[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප අතර උතුම් සැපත සොයමු

සැප අතර උතුම් සැපත සොයමු

ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං

විස්සාස පරමා ඤාතී - නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම උතුම් ලාභය වේ. සතුට පරම ධනය වේ. විශ්වාසයට වඩා නෑයෙක් නැත. නිවන උතුම්ම සැපයයි.

පසේනදී කොසොල් මහ රජතුමා දිනක් අධික ලෙස සිය කුස පුරා ආහාර ගෙන ටික වේලාවක්වත් විවේක නොගෙන විහාරයට ගොස් බුදුන්වහන්සේ වැඳ එකත් පසෙක හිඳ පිළිසඳර කථාවෙහි නියැළුණේ ය. අධික වූ ආහාර මදයෙන් මත්ව හටගත් නිදිමත ඉවසිය නොහැකිව, ඈනුම් අරිමින් මඳ සිහියෙන්, නොසන්සුන් ගති ලක්ෂණ ඇතිව සිටි මොහොතේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.

කිමෙක්ද? මහරජ මදක්වත් විවේක නොගෙන නොනිදා මෙහි ආවෙහිද? එසේ ය. භාග්‍යවතුන් වහන්ස, ආහාර ගත් වෙලාවේ සිටම කයට, ශරීරයට අපහසුව පීඩාව, මහන්සිය අධිකයි. මහරජතුමා කීවේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මානුකූල හා සෞඛ්‍ය සම්පන්න පිළිතුර වූයේ ප්‍රමාණය දැනගෙන ආහාර ගැනීම ශරීරයට සුව පහසුවන බවයි. ආහාර ගැනීමේ ක්‍රමයක් සීමාවක්, ප්‍රමාණයක්, පිළිවෙළක් ඇති බව උන්වහන්සේ මැනවින් පෙන්වා දුන් සේක.

කොසොල් මහ රජතුමා එම අවවාදයෙහි සාර්ථකව පිහිටා පමණ දැනගෙන ආහාර ගැනීමෙන් ශරීර සුවතාවයක් මනා ලෙස ලැබී ය.

මිනිසා දිනකට ප්‍රධාන ආහාර වේල් තුනක් ගැනීම සිරිතකි. අතිරේක ආහාර ගැනීම ද සිදු කරති. නමුත් එම ආහාරවල, ඇතිවීමක් ප්‍රමාණයක්, සීමාවක්, ප්‍රමිතියක් ගැළපෙන නොගැළපෙන බවක්, ගුණාත්මක බවක් බොහෝ විට කල්පනා නොකරති.

වැරැදි ආහාර ක්‍රම රටාව නිසා ශරීරයේ සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් දියවැඩියාව ආදී විවිධ වූ ශාරීරික, මානසික රෝග පීඩා ඇති කරයි. මුළු මිනිස් ජීවිතයම අඳුරු කරන, අසරණ කරන රෝග වලට ද වැරදි ආහාර රටාවේ ගැටලු බොහෝවිට හේතු වන්නට ඉඩ තිබේ.

ව්‍යායාමවලින් බැහැරව සිටින ලොකු කුඩා වැඩිහිටි බහුතරයක් පිරිස එවන් රෝග ලක්ෂණවලට ගොදුරු වෙති. සෞඛ්‍ය සම්පන්න දාන වේලක් නොලැබීම තුළ බොහෝ භික්ෂූන් වහන්සේලා ද විවිධ වූ ලෙඩ රෝගවලට මුහුණදෙන බව පෙනේ.

භික්ෂූන් වහන්සේලාට දානය (ආහාර) සකස් කිරීමේ දී වස විස නැති ගමේ දෙයක් සැකසීම ඉතාමත් වැදගත් ය. එමඟින් දානය පිළිගන්වන දායක පිරිසට ද නිරෝගීකමේ ආනිසංශ මෙලොවදීම හිමිවේ.

බොහෝ දෙනෙක් දේශීය ආහාර ද්‍රව්‍යයන්ට යොමුවීමට වඩා විදේශීය ආහාර, පලතුරු වර්ග, බීම වර්ග භාවිත කරන බව විශේෂයෙන්ම පෙනී යයි. පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් ක්ෂණික ආහාර, රසකාරක, සිසිල් බීම වර්ගවලට යොමු වී ඇති බව, මනාව දක්නට ඇත. විදුහල්පති තුමනි, ගුරුතුමනි, දහම් පාසල් ප්‍රධානාචාර්ය හා ඇදුරුතුමනි. මව්පියවරුනි, ඔබගේ දරුවා පිළිබඳව ඇස ඇරිය යුතු අවස්ථාව මෙන්ම සොයා බැලිය යුතු මොහොත මෙයයි. දරුවාට මෙහි ඇති අනිටු විපාක ආදීනව පිළිබඳව, මනා අවබෝධයක් ලබාදීම යුතුකමකි. වගකීමකි. අනාගත යහපතකි.

ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීම නිසා බාහිර රෝග පීඩාවලට ගොදුරු වේ. වර්තමානයේ මහත් වූ භීතියක්, ව්‍යසනයක් වගේම මිනිසාට තර්ජනයක් වී පවතින නව කොරෝනා (කොවිඩ් 19) නැමැති වෛරසය ද දුරු කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය මෙන්ම නිවැරැදි සෞඛ්‍ය පුරුදු භාවිතය බෙහෙවින්ම උපකාරී වෙයි. උණුවතුර, වෙනිවැල්ගැට, කොත්තමල්ලි, වදකහ, ඉඟුරු, පෙරුම්කායම්, සුදුලූණු, රතුලූණු ඖෂධීය පාන වර්ග ගැනීම ද නිවස අවට පරිසරයේ කහ දියර ඉසීම ද, සුවඳ දුම් වර්ග පරිසරයට මුදා හැරීම ද, සමාජ දුරස්ථ භාවය රැකීම ද, මුඛ ආවරණ පැළඳීම, තම නිවස තුළ සිටින අය පමණක් ආගමික වතාවත් කිරීම ද, රතන සූත්‍රය සජ්ඣායනා කිරීම ද මෙම නව කොරෝනා වෛරසය මැඬ පැවැත්වීමට, පිටු දැකීමට විශේෂයෙන් හේතු වේ.

