[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක 2021.01.20

සත්පුරුෂයා

මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ඉතා අපහසු ය. ඒ මිනිසුන් අතර ද මිනිසත්කම හඳුනන්නෝ අතිශය දුර්ලභ ය. සමාජයක අයහපත රජයන්නේ, නොවිය යුතු දේ සිදුවන්නේ එසේ මිනිස්කම් සෝදාපාළුවට ගිය කල ය. මනුසත් ගුණ ඇත්තා සත්පුරුෂයෙකි. තථාගත දහම අපට මඟ පෙන්වන්නේ සත්පුරුෂයන් ලෙස ජීවත් වන්නට ය. ඒ තම උභයාර්ථ සාධනයට සේ ම, සමාජයේ යහ පැවැත්ම ද වෙනුවෙනි.

සත්පුරුෂ ගුණ ජීවිතයට පුරුදු පුහුණු කළ යුතු කුඩා වයසේ දී ම ය. උණ පුරුකේ දැම්මත් සුනඛයාගේ වලිගයේ ඇදය නොහැරිය හැකි සේ, වැඩිහිටියන් බවට පත් වූ පසු ගුණධර්ම හුරු පුරුදු කරවීම නම් ඉතා අසීරු ය. එහෙයින් මාර්ගෝපදේශකයන් ලෙස බාල පරපුරට මනා ආදර්ශයක් ලබා දෙමින් ඔවුන්ට හොඳ ගතිගුණ පුරුදු පුහුණු කරවන්නට ඇප කැපවීම අද දවසේ වැඩිහිටියන් තම යුතුකම ද, වගකීම ද කොට ගත යුතුම ය. තමන් වියපත් වූ දා නිසි ගෞරව සැලකිලි බලාපොරොත්තු විය හැක්කේ ද, තම දරුවන් සමාජයේ හොඳින් දිවි ගෙවනු දැකිය හැකි වන්නේ ද තමන් එවැනි පරපුරක් ගොඩනඟන්නට වෙර දැරුවේ නම් ම ය.

සත්පුරුෂයෙක් වන්නට නම් ඔහු සතු ගුණ හොඳින් දත යුතු ය. දරුවන්ට කියා දෙන්නට හැකි වන්නේත්, තමන්ට පුරුදු පුහුණු කළ හැකි වන්නේත් එවිට ය.

එමෙන් ම සත්පුරුෂ ගුණ නොහඳුනන තැන අපගේ ඇසුරට ලැබෙන අය තෝරා ගැනීම ද අසීරු ය. හොඳට නරකට දෙකට කට මෙන් ජීවිතය වරදින්නටත්, හරියන්නටත් පුද්ගල ඇසුර ප්‍රබල ය. අනෙක් අතට තමන් අසත්පුරුෂයෙක් නම්, තමන්ට එවැන්නෙක් හඳුනා ගන්නට නොහැකි ය. සත්පුරුෂයෙක් හඳුනා ගන්නට ද නොහැකි ය. අසත්පුරුෂ බව වඩාත් භයානක වන්නේ එහෙයිනි. එහෙත් යහපත් පුද්ගලයාට මේ දෙදෙනා ම තෝරා බේරා ගන්නට හැකියාව ඇත.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේට දේශනා කොට වදාළේ යම් පුද්ගලයෙක් ගුණධර්ම සතක් පිළිපදියි නම්, දෙව්ලොව දෙවියන් පවා ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් ලෙස හඳුන්වන බව ය.

එතැනින් ද නොනැවතී මතු ශක්‍ර පදවිය හොබවන්නට හැකි වන බව ය. ඒ ජීවිතාන්තය තෙක් මව්පියන් පෝෂණය කිරීම, කුල දෙටුවන් පිදීම, මුදු මොළොක් වදනින් කතා කිරීම, කේළාම් නොකීම, මසුරුකම දුරලා පරිත්‍යගශීලිවීම, දන්දීම, සත්‍ය වචනම කතා කිරීම, කිසිවකුට ක්‍රෝධ නොකර සිටීම යන ගුණධර්ම ය.

අද අප සමාජ ජීවිතයේ පමණක් නොව පවුල තුළ ද මුහුණ දෙන බොහෝ ප්‍රශ්න, ගැටුම් මේ ගුණධර්ම පිරිහීම නිසා ම වන බව අවබෝධ කර ගැනීම අසීරු නැත.

සත් පුරුෂයා පස්පව් කරන්නේ නැත. පරුෂ වචන, හිස් වචන කියන්නේ නැත. අධික ලෝභයෙන් , වෛරී සිතිවිලිවලින් අගතියට යන්නේ නැත. මිථ්‍යාදෘෂ්ඨියක් නැත. දස අකුසල් කරන්නේ ද නැත.

පවෙහි ලජ්ජා බිය හඳුනන ඔහු තෙරුවන් ගුණ දැන පැහැදුණු සිතින් ජීවිතය මුළාවෙන් තොරව ගත කරයි.

බෞද්ධයන් ලෙස අපට ජීවිත ආලෝකවත් කරගන්නට අගනා සදූප දේශ ඕනෑ තරම් ශ්‍රී සද්ධර්මය තුළ අන්තර්ගත ය. විෂම සමාජයක වුව ද, ලැබූ මනුෂ්‍ය ජීවිතය අයාලේ නොයවා මිනිසත් ගුණ ඇති කර ගන්නට මේ ජීවිතය සේ ම මතු බවය ද සුවපත් කරගන්නට ඒ දහම් මඟ මහෝපකාරී වේ. අවශ්‍ය වන්නේ ඊට උනන්දුව හා ඕනෑකම පමණි. එවිට සත්පුරුෂ යන උතුම් නාමය ඇතිව සමාජයේ බැබළෙන ජීවිතයක් ගත කිරීම අසීරු නැත. තමන් හඳුනාගෙන, දුර්වලතා මඟහැර යහපත් පුද්ගලයකු ලෙස ජීවත් වන්නට මේ මොහොත ද ප්‍රමාණවත් ය.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]