[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

යටවර ශ්‍රී පුඤ්ඤරතන නා හිමි

ඓතිහාසික කන්තලේ අග්‍රබෝධි මහ පිරිවෙන් වෙළුන්නා රාජමහා විහාරය ඇතුළු විහාර ගනයේ අධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ව වැඩ විසූ යටවර ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන් සම්බුදු සසුනෙහි උන්නතිය වෙනුවෙන් තම පැවිදි ජීවිතය කැප කළ යතිවරයන් වහන්සේ නමකි.

ඓතිහාසික සෙංකඩගල පුවරයෙහි පාතදුම්බර මිටියාවතෙහි වත්තේගම පහළ යටවර නම් වූ සුන්දර ගම් පියසෙහි වර්ෂ 1967.08.03 වන දින සම්භාවනීය කුල පරම්පරාවක කේ.ඒ.පොඩි නෝනා, ජී.ඇල්. පුංචි අප්පුහාමි යන දම්පතීන්ට දාව මෙලොව උපත ලදහ.

ඉන්පසු වර්ෂ 1982.03.31 වන දින ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරය ඇතුළු විහාර ඝණයේ අධිපති ව වැඩ විසූ මධ්‍යම, උතුරු නැගෙනහිර පළාත්හි ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මින් ද නාහිමි හා ත්‍රිකුණාමලය තමන්කඩුව ප්‍රධාන සංඝනායක ව වැඩ විසූ කිතුල්ගොල්ලේ ජිනානන්ද නාහිමිවරුන් සෙවනෙහි යටවර ශ්‍රී ඛෙත්තාරමයේ දී යටවර පුඤ්ඤරතන නමින් පැවිදි බිමට පත් විය.

පැවිද්දෙන් පස් වසක් පමණ සාමණේර ජීවිතයක් ගත කළ උන්වහන්සේ පැවිදි දිවි මඟ සරු කරන්නට අවැසි බණ දහමින් පෝෂණය ලැබ වර්ෂ 1987 ජූලි 01 වන දින මින්නේරි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උතුම් උපසම්පදාව ලැබූහ.

තම ගුරු දේවයන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් නැඟෙනහිර පළාතට වැඩම කළ පුඤ්ඤරතන නාහිමියන් කන්තලේ 94 ශ්‍රී ශෛලාරාම විහාරය කේන්ද්‍ර කර ගනිමින් තම ආගමික සේවාව සිදු කරන්නට විය.

එහි දී උන්වහන්සේ එදා රුදුරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය වෙමින් පැවති කන්තලේ ප්‍රදේශය තුළ නොබිය ව ආත්ම ධෛර්යයෙන් යුතුව තම දායකයන් වෙනුවෙන් යුතුකම් නොපිරිහෙලා ඉටු කළහ. උන්වහන්සේ තම දායකයන්ගේ කටයුතු සිදු කළා පමණක් නොව ප්‍රදේශයේ ජාතික, ආගමික කටයුතු කෙරෙහි ද කැප වීමෙන් කටයුතු කරන්නනට විය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය, ත්‍රිකුණාමල දිසා ලේඛකාධිකාරී ධූරය හොබවමින් උන්වහන්සේ නැඟෙනහිර පළාත තුළ කළ සේවය අපමණ ය. උන්වහන්සේ අපවත් වන තුරුම කන්තලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති ධුරය හොබවමින් ප්‍රදේශයේ කටයුතුවලට නායකත්වය දෙන ලදී. එමෙන් ම ලෝක තරුණ භික්ෂු සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සභාපතිකම ද උන්වහන්සේ විසින් දැරූහ.

කන්තලේ අග්‍රබෝධි මහ පිරිවෙන් වෙළුන්නා රාජමහා විහාරය කේන්ද්‍ර කරගෙන වාර්ෂික ව පවත්වනු ලබන මිහිඳු මහා පෙරහර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ මහා සංස්කෘතික මංගල්‍යයක් බවට පත් කරන්නට උන්වහන්සේගේ නායකත්වය පුදුම සහගත විය.

දනට, පිරිතට, බණට වැඩි සෑම මොහොතක ම උන්වහන්සේගේ සුමධුර වාග් විලාසය සිත් ඇද ගන්නා සුළු ය. එමෙන්ම උන් වහන්සේගේ ශාසනික, ආගමික කටයුතු තව තවත් ඉදිරියට කර ගෙන යෑමට සුදුසු දැන උගත් භික්ෂූන් වහන්සේලා රාශියක් බිහි කරන්නට විය.

උන්වහන්සේ කළ උදාර ශාසනික සේවාවට උපහාරයක් වශයෙන් උඩරට අමරපුර මහා නිකාය මඟින් 2006.12.06 වන දින සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මින්ද වංශාවංශ යන ගෞරව නාමය සහිතව උතුරු නැඟෙනහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත.

