[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිදහස් සටනට උරදුන් මහා යතිවර වරුණ

නිදහස් සටනට උරදුන් මහා යතිවර වරුණ

ජාතික නිදහස් දිනයට වසර හැත්තෑ තුනක් සපිරෙන මේ මොහොතේ, අප නිදහස් අරගලයේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේගේ දායකත්වය පිළිබඳ සමාලෝචනය කිරීම, සාකච්ඡා කිරීම වැදගත් කොට සලකමු.

දේශපාලන විද්‍යාත්මක ව, සමාජ විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීමේ දී අපේ නිදහස් අරගලය මූලික වශයෙන් කොටස් තුනකට බෙදා දැක්වීමට පුළුවන.

එදා 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර, මහනුවර මඟුල් මඩුව ඉදිරියේ දී සිංහල කොඩිය පහත හෙළා, ඉංගී‍්‍රසි කොඩිය එසවීම නො ඉවසූ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඉංගී‍්‍රසි කොඩිය පහතට ඇද දමා, සිංහල ජාතික කොඩිය ඔසවා තැබීමෙනුයි නිදහස් අරගලය ආරම්භ වන්නේ.

එම නිදහස් අරගලය ඉතාමත් තීරණාත්මක බවට පත්වන්නේ 1818 වසරේදී ය. ඒ ඌව වෙල්ලස්සෙන් ඇරඹුණ ජාතික නිදහස් අරගලයත් සමඟිනි. සිංහල ගැමි ජනතාව අවි ආයුධවලින් නිදහස අත්පත් කර ගැනීමට තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් උඩරට ගිවිසුමේ තිබෙන කොන්දේසි කඩවීමත් සමඟ ය. එහි ප්‍රධාන කොන්දේසියක් වූයේ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කොට උන්වහන්සේට රැකවරණය ලබා දීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව කැමැත්ත පළ කිරීම ය. එහෙත් ටිකෙන් ටික ඉංගී‍්‍රසි ආණ්ඩුව වෙතින්, දළදා වහන්සේට රැකවරණය සැලසීමත්, ගරු කිරීමත් ගිලිහී යන්නට විය. ඊට අමතරව ස්වදේශික ජනතාව මත බදුබර පැටවීම මෙන්ම, විවිධ අකටයුතුකම් ද සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ය, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස නිදහස් සටන ආරම්භ වූයේ.

එම සටනේ ඉතාම සක්‍රීය කණ්ඩායම් වූයේ සිංහල ගැමි ජනතාව, ආදිවාසීන් හා අපේ ජනතාවට අවවාද, අනුශාසනා දුන් භික්ෂූන් වහන්සේ ය. ඉතිහාසයේ යම් යම් හැදෑරීම් සහ පර්යේෂණවලට අනුව මෙම නිදහස් සටනේ දී ගැමි ජනතාවට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේ දහස් ගණනකගේ නම් සඳහන් බව පෙනේ. එහිදී භික්ෂූන් වහන්සේ වධ හිංසාවට ලක් වූ අවස්ථාවන්, බන්ධනාගාර ගත කළ අවස්ථාවන් ද බොහෝ ය.

දළදා වහන්සේගේ අයිතිකාරීත්වය රටක රාජ්‍ය නායකත්වයේ ප්‍රධාන සංකේතය බවට පත්ව තිබුණි. ඒ අනුව දළදා වහන්සේගේ අයිතිය ඉංගී‍්‍රසීන් වෙතින් නැවත ලබා ගැනීමට ලාංකේයයන්ට නායකත්වය දෙන්නේ භික්ෂූන් වහන්සේ ය. විශේෂයෙන් වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, දළදා වහන්සේ දළදා මාලිගයෙන් ඉවත් කොට, ඉංගී‍්‍රසීන්ට තව දුරටත් රට පාලනය කිරීමේ අයිතිය නොවන බවට පණිවිඩය ජනතාවට සන්නිවේදනය කිරීමට තීරණය කළහ.

සටනට උරදුන් නාපානේ තෙරුන් වහන්සේ මල්වතු මහා විහාරයේ අනුනායක ධූරය දැරූ බෝගොඩ විහාරයේ නායක හාමුදුරුවෝ, කරුවල ගස්වැව මහ තෙරුන් වහන්සේ, කැටකුඹුරේ තෙරුන් වහන්සේ, කොබ්බෑකඩුව තෙරුන් වහන්සේ, ගල්කඩවල තෙරුන් වහන්සේ, බමුණුගෙදර තෙරුන් වහන්සේ, වල් පංගුවේ තෙරුන් වහන්සේ, අන්දර වැව තෙරුන් වහන්සේ, ගල්කඩවල සාමණේර තෙරුන් වහන්සේ, අල්ගම තෙරුන් වහන්සේ, තොරම්බුවල උන්නාන්සේ, යන්තම්පළාවේ උන්නාන්සේ, පනාගමුවේ උන්නාන්සේ, බමුණාගෙදර උන්නාන්සේ, රත්නපාල උන්නාන්සේ, විල්බාවේ උන්නාන්සේ ආදී බොහෝ ස්වාමීන් වහන්සේලා දේශප්‍රේමීන්ට රැකවරණය ලබාදීම, දේශප්‍රේමීන්ට අවවාද අනුශාසනා කොට සටනට පොළඹවාලීම ආදී හේතූන් මත ඉංගී‍්‍රසි ආණ්ඩුවේ අත්අඩංගුවට පත්විය.

