[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයට සැහැල්ලු බවක් නැත්තේ ඇයි?

ජීවිතයට සැහැල්ලු බවක් නැත්තේ ඇයි?

බ්‍රහ්මචාරී ජීවිතය නම් කම් සැපයෙන් වියුක්ත ව ජීවිතය ගත කිරීම යි. බ්‍රහ්මචාරී යන වචනයේ විරුද්ධ පදය වන්නේ අබ්‍රහ්මචාරී යන්න යි. එනම් කාම සුවය යි.

අබ්‍රහ්මචාරී ජීවිතයේ නිතර දක්නට ලැබෙන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදී සිත කිළිටි කරන අකුසල් මූලයන් ය. අබ්‍රහ්මචාරී ජීවිතයක් තුළ කිසිම මොහොතක සැනසීමක් දක්නට නො ලැබේ. එහි නිරන්තරයෙන් පවතින්නේ අතෘප්තිය, අසහනය, පීඩනය ආදී මනෝ භාවයන් ය. තමන්ටත්, අනුන්ටත් අයහපතක් පිණිස ම කාම සුවය හේතු වන්නකි.

බුදු දහමට අනුව කාම සුවයෙහි ආදීනව ඉතා භයංකාර ය. කිසිදු වැඩකට නැති සත්ත්වයා නිරතුරුව ම දුකට ඇද දමන්නක් ලෙස කාම සුවය පෙන්වා දී ඇත. කාම සුවය උපමාවලින් පෙන්වා තිබීමෙන් ඒ බව මොනවට පැහැදිලි වේ.

සිහිනයක්, ණයට ගත් දෙයක්, මස් නැති ඇට කැබැල්ලක්, සර්ප හිසක්, තණ සුලක්, මස් කපන කොටයක්, මස් කපන පිහියක් ආදී වශයෙන් කාම සුවය පවතින බව ඉන් පැහැදිලි කොට ඇත.

අබ්‍රහ්මචරියං පරිවජ්ජය්‍යෙ - අංගාරං කාසුං ජලිතංව විඤ්ඤු

ආදී වශයෙන් කාම සුවය වනාහි දිලිසෙන ගිනි අඟුරු වළක් මෙන් නුවණැත්තන් අත් හරින බව ඉන් වැඩිදුරටත් පැහැදිලි වේ. ඒ අනුව විමසා බැලීමේ දී අබ්‍රහ්මචාරි ජීවිතයෙන් මිදීම සෑම පැත්තකින් ම සුවදායක වන්නේ ය.

ඒ සඳහා ධර්මයෙහි ශීලය සම්බන්ධ කොටගත් ඉන් මිදීමේ මඟ දේශනා කොට ඇත. පංච ශීලය ගත්තත්, අෂ්ටාංග ශීලය ගත්තත්, දස ශීලය ගත්තත් ඒ හැම තැනකම අබ්‍රහ්ම චරියාවෙන් වෙන්වීමේ මඟ ශික්ෂා පදය තුළින් ඉදිරිපත් කොට ඇත. එනම්,

“අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි”

පංච ශීලය සාමාන්‍ය ජීවිතයේ සමාදන් වීමේ දී “කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි” වශයෙන් එම ශික්ෂා පදය සමාදන් වනු ඇත. ගිහියකු වශයෙන් සිය බිරිය, සිය සැමියා ඉක්මවා කම්සුව විඳීම වරදකි. පසිඳුරන්ව වැරැදි ලෙස පිනවීම නො කළ යුතු බව ඉන් පැහැදිලි කොට ඇත. සාමාන්‍ය ගිහි ජීවිතයේ තහනම් වන්නේ අයථා සේවනය පමණක් වුව ද පෙහෙවස් සමාදන් වන උපාසක, උපාසිකාවන් විසින් ස්ත්‍රී, පුරුෂ සේවනයෙන් සහමුලින්ම වැළකිය යුතු ය.

බ්‍රහ්මචරියා යනු එසේ විසීම යි. එම නම යෙදී ඇත්තේ බ්‍රහ්මයෝ කාම සේවනයෙන් සහමුලින් ම වැළකීම හේතුවෙනි. ඒ අනුව බ්‍රහ්මචාරිය යනුවෙන් නම යෙදී ඇත.

බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ හොඳම ගිහි චරිත දෙක අපට හමුවන්නේ බෞද්ධ සාහිත්‍ය තුළිනි.

