[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආලවක සූත්‍රය: රතන සූත්‍රය සජ්ඣායනා කර ලෝකයට ම සෙත් පතමු

ආලවක සූත්‍රය:

රතන සූත්‍රය සජ්ඣායනා කර ලෝකයට ම සෙත් පතමු

බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ අලව් නුවර ආලවක නම් බොහොම දරුණු යක්ෂ සෙන්පතියෙක් වාසය කළා. හැබැයි, ඔහුට යටපත් වූ පිනක් තිබුණා.

බුදුරජාණන් වහන්සේ ඔහුගේ විමනට වැඩම කළ විට ඒ බව යක්ෂයාට ආරංචි වුණා. එවිට ඔහු ‘නික්ඛම ශ්‍රමණ’, "ශ්‍රමණයන් වහන්ස , නැගිට පිටවෙන්නැ’යි පැවසුවා. බුදුරජාණන් වහන්සේ කිසිම කතා බහක් නැතිව නැඟිට ගියා. ‘පිවිස ශ්‍රමණ' "ශ්‍රමණයන් වහන්ස, ඇතුළට පිවිසෙන්න" . උන්වහන්සේ නිහඬව ම පිවිසියා. මෙලෙස තෙවරක් ම ඇතුළට සහ පිටතට පිටවෙන්න යැ’යි පැවසුවා.

නැවත සිව්වන වතාවටත් යක්ෂයා ඇතුළට යන්න පිටතට යන්න යැ’යි බුදුරදුන්ට පැවසුවා. එහිදී උන් වහන්සේ වදාළේ, මා නො නැඟිටින බවත්, කළහැකි යමක් වේ නම් කරන ලෙසත් ය.

එහි දී යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් විමසන්නට සූදානම් වුණා. ඒවාට පිළිතුරු දෙන්නට අපොහොසත් වුණොත්, සිත අවුස්සා විනාශ කරන බවත්, හෘදය වස්තුව පළා දමා, පාදයෙන් අල්ලා මූදෙන් එහාට දමන බවටත් ගර්ජනා කළා.

එවිට, බුදුරජාණන් වහන්සේ සන්සුන් ස්වරයෙන් මෙලෙස පැහැදිලි කළා. "මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණ ප්‍රජාවේ, දෙවියන් සහිත ලෝකයේ මගේ සිත වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මා දුටුවේ නැහැ. යනුවෙන් දේශනා කොට, ඔබගේ ප්‍රශ්නය විමසන්නැ’යි වදාළා.

ශ්‍රේෂ්ඨ ධනය කුමක් ද?

සැප ලබා දෙන්නේ කුමක් ද?

රසයන් අතුරින් කුමක් ශ්‍රේෂ්ඨ වන්නේ ද?

ජීවිතයේ උතුම් වන්නේ කුමක් ද? යනුවෙන් ප්‍රශ්න රැසක් ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්, ලෝකානුකම්පාවෙන් මෙලෙස පිළිතුරු දුන්නා.

පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන ධනය ශ්‍රද්ධාව යි. පන්සල් යන්නේ, බුදුන් වඳීන්නේ, ගුණ ධර්ම දියුණු කරන්නේ, බණ , භාවනා කරන්නේ ශ්‍රද්ධාව නිස යි. ශ්‍රද්ධාව නැතිනම් සැඩ පරුෂ ,චපල ගති පැවතුම් අධික යි. කරුණාව, මෛත්‍රිය , දයාව, අනුකම්පාව ආදී ගුණාංගයන් පිහිටන්නේ ශ්‍රද්ධාව නිස යි. තුනුරුවන් විශ්වාස කරන, තුනුරුවන් අදහන ලක්ෂණය ශ්‍රද්ධාව යි. එය යි ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය. ස්ත්‍රියක්, පුරුෂයෙක්, දරුවෙක් වුණත්, තමන්ගේ ජීවිතය වාසනාවන්ත කර ගන්නට ශ්‍රද්ධාව අවශ්‍යය යි.

ඒ නිසා කවුරුත් තුනුරුවන්ගේ ගුණ සිහිපත්කර ශ්‍රද්ධාව හැකි තාක් වැඩි දියුණු කර ගන්න. එය අතිශයෙන් ම ප්‍රයෝජනවත් වෙයි.