මීට අමතරව හුණුගල්ලේ තෙරුන් වහන්සේ, අඹගොල්ලේ තෙරුන් වහන්සේ, පොල්වත්තේ තෙරුන් වහන්සේ, වතුරුවිල තෙරුන් වහන්සේ, කුරුවිල තෙරුන් වහන්සේ ආදී යතිවරු සිංහල රජතුමාට රැකවරණය දීමට කටයුතු කළා කියන කාරණය මත වධහිංසාවට ලක්කොට බන්ධනාගාර ගත කළ බව සඳහන් ය.

මෙකල ජෝන් ඩෙයිලි විසින්, ඔහුගේ චරපුරුෂයින් යොදවනු ලැබීමෙන් දේශප්‍රේමී ජනතාව, නිදහස් අරගලයට නායකත්වය දෙන ස්වාමීන් වහන්සේ සොයා රටපුරා ඔත්තු සේවාවන් හා ආරක්ෂක සේවාවක් ද පවත්වාගෙන යන ලදී. ඒ යටතේ මාවල උන්නාන්සේ, පොතුහැර උන්නාන්සේ ආදී භික්ෂූන් වහන්සේ වෙල්ලස්සේ දේශප්‍රේමීන්ට නායකත්වය දීම, දේශප්‍රේමීන්ට අවි ආයුධ සපයා දී, ආහාර සපයාදීම, දේශප්‍රේමීන් සඟවා තබා ආරක්ෂා කිරීම ආදියෙහි වරදකරුවන් කොට අත්අඩංගුවට ගනු ලැබීය.

එසේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා යාපනය බන්ධනාගාරය සහ වෙනත් බන්ධනාගාර වෙත ගෙනගොස් උපැවිදි කොට වධහිංසාවට ලක් කළහ. සමහර ස්වාමීන් වහන්සේ සටන් භූමියේදී ම වෙඩි තබා ඝාතනය කිරීම ආදී විශාල වධ හිංසාවන්ට ලක්කළ ආකාරය දකින්නට පුළුවන.

මෙසේ දේශපේ‍්‍රමී සටන්වලදී උපකාර කළ භික්ෂූන් වහන්සේලාගේ නම් බොහෝ විට සඳහන් නොවේ. උන්වහන්සේලා හැඳින් වූයේ ගම්වල නාමයෙනි.

1818 නැගිටීමෙන් පසු ඉංගී‍්‍රසි ආණ්ඩුව රටේ විශාල විනාශයක් ඇති කරන්නට විය. ඒ අනුව බොහෝ විහාරාරාම විනාශ විය. දේවාල බිම් විනාශ විය. අනෙක් අතට මෙම පූජනීය ස්ථාන ගරා වැටුණු, විනාශ වුණු, කිසිදු නායකත්වයක් නොදුන් තැන් බවට පත් විය.

1847 පසුව රටේ තැන් තැන්වල ඇති වූ ජන අරගලවලට, දේශප්‍රේමී නැඟිටීම්වලට, නිදහස සඳහා ගෙන ගිය උද්ඝෝෂණවලට භික්ෂූන් වහන්සේ දස දහස් ගණනින් උපකාර කළහ. ඔත්තු සැපයීමේ කාර්යය සිදු කළහ. මූලික වශයෙන් මව්රට ආරක්ෂා කරගැනීම, ඇදහීම්, විශ්වාස, ආචාර ධර්ම ආරක්ෂා කර ගැනීම හා පවත්වාගෙන යෑම එයින් මූලිකව ම අපේක්ෂා කළහ.

ගණින්නාන්සේලා පිළිබඳ කෙරී ඇති පර්යේෂණවල දී උන්වහන්සේලා ද යම් ආකාරයකින් අධිරාජ්‍ය විරෝධී නිදහස් අරගලය වෙනුවෙන් කැප වුණු ක්‍රියාවලියක යෙදී සිටි බව පැහැදිලි ය.

ඉංගී‍්‍රසි ජාතීන් ඔවුන්ගේ ආගම ධර්මයන්, සාම්ප්‍රදායයන් සේ ම මිෂනාරී අධ්‍යාපනය ද පාළු කරමින් තිබුණු යුගයක ලංකාවේ තිබුණු ආරාමික අධ්‍යාපනය සම්පූර්ණයෙන් විනාශයට පත්වන්නට විය.

