[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශෝකය හා බිය දුරුකර ගත හැකි මඟ

ශෝකය හා බිය දුරුකර ගත හැකි මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පේමතෝ ජායති සෝකෝ
පේමතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං?
(පිය වග්ග)

ප්‍රේමය නිසා ශෝකය උපදී, ප්‍රේමය නිසා භය උපදී, ප්‍රේමයෙන් මිඳුණු සඳ, සොවක් නැත. බියක් නැත. මේ දහම ලොව්තුරු බුදුපියාණෝ වදාළේ දෙව්රම් වෙහෙරදී විශාඛාවන් අරභයා ය. පින්වත්නි, අද අප ජීවත් වන්නේ කොරෝනා වසංගතය නිසා හැම අතින් ම තහංචි වැටුණු අවධියක යි. මේ කාලයේ අප කවුරුත් අසරණ ය.

ඒ කෙසේ වෙතත් අප, අපගේ ආධ්‍යාත්මික ශික්ෂණය සේ ම, ආර්ථික දියුණුව ළඟාකර ගත යුතුව ඇත. ලෝකයා අසරණ වූ මෙවන් මොහොතක බුදුන් දෙසූ දහම අපගේ සිහියට නැඟේ. සිත හදන බුදු බණ පදයකින් සංග්‍රහ කිරීමට ලැබීම අපටද අස්වැසිල්ලකි. දම් පද සයුරේ ගිලෙන අප ධම්මපදයේ එන තවත් එක්තරා දේශනාවක් කෙරෙහි අවධානය යොමු කරමු.

සැවැත්නුවර විශාඛා මහා උපාසිකාවගේ නිවසේ නිතර දන් දෙති. ඇගේ මාළිගාවේ භික්ෂූන් වහන්සේ උදෙසා දිනපතා දානය සහ ගිලන්පස පිළිගන්වති. ඈට දන්තා නමින් මිනිබිරියකි. ඈ උවටැන් කිරීමේ දක්ෂ ය. සූර ය, අනලස් ය. දන්තාවගේ ශ්‍රද්ධාව ද එසේ ම ය. කරුණු එසේ වුවත් ඈ තරුණ වියට එළඹෙත් ම, අකාලේ මිය ගියා ය. මේ ශෝකය විශාඛාවන්ට දරාගත නොහැකි වේදනාවක් වූයේ ය.

විශාඛා මහා උපාසිකාව දිනක් දෙව්රම් වෙහෙරට ගොස් දැඩි සේ ශෝකයට පත්ව සිටියා ය. ඒ දුටු බුදුරජාණන් වහන්සේ ඈ අමතා මෙසේ ඇසූහ. විශාඛාවනි, සොවින් සිටින්නේ ඇයි? එවිට ඈ කියන්නී, බුදුරජාණන් වහන්ස, දන්තාවගේ ගුණ සිහිවෙන කොට මට දරාගත නොහැකි දුකක් සිතට එයි. එය එතරම් ම බලවත් ය.

එවිට බුදුරජාණන් වහන්සේ විමසන්නේ මෙබන්දකි. විශාඛාවෙනි, මේ සැවැත්නුවර කොපමණ නම් මිනිස්සු ඇද්ද? එවිට ඈ කියන්නේ, ස්වාමීනි, සත් කෙළක් පමණ ය විශාඛාවනි, සැවැත්නුවර වෙසෙන මිනිසුන් සත් කෙළම ඔබගේ මිනිබිරියෝ වෙත්නම්, ඔබ කැමැති ද? එසේය ස්වාමිනි, යැයි ඈ පිළිතුරු දුන්නා ය.

විශාඛාවනි, මේ සැවැත්නුවර දිනපතා මියයන ගණන කොපමණද? ස්වාමිනි, දිනපතා මිය යන ගණන අපමණ ය. බොහෝ ය. ඉතින් විශාඛාවනි, මේ නුවරවැසි මිනිස්සු ඔබගේ මිනිබිරිය හා සම වන්නේ නම්, දිනපතා නගර වැසියෝ මියයන්නේ නම්, එලෙස මැරෙන මිනිස්සු වෙනුවෙන් ඔබ හඬන්නේ නම්, ඒ අය වෙනුවෙන් හඬනවා විනා වෙන කිසිවක් ඔබට කරන්නට බැරිවේවි. බුදුන් වහන්සේ වදාළහ.

විශාඛාවගේ මේ ශෝකය මුල්කරගෙන බුදුරජාණන් වහන්සේ ඉහත කී ගාථාව වදාරා මේ දම් දෙසුම ගෙනහැර පෑහ.

මේ ගාථාවේ එන පරිදි ප්‍රේමය යනු සෙනෙහස ඇත්තන් හා සෙනෙහෙ ඇති දේ කෙරෙහි ඇතිවන ඇල්ම ය. එසේ නොමැති නම් ළෙන්ගතු බව ය. අපගේ සිත දැඩිලෙස ප්‍රේමයෙන් බැඳෙන්නේ, මව්පියන්, දූ පුතුන්, දැසි දස්සන් කෙරෙහි ය.

තවත් විටෙක ප්‍රේමය ඇති වන්නේ රන්-රිදී, මුතු-මැණික් ආදි වස්තූන් කෙරෙහි ය. ප්‍රේමය උපදවන ජීවි- අජීවි වස්තූන් අප කෙරෙන් ඈත් වනවිට, වෙන්ව යන විට, වියෝවන විට අපට ඇති වන්නේ ශෝකයකි. දුකකි. බියකි.

මේ ගාථාවේ එන පරිදි බුදුන් වහන්සේ වදාරන්නේ, ප්‍රේමයෙන් මිදුණු තැනැත්තාට සෝකයක් හෝ බියක් උපදින්නේ නැති බවයි.

