමාජය පිළිගත් පුද්ගලයකු වීම

සත්‍යයක් ප්‍රකාශ කරන විට තවත් සත්‍යයකට ගැළපේ. බොරුවක් කීවොත් එහි දී එය අනික් කරුණට නොගැලපෙන හෙයින් එය වසා ගන්නට තවත් බොරුවක් කිව යුතු ය. මේ අනුව බොරු ගොන්නකට මඟ පෑදේ.

සත්‍ය ප්‍රකාශ කළොත් සිය ස්ථාවරයේ දිගටම සිටින්නට පුළුවන. බොරුවක් කීවොත් තම ස්ථාවරය වෙනස් කරන්නට සිදුවේ. සත්‍ය ප්‍රකාශ කරන විට එම ස්ථාවරයේ ම දිගටම සිටින විට ඔහු කෙරේ විශ්වාසය තබයි. ඔහු සමාජයේ පිළිගත් පුද්ගලයකු බවට පත් වේ. බොරු කියන්නා මහජනතාවගේ නින්දාවට අපහාසයට පත්වනු ඇත. ඔහු මානසික අසහනයට පීඩාවට පත්වේ.

කටින් සිදුවන වැරදි ක්‍රියා නිසා සිදුවන විපාක වශයෙන් මෝඩවීම, දීන අයෙකු වීම, ගොළුවවීම, ගොත ගසන්නෙකු වීම, අන් අයට අපි‍්‍රය අයෙකු වීම, දුර්ගන්ධවත් අයෙකු වීම, පුතුන් නොලැබීම, මරණින් පසු අපායගාමී පුද්ගලයකු වීම යන කරුණූ ධර්මයෙහි සඳහන් ය.

ආලවක සූත්‍රයෙහි සඳහන් වන්නේ “සච්චං භවේ සාධුතරං රසානං” සත්‍ය තරම් උසස් රසයක් නැති බවයි.

සත්‍ය කතා කරන්නා මිනිසුන් අතර පමණක් නොව, දෙවියන් අතර ද ප්‍රසාදයට පත්වෙන බව ධර්මයෙහි සඳහන් ය.

රාහුල හිමි චරිතය අප හැමදෙනාට ම ආදර්ශමත් මඟ පෙන්වීමකි. ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතනතුරට පත්වූයේ රාහුල හිමියන් ය. කීකරුකම, අවවාද පිළිගැනීම, ඇත්ත කතා කිරීම, කුසල්, අකුසල් හරි වැරැදි හඳුනාගෙන ක්‍රියා කිරීමට හැකිවීම, අනතිමානී බව රාහුල හිමියන්ගේ වටිනා චරිතයෙන් අපට ගත හැකි ආදර්ශයන් ය.

මේ උදාර ගුණාංග අපගේ ජීවිතවලට ඇතුළත් කර ගනිමු. එය අපගේ ජීවන ගමනට මහඟු සම්පතක් වනු ඒකාන්ත ය.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]