‘සන්තුට්ඨි පරමං ධනං’ සියලුම දේට ප්‍රධාන වන්නේ මුල් වන්නේ තමාගේ සිතයි.

සතුට නැති නම් සිතේ සැනසිලිදායක වින්දනයක් ලැබිය නොහැකි ය. පැරණි ජනප්‍රවාදයේ කියමනක් ඇත. අත කැඩුණොත් බෙහෙත් ඇත. සිත කැඩුණොත් බෙහෙත් නැත. මෙම කියමන සනාථ කර ගැනීමට අද ද මානසික රෝහල්වලට ගිය විට තම තමන්ට ම සියැසින් දැක බලා ගැනීමට මනාව පිළිවන. සතුටක් නැතිනම් මානසික දියුණුවක්, භෞතික සංවර්ධනයක් දක්නට අපහසු ය. ඔබ ජීවත්වන නිවස තුළ මව, පියා දූ දරුවන් සෑම විටම කළකිරීමෙන්, අසතුටෙන්, අසමඟියෙන්, අධර්මයෙන්, වෙසේ නම් එම නිවසට සැමදාම දියුණුවක් නොව පරිහානිය සිදුවෙයි.

කේලාම් කීම, බොරු කීම, අනුන් කෙටවීම, විවිධ වූ අඩුපාඩු සෙවීම, බොහෝ අයගේ සතුට මෙන්ම විනෝදාංශය ද වී ඇත. මෙම පහත්, නීච ගති ලක්ෂණවල අවසාන ප්‍රතිඵලය වනුයේ තමාත් විනාශ වී අනුන් ද විනාශ කර මෙලොව පරලොව පරිහානිය සිදුකර ගැනීමයි.

බුදුන් වහන්සේගේ සදහම් දෙසුම සතුට පරම ධනයක් ලෙස මනාව පෙන්වා දෙයි. සතුටෙන්, පී‍්‍රතියෙන්, සමඟියෙන් කටයුතු කිරීමේ දී එක මවකගේ දරුවන් මෙන් දක්නට ලැබෙන අතර සිය ජීවිත සර්ව සම්පූර්ණ වී සංවර්ධනය වී, සාර්ථක වී සතුට පරම ධනයක් ලෙස මනසෙහි ස්ථාපිත වෙයි.

“විස්සාස පරමා ඤාතී” මෙහි ඤාති යන්නෙන් අදහස් කරනුයේ නෑදෑයා යනුයි. එනම්, තමාට ඉතාමත් හිතවත් විශ්වාසවන්තයා යි. ඔහු හෝ ඇය අපට ලෙහෙසියෙන් දැක ගැනීමට, හඳුනා ගැනීමට අපහසු වුවත් කල්යාමේ දී සුචරිත ආකල්ප ගුණ දහම් අගයන, පවට අකුසලයට බිය, පිනට කුසලයට කැමති, දුකේ දී සැපයේ දී එක්වෙන, තමා පසු පසම සිටින, ආත්මාර්ථයට වඩා පරාර්ථය අගයන කෙනා ‘විස්සාස පරමා ඤාතී’ වන බව සම්බුදු දහම පෙන්වා දෙයි.

“නිබ්බානං පරමං සුඛං” සසර ගමනේ ආරම්භයක්, කෙළවරක්, නිමාවක් දැකීම බොහෝ සේ අපහසු ය. දුෂ්කරය. සංසාර භව කතරේ ප්‍රතිසන්ධිය (උත්පත්තිය) නොලැබූ සත්වයෙක් සොයා ගැනීම අතිශය අපහසු ය. ගිජ්ඣකූට පර්වතය යනු විශාල උස් කන්දකි. එක් අයෙක් ඒ ඒ ආත්ම භවවල මියගිය ඇටකටු ටික ගොඩ ගැසුවහොත් එම කන්දට වඩා උස්ව පවතී. සංසාර ගමනේ කොතරම් දුර ඔබ ගමන් කළා ද? තව ඉදිරියට කෙතරම් යායුතු ද? කියා සිතීමටවත් අපහසු ය. පින් - කුසල් සිදු කිරීම සුගතිය දකින මාවතකි. සතර අපායේ (නරක, තිරිසන්, ප්‍රේත, අසුර) නූපදී. නමුත් සසර ගමනේ නිමාවක්, කෙළවරක්, අවසානයක් නැත. පව් හෙවත් අකුසල් සිදු කිරීම දුගතියට සතර අපායට මාවතකි.

සසර බැඳ තබන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නිසා සත්වයා උපදියි. තෘෂ්ණාව නැති කිරීම හෙවත් සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් මිනිසා නිර්වාණ සුවය ලබයි.

තෘෂ්ණාව නිවන වසාලන අකුසල මූලයක් ලෙස දහමේ පෙන්වා දෙයි. සසර ගමනේ නිමාවක්, නිවීමක් අවසානයක් කෙළවරක් දැකීම “නිබ්බානං පරමං සුඛං” පරම සැපත නිවනම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]