[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2020.12.21

නුවණැස නැති තැන...

තමන්ට තමන් පි‍්‍රය නොවන කෙනෙක් වේ නම්, ඒ අල්පමාත්‍ර ය. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ ම තමන්ට තමන් පි‍්‍රය වීම ය. ආදරය කිරීම ය. තමන්ගේ රැකවරණය සලසා ගැනීම ය. උපන් දා සිට මිය යන තුරුම අප උත්සාහ කරන්නේ ඒ අරමුණ ඉටු කරගන්නට ය. ඒ ධර්මතාව සියල්ලන්ට පොදු වුව ද ඒ වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාදාමය එකිනෙකාට වෙනස් ය.

කෙනෙක් පරමාර්ථ වෙත ළඟා වන්නේ තමන්ගේ මෙන් ම අනුන්ගේ ද හිත සුව පිණස වන ලෙස ය. අවැඩක්, අනර්ථයක් නොවන ලෙස ය. තවත් කෙනෙකුගේ මාර්ගය ඊට වෙනස් ය. ඔවුන් ස්වාර්ථය සලසා ගන්නේ තමන්ට හිත වුව ද අනුන්ට අහිත වන ලෙස ය. එහෙත් එතැන දී ඔහු මුළා වී ඇති බව නම් කිව මනා ය. අනුන් පෙළීමේ නරක ආදීනව ඔහු පසුපස ම පැමිණෙන බැවිනි. උඩු සුළඟෙහි දැමූ දුහුවිලි නැවත තමන් වෙතට ම පැමිණෙන්නා සේ ම ය.

කෙසේ වුවද කෙනෙක් තමන්ගේ හිත සුව සලකා අන්‍යයන්ට කුමක් වුව ද කම් නැතැයි කටයුතු කිරීම දහමට සපුරා පටහැනි ය.

අපගේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට වදාළේ තමන්ට තමන් පි‍්‍රය නම් තමන්ගේ ආත්මය රැකගත යුතු බව ය. නුවණැති පුද්ගලයා බාලවිය, මැදුම් විය සහ මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක දී හෝ තමන් රැකගනු පිණිස දහමට සිත යොමු කරන බව උන්වහන්සේ ධම්මපදයේ දී දේශනා කොට වදාළහ.

ඒ රැකවරණය සලසා ගත යුතු ආකාරය ශ්‍රී සද්ධර්මය තුළ මනාව දේශිත ය. ඒ වැරැදි දේ නොකිරීමෙනි. පාපයෙහි ලජ්ජා බිය ඇති කර ගැනීමෙනි. හොඳ නරක විමසා ජීවිතයෙන් නරක බැහැර කිරීමෙනි. පින් කුසල් රැස් කිරීමෙනි. ජීවිතයේ එක් සන්ධිස්ථානයක දී හෝ එය සපුරා ගැනීමට උත්සාහ නොකරන්නා අනුවණයෙකි.

මේ ලොව මිනිසුන් බොහෝ ය. එහෙත් මිනිසත් ගුණ ඇත්තෝ අල්ප ය. ඒ මිනිසත් ගුණ වර්ධනය කරන්නට බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය තුළ අපට අපූර්ව මඟ පෙන්වීමක් සිදු කළහ.

මනුෂ්‍යයෙක් ලෙස යහපත් ව ජීවත් වන්නට උන්වහන්සේ ගිහියා ට පංචසීල ප්‍රතිපදාව හඳුන්වා දුන්හ. සිල්වතකු වන ගිහියාට ඒ සීලය ආරක්ෂා කරගත හැකිවන ලෙස ජීවනෝපාය මාර්ග අනුදැන වදාළහ. නොකළ යුතු වෙළෙඳාම අවධාරණය කළහ.

සිඟාලෝවාද සූත්‍රය තුළ උන්වහන්සේ පෙන්වා වදාළ යුතුකම්, වගකීම් පුද්ගල දියුණූව සේ ම සමාජයේ සතුට, දියුණුව රඳා පවතින සදූපදේශයන් ය.

ලාබ –අලාබ ආදී අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවීම නොවැළැක්විය හැකි ය. ඒ දහම ඉදිරියේ නොසැළී, නොවැටී සිටින්නට උන්වහන්සේ මඟ පෙන්වා දුන්හ. අටලෝ දහමට මැදහත් සිතින් මුහුණ දෙන්නට නොහැකි පුද්ගලයා ගේ ජීවිතය අසමබරය. දුෂ්කර අවස්ථාවන් හි කළ යුතු දෙය, නොකළ යුතු දෙය තෝරා ගත නොහැකි ය. අනර්ථකාරි දෙයට, අයහපතට සිත යොමු වන්නේ බොහෝවිට එවැනි අවස්ථාවන් හි ය. බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වූයේ ඒ අන්ධකාරයෙන් ආලෝකය දකින්නට ය.

අංගුත්තර නිකායේ පුග්ගල වග්ගයේ දී උන්වහන්සේ පුද්ගලයින් තිදෙනෙක් පිළිබඳව දේශනා කළහ. ඉන් එක් පුද්ගලයෙක් අන්ධ ය. ඔහුට භෞතික දියුණුව සලසා ගැනීමට නුවණ නම් වූ ඇස් නැත.

එසේම කුසල් අකුසල්, හොඳ, නරක, වැරැදි නිවැරැදි වෙන්කොට දැන ගැනීමට නුවණැස නැත. අන්ධ පුද්ගලයා නම් ඔහු ය.

එහි සඳහන් තවත් පුද්ගලයෙක් වන්නේ දෑසම පෙනෙන්නා ය. හේ දැහැමෙන් ලද භෝගයෙන් යුතු ය. මනස නිරවුල් ය. උට්ඨාන වීර්යයෙන් යුතු ය. මනස නිරවුල් ය. හොඳ නරක හඳුනන්නේ ය. සෝක නොකරන්නේ ය. යහපත් තැනට ළඟා වන්නේ ය. ඔහු දෑස ම පෙනෙන්නා ය.

දෑස තිබුණ ද අන්ධයින් ලෙස ජීවත්වනවා ද, නුවණැස නම් වූ ඇස පාදාගෙන ආලෝකය දකිනවා ද යන තීරණය ගත යුතු ද තමන් විසින් ම ය.

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]