[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හය හතර දැන ගන්න යහපතට මුල්තැන දෙන්න

හය හතර දැන ගන්න යහපතට මුල්තැන දෙන්න

" කිලිටි වූ සිතින් යමක් කියයි ද, කරයි ද ඒ හේතුවෙන් හටගත් දුක් එම පුද්ගලයා ලුහුබැඳ එයි. 'චිරි චිරි' යන අමිහිරි හඬ නඟමින් යන කරත්ත රෝදය ගොනාගේ පාද අනුව ගමන් කරන්නාක් මෙනි."

හොඳ – නරක කුමක් දැයි තෝරා බේරා ගැනීමට බුදුසමයෙන් ලැබෙන පණිවිඩය ජීවිත අභිවෘද්ධියට බෙහෙවින් උපකාරි වෙයි. මේ සඳහා පර්යාය යෙදුම් රාශියක් බෞද්ධ පාලි සාහිත්‍යයේ දී දක්නට ලැබේ.

පින් – පව්, කුසල් – අකුසල්, සම්මාජීව– මිච්ඡාජීව , සුචරිත – දුශ්චරිත . ආර්ය – අනාර්ය, ධම්මචරියා – අධම්මචරියා, සමචරියා – විෂම චරියා , යහපත් – අයහපත් , ඉන් කිහිපයකි.

පාලි සාහිත්‍යයේ ද කුසල් - අකුසල් යන වචනයේ දක්ෂ, කාර්යක්ෂම , යහපත්, හැකි, යන අර්ථ ද, අකුසලයෙහි අදක්ෂ නොහැකි, අයහපත් යන අර්ථයෙන් ද යෙදී ඇත. හොඳ – නරක බෙදා වෙන්කර ගැනීමට පදනමක් සොයා ත්‍රිපිටකාගත සූත්‍ර ධර්ම පරිශීලනය කිරීම වැදගත් ය. එවැනි අවස්ථා කීපයක් වෙත සිත යොමු කරමු.

කාලාම සූත්‍රය ( අංගුත්තර නිකාය)

කාලාමයෙනි, ඔබට මවිසින් කියන ලද නම් එය ඔබ වාර්තාව පදනම් කර ගෙන නොපිළිගත යුතු ය. පාරම්පරික විශ්වාසය උඩ හෝ, “මෙසේ පෙර කියා තිබේ” කියා හෝ නොපිළිගත යුතු ය.

පොතපතෙහි එන නිසා හෝ තර්කයට ගැළපෙන නිසා හෝ න්‍යායට ගැළපෙන නිසා හෝ, නොපිළිගත යුතු ය. කල්පනාවට අනුරූප නිසා හෝ දෘෂ්ටියට ගැළපෙන නිසා හෝ, එය හොඳ යැයි පෙනෙන නිසා හෝ අපගේ ගුරුතුමන් විසින් කියන ලද ය කියා හෝ නොපිළිගත යුතු ය. මෙය කුසල් ය, මෙය නිවැරැදි ය මෙය පිළිගත් විට සුබ සිද්ධිය හා යහපත පිණිස පවතී කියා හෝ ඔබට ම වැටහේ නම් පමණක් එය පිළිගන්න”

ලෝක සම්මතයේ පවතින හොඳ – නරක පිළිබඳ ව බුදුරදුන් කිසි කෙනෙකුගේ මතයේ එල්ලී නො සිටි බව කාලාමයන්ට දෙසූ උපදේශයෙන් පෙනේ. මනා විමසීමකින් යුතු ව තම හෘදය සාක්ෂියට එකඟව යමක් තීරණය කළ යුතු බවත්, එහි තීරකයා තමා ම බවත් පෙන්වා දුන්හ.

ඒ ඒ ක්‍රියාවන් තුළින් ලැබෙන කර්මානුරූප ප්‍රතිඵල විඳින්නේ ද තමා විසින් ම ය.

“කාලාමයෙනි,ලෝභී වූ පුද්ගලයා ලෝභයෙන් යටපත්ව ලෝභයෙන් වෙලුනු සිත් ඇති ව පරපණ නසයි. හොරකම් කරයි. පරදාර සේවනයේ යෙදෙයි. බොරු කියයි. අනුන්ලවා එම ක්‍රියා කරවීමට අනුබල දෙයි. එය දිගුකල් අහිත පිණිස වෙයි. දුක් පිණිස වෙයි”.

යම් කෙනකු කරන ක්‍රියාවන්ගේ හොඳ නරක මනිනු ලබන්නේ ක්‍රියාවට මුල්වන මානසික ලක්ෂණ අනුව ය. ලෝභය, ද්වේෂය , මෝහය යන අකුසල චේතනා අකුසල් ක්‍රියා සඳහා මුල් වන්නේ ය. එම අවස්ථාවේ දී අකුසල් කර්ම සිදුවේ. ඒවා සසර අඳුරු කිරීම පිණිස, අහිත පිණිස හේතුවෙයි. අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල් චේතනා මුල්වී කුසල කර්ම සිදුවේ. මේ අනුව යම්කිසි ක්‍රියාවක් යහපත් ද, අයහපත් ද යැයි තීරණය කිරීම සඳහා එම ක්‍රියාව කිරීමට මුල්වූ මානසික ස්වභාවය පිළිබඳ සොයා බැලිය යුතු ය. එයට කදිම නිදසුනක් ධම්මපදයේ යමක වග්ගයෙන් උගන්වයි.