මේ අතරතුර දකුණු ලංකාවේ නැවත ප්‍රබෝධයක් ඇති වන්නට විය. ඒ බෞද්ධ ශාස්ත්‍රීය ප්‍රබෝධයයි. බෞද්ධ භික්ෂූන් වහන්සේ, යටත් විජිතවාදී ක්‍රිස්තියානි ආක්‍රමණයට විරුද්ධව නැඟී සිටින්නේ කෙසේද යන කාරණය පිළිබව යම් කතාබහක් ආරම්භ කරන්නට විය. එය ධර්ම ශාස්ත්‍රීය කතාබහක දල්හි කර්ම වාදය විය. පාරුපන වාදය ආදී ශාස්ත්‍රීය වාද ඇති වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසට ය. ඒ අනුව එකල ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වූයේ වාද විවාද සාහිත්‍යයක් ඇති වීම ය. එසේත් නැතිනම් බටහිර මිෂනාරිවරුන් සමඟ බෞද්ධ භික්ෂූන් වහන්සේ වාදවලට සම්බන්ධ වීම ය.

මේ ක්‍රියාවලියට විශේෂයෙන් දකුණු පළාතේ වැඩ සිටි යතිවරයන් වහන්සේ ඇප කැප වූහ. හික්කඩුවේ සුමංගල හිමි, වස්කඩුවේ සුභූති හිමි, බුලත්ගම ධම්මාලංකාර හිමි වැනි වියත් යතිවරයන් වහන්සේ නායකත්වය දරමින් රටපුරා ක්‍රිස්තියානි මිෂනාරී කණ්ඩායම් සමඟ වාද විවාදවලට එළඹුණහ. සුප්‍රකට පංච මහා වාදය හඳුනා ගන්නට හැකි වන්නේ මේ ක්‍රියාවලිය තුළ ය.

මෙහි ඓතිහාසික ම අවස්ථාව වන්නේ පානදුරාවාදයයි. ඊට නායකත්වය දෙන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ය. ලංකාවේ ජාතික නිදහස් අරගලයේ ප්‍රධාන සලක්ෂය හැටියට හඳුන්වන්නේ මේ පානදුරාවාදයයි.

එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරව ද ප්‍රචාරය විය. ඕල්කට්තුමා ලංකාවට එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසට ය. එතුමා ලංකාවට පැමිණ ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ දී බුදු දහම වැළඳ ගත්තේ ය. මේ ක්‍රියාවලිය හරහා නැවත නව සමාජ ප්‍රබෝධයක ආරම්භය සිදුවිය. අනගාරික ධර්මපාලතුªමා, පියදාස සිරිසේනයන් හේමපාල මුනිදාසයන් ආදී ප්‍රභූන් මතු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසට ය.

මේ ප්‍රවාහයේ ම තවත් විශිෂ්ට චරිතයක් ඉස්මතු වේ. ඒ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් සහ උන්වහන්සේගේ කවි නිර්මාණයන් ය. මේ නිසා 19 වන සියවස අග භාගයේ මේ රටේ විශාල සමාජමය ප්‍රබෝධයකට මාවත විවර වුණි.

පිළිවෙත් පවත්වා ගැනීමේ නිදහස ආදී නිදහස් පිළිබඳ කතිකාවක් ඇති වුණි. ඒ ප්‍රබෝධය හින්දු හා මුස්ලිම් සමාජයට ද බලපෑම් කළේ ය. ආරුමුගම් වගේ අය, ලෙබ්බේ වගේ අය මතු වන්නේ ඒ අනුව ය.

මේ ප්‍රබෝධයේ ආස්වාදය පදනම් කරගෙන 19 වැනි සියවසේ අග, විසිවන සියවසේ මුල භාගයේ මේ රටේ ජාතික ව්‍යාපාරයේ තුන්වන අදියර වන ව්‍යවස්ථා සම්පාදනය හරහා ව්‍යවස්ථානුකූල නිදහසක් ලැබීම සඳහා වූ ප්‍රතිසංස්කරණය ආරම්භ විය.

විශේෂයෙන් හික්කඩුවේ සුමංගල හිමි, වස්කඩුවේ සුභූති හිමි, බුලත්ගම ධම්මාලංකාර හිමි, රත්මලානේ ධම්මාරාම හිමි, වලානේ සිද්ධාර්ථ හිමි ආදී යතිවරයන් වහන්සේගේ නායකත්වයෙන් ගෙන ගිය ජාතික ව්‍යාපාරයේ දෙවැනි අදියර පදනම් කරගෙන මෙරට උගත් ව්‍යාපාරික පන්තියේ දරුවන් අතට ජාතික නිදහස් ව්‍යාපාරය මාරුවිය.

මෙම ව්‍යාපාරය සඳහා ශක්තිය ලබා දුන්නේ ද විද්‍යොදය, විද්‍යාලංකර මහ පිරිවෙන්හි යතිවරයන් වහන්සේ ය. සමස්ත ජාතික නිදහස් ව්‍යාපාරය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ භික්ෂූන් වහන්සේගේ වෙසෙස් කාර්ය භාරයේ හා නිදහස අතර අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැති ආකාරයයි.

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]