එනම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි ජීවිතය යි. එය සංසාරෙ පාරමිතාවන් සේ ඔවුන් දෙපළ සම්පූර්ණ කොට අප ගෞතම බුද්ධ ශාසනයේ මස්තකප්ප්‍රාප්ත කොටගත් දෙදෙනෙකි. ඔවුන්ගේ ගිහි ජීවිතය ගත් කල්හි එය ඉතා පවිත්‍ර ය. කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි කල පිප්පලී නමින් නම් දැරී ය. විවාහ ජීවිතයට කැමැත්තක් නො දැක් වුව ද, මව්පියන් ඔහුට කුමාරිකාවක් රනින් නිමකොට ඊට සමවන රුවක් ඇති කුමරියක් සෙවී ය. ඒ අනුව භද්‍රාකාපිලානි කුමාරිය හමු වී ඇය පිප්පලී කුමරුට සරණ පාවා දුන්හ. නමුදු එම දෙදෙනා ම බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ දෙදෙනෙකි. සසර බොහෝ කාලයක පටන් බ්‍රහ්මචාරි ජීවිතයක් පුරුදු පුහුණු කළ ඔවුන් දෙදෙනා එම ආත්මයේ දී ද බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළහ.

විවාහ පත් වූ දින සිට අල්ප වූ ද රාගික හැඟීමක් නැතිව, මුළු ගිහි ජීවිත කාලය පුරාම කාමයන්ගෙන් වෙන් වී ජීවිතය ගත කළහ. මව්පියන්ගේ අභාවයෙන් පසු ඔවුන් දෙදෙනා ම බුදු සසුනට ඇතුළු වී මහණ දම් පිරී ය. ලෝකයේ එලෙස බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්නන් ඉතා අඩු ය. එසේ කළ හැක්කේ සසර පුරුදු පුහුණු කරන ලද බ්‍රහ්මචාරී ජීවිතයත් සමඟ ය. විවාහ ජීවිත ගත කරන ඕනෑම කෙනෙකුට පිප්පලී කුමරු හා භද්‍රාකාපිලානි කුමරියගේ ජීවිත කතාව කියවීම ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.

බ්‍රහ්මචාරී ජීවිත ගත කිරීමෙන් සත්ත්වයාට බොහෝ අනුසස් ලැබේ. අද බොහෝ දුරට “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනුවෙන් එය පෝයට පමණක් සීමා වී ඇත. එය නිතර සමාදන් වන අය ඉතා අල්ප ය.

නමුදු එහි අනුසස් දන්නවුන් සැමදා වුව ද එම සික්ඛා පදය සමාදන් වී රකිනු ඇත. අද පෝයට සිල් ගැනීම වුව ද ඇතැම්විට වයෝවෘද්ධ මව්වරුන් ටිකකට පමණක් සීමා වී ඇත. සීලය රැකීමට කාලයක් අවශ්‍ය නැත. එය හැම මොහොතක ම ජීවිතයත් සමඟ පැවතිය යුත්තකි. සිත, කය, වචනය සංවර භාවය ඇතිවන්නේ සීලයත් සමඟ ය. පංච ශීලයෙන් එහාට ගිය සිල් රැකීමට හැකි නම් ජීවිතය තවත් නිවන් මඟට ළංවෙනු ඇත. බුදු දහමේ අත්තිවාරම වූ ත්‍රිශික්ෂා සම්පූර්ණයෙන් වුව ද ශීලය පෙරටුගාමී ව සිටී. ඒ අනුව බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කිරීම නිවන් මඟට අත්වැළක් බව සිතට ගත යුතු ය. බ්‍රහ්මචාරී ජීවිතයක ප්‍රතිඵල සාංදෘෂ්ටික වශයෙන් ම ලැබෙන්නකි. ඒවා නම්,

විඳින්නට ඇති කරදරවලින් අත මිදීම ය.

නිරෝගී භාවය වැඩිදියුණු වීම ය.

ශරීරය ඉක්මනින් දිරීමට පත් නොවීම ය.

දීර්ඝායුෂ උපරිම අයුරින් විඳින්නට ලැබීම ය.

මතක ශක්තිය වැඩිදියුණු වීම ය.

සිහිය විකල් නොවී හොඳින් පිහිටීම ය.

තේජස වැඩිදියුණු වීම ය.

ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඉක්මනින් නො පිරිහීම ය.

කායික ශක්තිය ඉක්මනින් හීන නො වීම ය.

කායික වර්ණය වැඩිදියුණු වීම ය.

මරණින් මතු දිව්‍ය සැප සම්පත් ලැබීම ය.

මෙවන් ආනිසංස මෙලොව දී ම ලබා ගැනීමට පුළුවන. මුළුමනින් ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට අපහසු නම්, යම් තරමකින් හෝ කම් සුවයෙන් ඉවත්වීම කළ යුතු ය.

අද බොහෝ දෙනෙක් මගේ, මගේ යන ආකල්පයෙන් බැඳීම් ගැටීම්, ඇලීම්වල නිමග්න ව සිටී. ආත්ම සංකල්පය තුළ සිරවී කිසිදු සැහැල්ලුවක් නැති තත්ත්වයට ජීවිතයන් පත් කොටගෙන ඇත. එබැවින් අබ්‍රහ්මචාරී ජීවිතයෙන් මිදී බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කොට මෙලොව ජීවිතය සුව සේ ගෙවීමටත්, පරලොව ජීවිතයේ දුක් නැති කර ගැනීමටත්, උතුම් නිවනින් සැනසීමටත් කටයුතු කරමු.

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]