කිලිටි වූ සිතින් යමක් කියයි ද, කරයි ද ඒ හේතුවෙන් හටගත් දුක් එම පුද්ගලයා ලුහුබැඳ එයි. “චිරි චිරි’ යන අමිහිරි හඬ නඟමින් යන කරත්ත රෝදය ගොනාගේ පාද අනුව ගමන් කරන්නාක් මෙනි.

පැහැදුණු සිතින් කරන ක්‍රියා හේතුවෙන් හටගත් සුවය ඒ පුද්ගලයා අනුව ම යයි. ශරීරය අත නොහැර යන සෙවනැල්ල මෙනි. හොඳ නරක තේරුම් ගෙන, නරක දේ අතහැර, යහපත් දේ සිදුකිරීම බෞද්ධ සිද්ධාන්තයයි.

රාහුලෝවාද සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)

හොඳ – නරක තීරණය කිරීමට තවත් බෞද්ධ ඉගැන්වීමක් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙන් ඉස්මතු කරයි.

“රාහුලය, ඔබ කුමක් සිතන්නෙහි ද? කැටපතෙහි ඇති ප්‍රයෝජනය කුමක් ද?

“ස්වාමීනි ප්‍රත්‍යවේක්ෂණයට යි”

ඒ අයුරින් සෑම ක්‍රියාවක් කරන විට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණය කළ යුතු ය. ඔබට යමක් කිරීමට වුවමනා වූ විට, එය තමාටත් අනුන්ටත් අහිත පිණිස, දුක් පිණිස, විපත් පිණිස හේතුවේදැයි ප්‍රත්‍යවේක්ෂා කර ඉන් වැටහේ නම් ඒ දේ නොකළ යුතු ය. එහෙත් ප්‍රත්‍යවේක්ෂණයෙන් එය දුක් පිණිස නොව සැප පිණිස පවතී යැයි ස්ථිරව හැඟේ නම්, එය කළාට වරදක් නැත”

නැවත නැවත සිතා බලා කටයුතු කිරීම යහපත් ප්‍රතිඵල ගෙන දෙයි.

තම හෘදයට එබී බලා එම සාක්ෂියට එකඟව හොඳ හෝ නරක තීරණය කිරීම බුදුසමය එකඟ වෙයි. අනුමත කරයි.

මිනිසාගේ ගමන් මඟ තුළ අධාර්මික හැසිරීම් වලින් වෙන්කර ධාර්මික හැසිරීම් පවත්වා ගැනීමට ශක්තියක් හෝ පෙළඹවීමක් අවශ්‍ය ය. පුද්ගලාභ්‍යන්තරයේ හටගන්නා සිතුවිලි ධාර්මික හෝ අධාර්මික වීමට පෙළඹවීමෙන් දෙන පණිවුඩය වැදගත් වන්නේ ය. අභ්‍යන්තර පෙළඹවීම් අතර පළමුවැන්න වන්නේ අනෙක් පුද්ගලයන්ගේ ආකල්ප තුළින් තමන් ගැන අනුමාන කිරීමයි.

මහණෙනි, මෙසේ තමා ගැන අනුමාන කළ යුතු ය. යම් පුද්ගලයෙක් පවිටු වූයේ නම්, පාපී සිතිවිලිවලට වසඟ වූයේ නම්, එම පුද්ගලයා මට අපි‍්‍රය ය. මමද පාපී වූයේ නම් පාපී සිතුවිලිවලට වසඟ වූයේ නම් අනෙක් පුද්ගලයින්ට මා ද අපි‍්‍රය වේ. අමනාප වේ. සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් තමාට පි‍්‍රයමනාප නො වන බව කල්පනා කොට එවැනි නරක හැසිරීම් තමා ද කළහොත්, තමාද අනෙක් අයට අපි‍්‍රය, අමනාප වන්නේය යැයි වැළකීමයි.

සමාජයේ තවත් සාමාජිකයෙක් වන තමාම උපමා කරගෙන නො කළ යුතු දේ, හළ යුතු දේ තීරණය කිරීම දෙවැන්නෙන් උගන්වයි. වේළුද්වාර සූත්‍රයේ මෙය අත්තූපනායික ධර්ම පර්යාය ලෙස විස්තර කර දෙයි. තමා අකුසලයෙන් වෙන්වීම, අන්‍යයන්, අකුසලයෙන් වළක්වා ගැනීම හා අකුසල්වලින් වැළකී සිටීමේ ගුණ වර්ණනා කිරීම කුසල්වලට යොමුවීම පැහැදිලි කරයි.

සමාජ සම්මතයේ පවතින හොඳ – නරක දැන ඉගෙනීම බුද්ධ ශ්‍රාවකයාගේ වගකීමයි. සසර අඳුරු කර නොගෙන ආලෝකය ළඟා කර දෙන හොඳ – නරක හඳුනාගත් අය හය, හතර නිරායාශයෙන් ම හඳුනා ගනිති.

එනම් සුගති මාර්ගය හා දුගති මාර්ගය යි. “හය” යන සැප සම්පත් කරා ගමන් කරවීමයි. සදිව්‍ය ලෝකයයි. ‘හතර’ යනු ‘දුක්’ ලැබීමේ මඟයි. එනම් හතර අපායයි. මේ දෙක තේරුම් ගැනීමට බෞද්ධ ළමයාට කුඩා කල සිටම ප්‍රායෝගිකවත් න්‍යායිකවත් කියාදීම අප කාගේත් යුතුකම ය. එය අකුසලයෙන් තොර මානසික පදනමක් වී කුසලයට බර සමාජ හිතෛෂී පුද්ගලයෙක් බිහි කිරීමට හේතුවන්නේ ය.

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]