[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංගුත්තර නිකායෙන් - 4:  නීවරණ ප්‍රහාණ වර්ගය

අංගුත්තර නිකායෙන් - 4: 

නීවරණ ප්‍රහාණ වර්ගය

සූත්‍ර අංක 11

කාමච්ඡන්දුප්පාද සූත්‍රය

1, 2, 1

සැවැත්නුවර දී

මහණෙනි, නූපන් කාමච්ඡන්ද (කාමාශාව) ඉපදීමටත්, උපන් කාමච්ඡන්දයන් වැඩිවීමටත් හේතුවන කරුණු අතර මේ සුබ නිමිත්ත (රාගය ඇතිකරන අරමුණක්) හා සමාන අන් එක ධර්මයකුදු මම නොදකිමි. සුබ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරන්නාට නූපන් කාමච්ඡන්දය උපදී. උපන් කාමච්ඡන්දය වැඩිවීමටත්, විපුලත්වයටත් පත්වන්නේ ය.

සූත්‍ර අංක 12

ව්‍යාපාදුප්පාද සූත්‍රය

1, 2, 2

මහණෙනි, නූපන් ව්‍යාපාදය (සිතෙහි නුරුස්සනාබව) ඇති කරන, උපන් ව්‍යාපාදය වැඩි කරන හේතු කරුණු අතර පටිඝ (ක්‍රෝධ) නිමිත්ත වැනි අන් එක දහමකුදු මම නොදකිමි. ක්‍රෝධ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරන්නාට නූපන්නා වූ ව්‍යාපාදය උපදී. උපන්නා වූ ව්‍යාපාදය වැඩිදියුණු වේ.

සූත්‍ර අංක 13

ථීන මිද්ධුප්පාද සූත්‍රය

1, 2, 3

මහණෙනි, යමක් හේතු කොටගෙන කුසල ධර්මයන්හි නොඇලීම, අලස බව, ඇඟමැලිකැඩීම, බත්මත, සිතෙහි හැකුළුණු බව යන මේ කරුණු නිසා නූපන් ථීනමිද්ධය (සිතෙහි හා කයෙහි අලස බව) උපදවීමටත්, උපන් ථීන මිද්ධය වැඩිවීමටත් යන මේ ගති බඳු අන් එක ධර්මයකුදු මම මගේ නුවණැසින් නොදකිමි. සිතේ හා කුසේ අලස බව ඇති, හැකුළුණු සිත් ඇත්තාට නූපන්නාවූ ථීන මිද්ධය උපදනේ ය. උපන්නා වූ ථීන මිද්ධය වැඩෙන්නේ ය. විපුලභාවය පිණිස පවත්නේ ය.

සූත්‍ර අංක - 14

උද්ධච්ච කුක්කුච්චුප්පාද සූත්‍රය

1, 2, 4

මහණෙනි, යම් සේ සිත්හි නොසංසිඳුණු බව නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය උපදී ද, උපන් උද්ධච්චකුක්කුච්චයක් වැඩිවීමටත්, දියුණුවීමටත් හේතුවන කරුණු අතර සිතෙහි නොසන්සුන් බව වැනි අන් එක දහම් කරුණකුදු මම නොදකිමි. නොසන්සුන් සිත් ඇත්තාට නූපන්නා වූ උද්ධච්ච කුක්කුච්චය උපදී. උපන්නා වූ උද්ධච්ච කුක්කුච්චය වැඩිවීමට, මහත්වීමට පත් වේ.

සූත්‍ර අංක - 15

විචිකිච්ඡුප්පාද සූත්‍රය

1, 2, 5

මහණෙනි, නූපන්නා වූ විචිකිච්ඡාව (බුද්ධාදි අටතැන්හි සැකය) ඉපදීමටත්, උපන්නා වූ විචිකිච්ඡාව වැඩිදියුණු වීමටත් හේතුවන කරුණු අතර නුනුවණින් මෙනෙහි කිරීම (අයොනිසොමනසිකාරය) වැනි එක් දහමකුදු මම නොදකිමි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාට, නූපන් විචිකිච්ඡාව උපදී. උපන්නා වූ විචිකිච්ඡාව වැඩිදියුණු වේ. විපුල භාවයට පත් වේ.

උපකාරක සදහම් පද

අටතැන සැකය

1. බුද්ධ රත්නය 2. ධම්ම රත්නය 3. සංඝ රත්නය 4. පෙර භවයක් තිබූ බව 5. මතු භවයක් ඇති බව 6. පෙර භව මතුභව දෙකම පිළිබඳ සැක කිරීම (සමහරු දෙකෙන් එකක් පිළිගනී) 7. ශික්ෂා පද රැකීමේ ආනිසංස පිළිබඳ සැකය හා පටිච්චසමුප්පන්න ධර්මතා පිළිබඳ සැකයයි.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]