තව ද සැප ලබා දෙන්නේ ධර්මයෙන්. කායික සුවය, මානසික සුවය මෙලොව යහපත, පරලොව සුගතිය , නිවන ලබා දෙන්නේ ධර්මය තුළින් පමණ යි. ධර්මය යනුවෙන් සඳහන් කරන්නේ, යහපත හොඳ දේ, කුසල් වඩන දේ ආදිය යි. මේවා නිබඳව ම දියුණු කළ යුතු යි.

අද ලෝකයට ඇති වී තිබෙන වසංගතය අති භයානක යි. මෙවැනි රෝගයන් කිසි දිනක අසා නැහැ. මේ වෛරසයත් සමඟ ගැටෙන්නේ ධර්මයේ නැති අයයි. ඒ නිසා කවුරුත් සිත , කය , වචනය සංවර කරගෙන හැකිතාක් පින් දහම් කර ගන්න. දාන, ශීල, භාවනා , පින්කම් වැඩි කරගන්න. බණ අසන්න, භාවනා කරන්න. රතන සූත්‍රය තමන්ගේ නිවහනේ කිහිප විටක් ම සජ්ඣායනා කර, තමන්ටත්, ලෝකයාටත් සෙත් පතන්න. ඊට එහා ධර්මයක් ලොවේ නැහැ.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ජනතාවට විශාල විපතක් සිදුවුණු මොහොතේ එනම්, අමනුෂ්‍ය කරදර, සාගිනි වේදනා, රෝග, භය ආදිය සංසිඳුවීම සඳහා දේශනා කළේ රතන සූත්‍රය යි. එය නිවැරැදි ධර්මය යි. මෙහි අන්තර්ගතය බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පමණ යි. එසේනම්, එහි කෙතරම් බලයක් ඇතිද?

එදා ඒ දේශනාවෙන් මුලු ප්‍රදේශයටම ශාන්තියක් සැලසුණා. විශාල පිරිසක් මඟ ඵල නිවන් සුව ලැබුවා. දින හතක් පුරාවට ම බුදුරජාණන් වහන්සේ සමඟින් රහතන් වහන්සේ පන්සිය නමක් රතන සූත්‍ර දේශනාව පවත්වා තියෙනවා.

සෑම විහාරස්ථානයක ම , සෑම නිවහනක ම රතන සූත්‍රය හොඳීන් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සජ්ඣායනා කරන්න. එවිට ලැබෙන ආනිසංස බහුල යි. අන්‍ය ආගමික ජනතාවට වුවත් මෙය අකැප නැහැ. මෙය වටිනා ධර්මයක්. තමාගේ පිහිට , පිළිසරණ තමා ම හදා ගත යුතු යි.

එසේනම්, තුනුරුවන් වැඳ පුදාගෙන රතන සූත්‍රය සැදැහැ සිතින් සජ්ඣායනා කරන්න. එවිට එහි බලය සම්, මස්, නහර , ඇට, ඇට මිඳුළු දක්වා ම විනිවිදයනවා. පසුගිය වකවානුවෙත් රතන සූත්‍රය දිවා රෑ සජ්ඣායනා කිරීමේ ආනුභාවයෙන් වෛරසයයේ පළමු රැල්ල ඉවත් කර දැමුවා. මෙවර පැමිණි දෙවන වසංගත රැල්ලට ද බිය ඇති කරගෙන පිනට දහමට ලැදිව, බණ, භාවනා කරගෙන රතන සූත්‍රය සජ්ඣායනා කරන්න.

සූදුව, සුරාව, දුරාචාරයෙන් වැළකී පංචශීලය හොඳීන් රැක ගන්න. මස් මාංශයන්ගෙන් පවා වැළකී, යහපතෙහි පිහිටාගෙන රතන සූත්‍රය සජ්ඣායනාවෙන් ලැබෙන ආනිසංස බහුල යි.

මේ වෛරසය මට හැදෙන්නේ නැහැ යනුවෙන් සිතන්න එපා. ඒ නිසා සිත ගත ශක්තිමත් කරගෙන රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. එහි පුදුම බලයක් ලැබෙනවා. තමන්ට පමණක් නොව, රටට, ලෝකයට සෙත් පතන්න. එයයි මේ මොහොතේ කළ යුතු උත්තරීතර ධර්මතාවය.