පෘථග්ජන මිනිසුන්ට ප්‍රේමය නිසා උපදින ශෝකය හෝ දුක දරා ගැනීම අසීරු ය. නමුත් කෙලෙස් දුරුකළ රහතුන්ට එය පහසු ය. එබැවින් පෙම් වඩන්නෝ මෙය හොඳීන් තේරුම් ගත යුතු ය. අන්‍යෝන්‍ය වශයෙන් පෙම්වතුන් තුළ ඇතිවන බොළඳ ප්‍රේමය ද මෙලෙසම දුක, ශෝකය, බිය උපදවන සුළු ය. බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි කුමන ආකාරයේ ප්‍රේමයක් වුව ඒ තුළින් ඇතිවන බැඳීම නිසා එකිනෙකා කෙරෙහි ඇතිවන ඇල් ම නිසා ශෝකය සහ බිය උපදින බව ය.

අද අප මුහුණ දෙන කොරෝනා ව්‍යසනය හමුවේ වුව, ලෝකයේ මැරෙන ගණන බොහෝ ය. එලෙස මිය යන්නන්ගේ නෑයින්ට අත් විඳීන්නට සිදුව ඇත්තේ විශාඛාවන්ට වන් ශෝකයකි. දුකකි. බියකි.

ලෝකය දම්වැළක සේ බැඳී ඇත්තේ මෙකී ප්‍රේමය නිසා ය. එය රාගය, ආදරය, සෙනෙහස වැනි වදන් තුළින් තවත් අලංකාර වී ඇත. එසේ නමුඳු ප්‍රේමය ආධ්‍යාත්මික ශික්ෂණයක් තුළින් අවබෝධ කරගත යුත්තකි.

සැවැත්නුවර එක්තරා පවුල් රක්නා පොහොසත් පියෙකි. එම පියා සිය බිරිඳගේ ද සහය ඇතිව දැහැමි දිවියක් ගත කරයි. දුසිරිතෙන් තොරව ගෙවන ඔවුන්ගේ දිවි පැවැත් ම කාටත් ආදර්ශයකි. කාටත් හිතසුව පිණිස පවතින්නකි.

එලෙස දැහැමිව ජීවත් වන ඒ දෙමාපියන් හට පින්වත් පුත් කුමරෙක් සිටී. හැදෙන වැඩෙන ඒ පුතු දෙස බැලූ ඔවුන්ට මහත් සතුටක් ගෙන දුන්නේ ය. ඒ කුමාරයෝ ද කීකරු ය. සූර ය. එබැවින් දෙමාපියන් සිතන්නේ, මේ කුමරු අපගේ වස්තුව රක්නා බව ය. පුතුගේ දස්කම් දකින මව්පියන් තුළ වූයේ ඉමහත් බලාපොරොත්තුවකි.

එහෙත් නොසිතූ දෙයක් සිදුවිය. (අචින්ති තම්පි භවති-චින්ති තම්පි විනස්සති) සිතන දේ සිදු නොවෙයි, නොසිතු දේ සිදුවෙයි. ඒ අනුව දෙමාපියන්ගේ සියලු බලාපොරොත්තු සුන් කොට දමමින්, එම පුත් කුමරු තරුණ වියේදීම මරුට වසඟ විය. මව්පියෝ ඒ මළ සිරුර සොහොනට ගෙනගොස් දමා වැළපෙති, හඬති, දුක්වෙති. දාරක ප්‍රේමය දරාගත නොහැකිව එම කුමරු දැවූ තැනට ගොස් දිනපතා හඬති, වැළපෙති, සෝ සුසුම් හෙළති.

දිනක් අලුයම ලොව බලන බුදුන් වහන්සේ මෙලෙස සොවින් තැවෙන පෙළෙන පියා දුුටු සේක. එම පියා බුදු බණ අසා සෝවාන්වීමට තරම් පිනක් ඇති බව දකින බුදුපියාණෝ ඔහුගේ නිවසට වැඩම කළහ. එලෙස වඩින බුදුන් වහන්සේ ඔහුගේ ශෝකය දුරු කළහ. ඒ නිමිතිකොටගෙන බුදුන් වහන්සේ මෙවන් දහමක් අපට දෙසූහ. එනම්, ප්‍රියයන් නිසා ශෝකය සහ බිය උපදී. ප්‍රියයන්ගෙන් වෙන්වූ විට ශෝකය හා බිය නූපදී. එහිදි මේ බණ පදය අසන පියතුමා සේවාන් ඵලයට පත්වූයේ ය.

ඉහත සඳහන් අයුරු පෙනෙන්නේ, ලොව රඳන්නේ බැඳීම් සමුදායක් තුළ බව ය. එකී බැඳීම් සිඳෙන විට දැනෙන්නේ ශෝකයකි. දුකකි. බියකි. මැරෙන අයුරු දකින අපට ද දැනෙන්නේ සොවකි. දුකකි. වත්මනේ ලෝකයා මුහුණ දෙන කොරෝනා වසංගතය හමුවේ ද දක්නට ඇත්තේ එබන්ඳකි. ඊට ගොදුරු වේදැයි අප තුළ ඇත්තේ බියකි. බිය සහ සැකය මුසු වූ දිවියකි. එවිට අපට මානසික සුව සහනය සලසන්නේ බුදු බණ ය. අටලෝ දහම සිහියට නැගෙන්නේ එවිට ය. අවසැන අපගේ ප්‍රාර්ථනාව වන්නේ, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, මෙපින් බෙලෙන් සත් නිවන් දකිත්වා යන්නය.

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]