මෙසේ උදාරතර ශාසනික සේවාවන් සිදු කළ නාහිමියන් පසුගිය ජූලි මස 25 වන දින අපවත් වී වදාළහ. අතිපූජ්‍ය යටවර ශ්‍රී පුඤ්ඤරතන නා හිමියනි ඔබ වහන්සේ මෙතේ බුදුන් දැක නිවන් පසක් කොට ගනිත්වා.

****

වේරගොඩ ශ්‍රී කස්සප නා හිමි

හික්කඩුව, පතන ශ්‍රී ධර්මාරාම විහාරය, දළුවතුමුල්ල ශ්‍රී බෝධිමළු විහාරය යන උභය විහාරාධිපති, මල්වතු පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්ය, ගෝනාපීනුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක, ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ මේධංකර, ශාසන විභූෂණ පරියත්ති විශාරද ත්‍රිපිටකාචාර්ය වේරගොඩ කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය පැවිදි දිවියේ හතළිස් දෙවන වියට පා තැබූහ.

දක්ෂිණ ලංකාවේ ගාලු දිසාවේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ට අයත් මීටියාගොඩ, වේරගොඩ ග්‍රමයේ කෝරළේ වත්ත නිවසේ විසූ වැලිවිටිය කංකානම්ගේ චන්ද්‍රසේන මහතාට සහ සුජීවත් ව සිටින ගුණසිංහ ආරච්චි කුසුමාවතී මහත්මිය යන දෙමව්පියන් ට දාව 1978 නොවැම්බර් මස 18 වන දින උපත ලද පින්වත් කුමරු මාපිය සෙනෙහස හා දයාව ඇසුරෙහි වැඩෙන අතර සුදුසු කල අධ්‍යාපනය සඳහා වේරගොඩ විජයබා මහා විද්‍යාලය ට ඇතුළත් විය.

පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම පැවිද්ද ට ආශා කළ කුමරු කරුවලබැද්ද ශ්‍රී සුමනාරාමය වෙත මාපියන් විසින් බාර කරන ලදී. පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් වත් පිළිවෙත් ඉගෙන තත් විහාරාධිපති ව වැඩ විසූ ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක, සද්ධම්මවාචිස්සර සිරි වජිරඤාණ වේරගොඩ ශ්‍රී අමරවංස නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1992 ජූලි මස 13 වන දින පැවිදි දිවියට ඇතුළත් විය.

තෙල් වත්ත තොටගමු විජය බා පිරිවෙන, මීටියාගොඩ ශ්‍රී පුෂ්පාරාම මහ පිරිවෙන යන විද්‍යාස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය සරුකරගත් උන්වහන්සේ උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් 1999 ජූනි මස 16 වන දින කරුවල බැද්ද ශ්‍රී සුමනාරාමාධිපති ව වැඩ විසූ ගාලු වැල්ලබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ අමරවංස නාහිමියන්ගේ සහ වේරගොඩ ශ්‍රී ජයන්ති විහාරාධිපති ව වැඩ විසූ ගාලු වැල්ලබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක, වේරගොඩ ගුණානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ.

දළුවතුමුල්ල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපතිධූරයට 2000 වසරේ පත්වන උන්වහන්සේ 2004 වසරේ දී ශ්‍රී සරණංකර නමින් දහම් පාසලක් ද ආරම්භ කරන ලදී. 2004 නොවැම්බර් මස 16 වන දින අධිකරණ අමාත්‍යාංශය මඟින් ගාලු දිසාවට බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියට ද පත් විය.

ධර්ම කීර්ති ශ්‍රී අමරවංස යන ගෞරව නාමය සහිතව මල්වතු පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්ය පදවියට ද පත් වන අතර 2005 සැප්තැම්බර් 10 වන දින පතන ශ්‍රී ධර්මාරාමයේ විහාරාධිපති ධූරයට පත් වීමට ද අවස්ථාව ලැබුණේ ය.

එවකට අරාජිකව පැවති පතන ශ්‍රී සරණංකර දහම් පාසල ආරම්භ කරමින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා කැප වූ උන්වහන්සේ 2008 වසරේ සිට මේ දක්වා ගෝනාපීනුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය දරමින් කටයුතු කරයි.

උන්වහන්සේ වෙත 2016 පෙබරවාරි මස 18 වන දින මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ මේධංකර යන ගෞරව නාමය සහිතව ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය කරන ලදී.

ජාතික, ආගමික ශාසනික වශයෙන් වටිනා සේවාවක නිරත වෙමින් මහා විහාර සම්ප්‍රදායයන්ට අනුගතව පරෝපවාද රහිත භික්ෂු ජීවිතයක් ගත කරන වේරගොඩ ශ්‍රී කස්සපාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් සසුනඹර වැඩ වඩන්නට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]