ඊළඟට සත්‍යවාදී වීම උතුම් දෙයක්. බොරුවෙන්, කපටිකමෙන්, වංචාවෙන් වැළකී අවංක භක්ත්‍යාදරයෙන් නිහතමානී ව කටයුතු කළ යුතු යි. ලෝකයේ සත්‍ය සතරයි. එනම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය , මාර්ග සත්‍ය යනුවෙනි. මේ ගැන අවබෝධ වන්නේ සත්‍යවාදී අයට පමණ යි. ලංකාවාසී ලෝකවාසී ජනතාව සැවොම සත්‍යවාදී නැහැ. බුදුන් වහන්සේ පරම සත්‍යවාදී ශාස්තෘවරයාණන් කෙනෙක්. ඒ උතුමන් වහන්සේ අපට ධර්මය දේශනා කොට වදාළා. එයට අනුව කටයුතු කළ යුතු යි.

තව ද ජීවිතයට අවශ්‍යම දේ වන්නේ ප්‍රඥාව යි. අනුවණයාට හොඳ නරක, දනක් පිනක් තේරෙන්නේ නැහැ. යා යුතු , නොයා යුතු මඟ වැටහෙන්නේ නැහැ. අසත්පුරුෂ ආශ්‍රයට වැටෙනවා. ප්‍රඥාවන්තයා දාන, ශීල, පින්කම් හොඳීන් කරනවා. ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩනවා. කරුණාව, මෛත්‍රිය හොඳීන් දියුණු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඥානවන්තයාට පමණ යි. ඒ නිසා කවුරුත් බුදු දහමට අනුව කටයුතු කරන්නට නම් ප්‍රඥාවන්තයෙක් විය යුතු යි.

මේ අනුව ශ්‍රද්ධාව, ධර්මය, සත්‍යවාදීබව, ප්‍රඥාව ජීවිතවලට සම්බන්ධ කරගත් විට, ජීවිතය බොහොම බලගතු යි. වාසනාවන්ත යි. ආලවක යක්ෂයාත් දමනය වුණා. මෙතරම් දරුණු පැවතුම් ඇති මේ තැනැත්තා බුදුන් වහන්සේ ළඟ දණ ගසා නමස්කාර කළා. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය සරණ ගියා. අද පටන් තුනුරුවන් සරණ ගිය කෙනෙක් සේ පිළිගන්න යැ’යි බුදුරජාණන් වහන්සේ සමීපයේ පොරොන්දු වුණා.

එසේනම්, සෑම දෙනාම මේ පාඩම සිතට ගෙන ශ්‍රද්ධාවන්ත විය යුතු යි. තමන් ධර්මයේ පිහිටාගෙන කටයුතු කළ යුතු යි. සත්‍යවාදී, ප්‍රඥාවන්තයෙක් විය යුතු යි. එවිට මේ ශාසනයේ හොඳීන් ගුණ ධර්මය දැන ඉදිරියට යා හැකි යි.

කොරෝනා වෛරසය පවතින මේ කාලවකවානුවේ ලෝක සත්ත්වයාට ම සෙත් පැතිය යුතු යි. ‘සියලුම කොරෝනා රෝගීන් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා’ යනුවෙන් සිතෙන් මෙනෙහි කරමින් ලෝක සත්ත්වයාට සෙත් පතන්න. එවිට ලෝක සත්ත්වයාට යහපතක් මිස අයහපතක් වෙන්නට බැහැ. විශාල පිරිසක් එකතු වී මෙලෙස සෙත් ප්‍රාර්ථනා කරන විට, අනිවාර්යයෙන් එහි බලය ශරීරයන්හි ගැටෙනවා. එවිට ඒ ශරීරවල ඇති වෛරසය තුරන් කරන්නට සමත් වෙනවා. වෛරසය තුරන් කිරීමට, අධර්මය දුරු කර, ධර්ම බලවේගය ම ජය ගත යුතු යි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට ලැබුණේ දුර්ලභ වාසනාවකට. ඒ ගැන සිතමින් තමන්ගේ ජීවිතයට පහනක් දල්වන්නාක් මෙන් ආලෝකය පතුරා ඥානවන්තයෙක් ලෙස කටයුතු කළයුතු යි.

ආලවක යක්ෂයා වැනි දරුණු පුද්ගලයන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේ වැඳ වැටී දමනය වුණා නම්, මේ වෛරසය ධර්මයෙන් යටපත්කිරීම අපහසු දෙයක් නොවේ. ඒ නිසා තුනුරුවන්ට ගෞරවය පුද කරගෙන , රතන සූත්‍රය ම සජ්ඣායනා කර ලෝකයාටම සෙත් පතන්න. තෙරුවන් සරණින් සමස්ත කොරෝනා රෝගීන්ට යහපතක් ම වේවා!

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]