[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 26 කොටස: පදුමකිත්ති හිමියෝ කොටි සංවිධානයට කොන්දේසි පනවති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 26 කොටස:

පදුමකිත්ති හිමියෝ කොටි සංවිධානයට කොන්දේසි පනවති

අනුරාධපුරයට වැඩම කර නාගදීප විහාරස්ථානයට ත්‍රිරෝද රථයක් මිලට ගත් පදුමකිත්ති හිමියන්ට ඕමන්තෙ කොටි සංවිධානයේ මුරපොළේ දී ත්‍රීරෝද රථයට රුපියල් 17,500ක බද්දක් නියම කරන ලදී. කොටි සංවිධානයට සේවය කරන සිංහල සේවකයෙක් එම බද්ද නියම කිරීම ගැන උරණ වී බහින් බස් වූ උන් වහන්සේට නා හිමියන්ගේ ඔවදන් සිහියට නැඟුණි.

‘උන් එක්ක පැටලෙන්න යන්න එපා කියන ගාණක් දීල එන්න‘ පදුමකිත්ති හිමියෝ වහා තම ගමන් මල්ලට අත පෙවූහ. රුපියල් 1000 කොල 17ක් සහ 100 කොල 5ක් අතට ගත් පදුමකිත්ති හිමියෝ එය මිට මොළවා සිංහල සේවකයා ළගට වැඩියහ.

උන් වහන්සේ නෝට්ටු මිටියෙන් ඔහුගේ මුහුණට දමා ගැසූහ. එල්ටීටීඊ සන්නද්ධයා ඒ දෙස කෝපයෙන් බලා සිටියේ ය. ඔහු සිංහල සේවකයා දෙසට හැරී,

‘‘මෙතන තියෙන්නෙ අපේ නීතිය, ඒක කාටත් එකයි කියපන්‘‘ යැයි දෙමළෙන් කීවේ ය. දෙමළ භාෂාව හොඳීන් දත් පදුමකිත්ති හිමියෝ කිසිත් නොදොඩා ත්‍රීරෝද රියට නැඟුණේ නාහිමියන්ගේ අවවාදය යළි සිහි ගැන්වුණු නිසා ය.

උන් වහන්සේ දැඩි සේ කෝප වූයේ ගෙවීමට සිදු වූ බදු මුදල ගැන නොව සිංහල බෞද්ධයන්ට විඳින්නට සිදුව ඇති ගැහැට පිළිබඳව ය. සාම ගිවිසුම යනු උතුරේ කොටි සංවිධානයට අවශ්‍ය ලෙසින් නීතිය සකස් කර ගන්නට හදා දුන් ලියවිල්ලක් බව උන් වහන්සේට වැටහුණි.

ඊට අමතරව ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ලෙසින් බංකර තනා ගැනීමටත්, ආයුධ මිලදී ගැනීමටත්, රිසි සේ සැරිසරමින් හමුදා කඳවුරු නිරීක්ෂණය කිරීමටත් අවකාශ සැලසුණි. එපමණක් නොව හමුදා නිලධාරීන් පිළිබඳ විස්තර සෙවීමට ද ඔවුනට පහසුවක් ඇති වුණී.

ත්‍රිරෝද රථය විහාරයට ගෙනා පසු නාගදීප නාහිමියන්ගේ එහි පළමු ගමන වූයේ රාමචන්ද්‍රන් මුදලාලිගේ නිවස ය. දූපතේ සිටින සියලුම වැසියන්ගේ නිවාසවලට පවා යන්නට නාහිමියෝ කටයුතු කළහ. නාහිමියන්ගේ සතුට පදුමකිත්ති හිමියන්ගේ ද සතුට විය.

සාම ගිවිසුම නිසා ඇතිව තිබෙන දුක් ගැහැට ගැන පදුමකිත්ති හිමියන් නා හිමියන්ට පැවසුව ද නා හිමියන්ට ද කරන්නට කිසිවක් නොවුණි. ඒ පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනගේ රජයට දැනුම් දීමෙන් පලක් නොවන බව උන් වහන්සේ දැන සිටියහ.

යුද්ධය ආරම්භ වී වසර 5ක පමණ කාලයක් ගත වුව ද එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට නාගදීප දූපතට පැමිණීමට නොහැකි විය. එහෙත් සාම ගිවිසුම නිසා ආයුධ සහිතව ම ඔවුන්ට නාගදීප දූපතට එන්නට හැකි විය. එමෙන්ම ඔවුන් දූපතේ හතර වටේම සැරි සරන්නට ද විය. එපමණක් නොව ඔවුන් දුපතේ ඈත ස්ථාන කිහිපයක කඳවුරු බැදගෙන සිටි බවක් ද පදුමකිත්ති හිමියන්ට සැළ විය. උන් වහන්සේ ඒ ගැන සොය බැලූ විට එය සත්‍යයක් බව දූපත්වාසීහු පැවසූහ.

එසේ නාගදීප දූපතට පැමිණ සිටි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් නාගදීප විහාරස්ථානයට හා එහි නාවික හමුදා කඳවුරට හැරෙන්නට අන් සෑම තැනකම දිනපතාම කරක් ගසන්නට විය.

එක් දිනක සවස් වරුවේ කොටි සංවිධානයේ සාමාජිකයන් කිහිප දෙනෙක් නාගදීප විහාරස්ථානයට ද පැමිණියහ. ඔවුන් අවි ආයුධ ගෙන පැමිණෙන්නට උත්සාහ කරනු දුටු පදුමකිත්ති හිමියෝ ඔවුන් පැමිණි ගමන් මඟ ඇහිරවූහ.

‘‘කොහේද යන්නෙ‘‘ පදුමකිත්ති හිමියෝ මඟ අවුරමින් ඇසූහ.

‘‘ඇයි අපි මේ පන්සලට ආවා, දැන් සාම ගිවිසුම නිසා ඕන තැනක යන්න පුළුවන්නෙ, සාමි දන්නවනේ‘‘.

‘‘යන්න පුළුවන්, හැබැයි පන්සලට කිසිම ආයුධයක් ගේන්න බැහැ, ‘‘

‘‘මේව අපේ ආරක්ෂාවට‘‘ ඔවුහු පැවසූහ.

‘‘පන්සලේ තමුන්ලට කරදර කරන්න කවරුත් නැහැ. කොහොම වුණත් පන්සලට කිසිම ආයුධයක් ගේන්න බැහැ, කියපු දේ තේරුණානෙ‘‘ පදුමකිත්ති හිමියෝ දෙමළ බසින් ද කීහ.

එල්ටීටීඊ සන්නද්ධ කිහිප දෙනා ස්වල්ප වෙලාවක් මුහුණට මුහුණ බලා ගත්හ.

‘‘කැමැති කෙනකුට එන්න පුළුවන්, ආයුධ එළියෙන් තියල, ඕන නම් එක්කෙනෙක් එළියෙ ඉඳල ආයුධ ටික බලාගන්න එකයි ඇත්තෙ‘‘

ඒ වනතෙක් උතුරේ හමුදා කඳවුරකට හැර අනිත් සියලු ස්ථානයන්ට අවිආයුධ හා ගිනි අවි රැගෙන ගිය ත්‍රස්තවාදීන් සාම ගිවිසුමෙන් පසු පළමු වරට අවි ආයුධ නොමැතිව එසේ නාගදීප විහාරස්ථානයට ඇතුළු විය.

එක් අයෙක් එළියේ සිට අවිආයුධ බලා ගන්නට විය. වෙනත් තැන්වලට පැමිණ සපත්තු අඩි හඬ නංවමින් යන කොටි සංවිධානය පන්සලට පැමිණ සෙමෙන් ආපසු ගියේ අමුත්තන්ගේ පොතේ සටහනක් ද තබමිනි. ගමන් කෙළේ ද ඉතා සෙමෙනි.

නාගදීපයේ කෙළවරේ නවාතැන් ගෙන සිටි ත්‍රස්තවාදීහු සෑම විට ම නාගදීපයේ වතුවල පොල් කඩා ගත්තේ ය. නාගදීප වැසියන්ගේ එළුවන් හා කුකුළන් අල්ලා පණ පිටින් පුළුස්සා ආහාරයට ගත්හ. ඒ ඔවුන්ගේ පහත් ක්‍රියාවන් ය. ඒ පැමිණිලි පවා ආවේ නායක හිමියන්ට ය. ඒ ගැන කියන්නට අසනීප තත්ත්වයෙන් සිටි රාමචන්ද්‍රන් මුදලාලි ඇතුළු පිරිසක් නාහිමියන් හමුවූහ.

නායක හිමියන් උපදෙස් දුන්නේ ‘මේ අයට ජාතියක්, ආගමක් නැහැ. දොරේ අප්පා කියන්නෙ කොයිතරම් හොඳ මනුස්සයෙක් ද? ඒ අහිංසක මනුස්සයටත් තුවක්කු උස්සපු මේ මිනිස්සුන්ගෙන් මනුස්සකම බලාපොරොත්තු වෙන්න එපා, ඔයාල පුළුවන් තරම් තමන්ගෙ සත්තු තමන්ගේ වත්තෙ තියා ගන්න බලන්න.‘ යනුවෙනි.

‘ එළුවො නම් තියා ගන්න පුළුවන් සාමි, ඒත් කුකුළො යනවනේ‘‘

‘‘මොකක් හරි ක්‍රමයක් මේ දවස් ටිකට හදා ගන්න, මම හිතන්නෙ නැහැ මේ වගේ පවු වැඩ හැමදාම කරන්න පුළුවන් කියලා‘‘ නා හිමියෝ දුරදක්නා නුවණින් පැවසූහ.

‘‘නේවි එකේ අය නිකම් බලාගෙන ඉන්නවනෙ, එයාලට පුළුවන්නෙ ඒව නවත්වන්න, ‘‘ එක් අයෙක් නාවික හමුදාවට දොස් නඟන්නට විය.

රාමචන්ද්‍රන් මුදලාලි එයට එරෙහි විය.

‘‘නේවි එකේ මහත්තුරු ඉන්නෙ අපේ ආරක්ෂාවට තමයි, ඒ වුණාට ඒ මහත්වරුන්ට අපේ සත්තුත් පරිස්සම් කරල දෙන්න ද කියන්නෙ‘‘

නා හිමියන් සියලු දෙනාට පැවසුවේ ගැටලු නොවන පරිදි කෙසේ හෝ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි.

‘‘සාමි .. නේවි එකේ මහත්තුරුන්ට කිව්වොත් අඩු ගානෙ උදේට හවසට හරි දූපත වටේ ආරක්ෂාවට රවුමක් හරි යයි‘‘ නාවික හමුදාවට දොස් පැවරූ තැනැත්තා යළි පැවසී ය.

‘‘උන්නැහෙ කවදාවත් දැක තියෙනවද මම නේවි කෑම්ප් එකට යනව, ‍පන්සලේ කෑම්ප් එක තිබුණත් මම යන්නෙ සෙත් පිරිතට විතරයිනෙ. ඒ ඇත්තන්ගෙ රාජකාරිය ඒ ඇත්තො කරයි.

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]