[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාක්‍රමබාහු රජු උපත ලද දැදිගම කොටවෙහෙර රාජ මහා විහාරය

පරාක්‍රමබාහු රජු උපත ලද දැදිගම කොටවෙහෙර රාජ මහා විහාරය

හාත්පස ඇති මනරම් කඳු වැටිය පවුරක් සේ පිහිටා ඇතැයි බැලූ බැල්මට පෙනේ.ඒ හා මැදිව ඇති සශ්‍රීක කුඹුරු යාය හැමදාමත් අඩුවක් නැතිව ගම්මානේ ඇත්තන්ට බත සපයන අයුරු අපූරු ය. හාත්පස ඇත්තේ නිල්ලට පීදූනු, බත බුලතින් සාරවත් වූ දේශයක් ගොඩ නැගු උරුමකරුවකුගේ ජන්ම භූමියක ශේෂයන් ය.

කොළඹ නුවර පාරේ 66-67 කි. මී. කණු අතර පිහිටි නෙළුම්දෙණිය හන්දියට පැමිණි පසු දක්නට ලැබෙන දැදිගම කොටවෙහෙරට මඟපෙන්වන පුරාවිද්‍යා නාම පුවරුවක් වේ. එතැනින් හැරී ගලපිටමඩ පාරේ කි. මී. 3ක් ගමන් කරන විට හෙළ රජ දරුවන්ගේ පහස ලද දැදිගම ගම්මානයට පිවිසිය හැකි ය. එසේත් නැතිනම් අවිස්සාවේල්ල කෑගල්ල පාරේ පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙම පින් බිමට පැමිණිය හැකියි.

හෙළයන්ගේ අභිමානය මැනවින් දක්නට ඇති ඉතිහාසයක් දරා සිටිනා සූතිඝර දාගැබ ඇතුළු පුරාවිද්‍යා නටබුන් මෙන්ම දැදිගම රාජ මහා විහාර පින් බිම පිහිටා ඇත්තේ මාර්ගය අද්දර ය. ජයලත් කන්ද නම් කඳු බෑවුම පාමුල මෙම ඓතිහාසික දාගැබ පිහිටා ඇති අතර ඊට නුදුරින් ඇති සශ්‍රික කෙත්යායත්, බොදුණු අභිමානය සුරකින දැදිගම රාජ මහා විහාර පින් බිමත් දැක බලා වැඳ පුදාගත හැකි ය.

මානාභරණ නම් යුවරජු දොළොස්වන ශත වර්ෂයේ දී දක්‍ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කරගනිමින් ප්‍රදේශය පාලනය කළ බව දැදිගම පුරාණ රාජ මහා විහාරය හා හුණුවල රාජමහා විහාර යන උභය විහාරාධිපති පූජ්‍ය ඔත්නාපිටියේ විමලාභිධාන නා හිමියෝ පෙන්වා දෙති.

එම රජුගේ බිසව වූයේ රත්නාවලී කුමරිය බවත් රත්නාවලී බිසව දැදිගම, වර්තමානයේ කොටවෙහර නැතිනම් සූතීඝර දාගැබ පිහිටි ස්ථානයේ දී කුමරකු බිහි කළ බවත්, ඉතිහාසය සාක්ෂි දරන බව උන් වහන්සේ සඳහන් කරන තවත් කරුණකි.

පසුකාලීනව මෙරට රාජ වංශයේ ශ්‍රේෂ්ඨතම රජකු ලෙස සැලකෙන කීර්තිමත් වූ මහා පරාක්‍රමබාහු රජතුමා ලෙස රාජාභිෂේක ලබනුයේ මෙසේ උපදින පුත් කුමරුය .ඉන් පසු උස් මහත් වන කුමරු මුලින්ම දක්ෂිණ දේශයේ මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වූ බව ඉතිහාසයේ සඳහන් ය.

රජු තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය පිහිටි තැන කුඩා ස්තූපයක් ගොඩනඟා ඇත. පසුව පරාක්‍රමබාහු රජු මුළු රටම එක්සේසත් කර පොළොන්නරුවේ රජ වූ පසු එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවා ඇත. දේවතා කොටු සහ කොත්කැරැල්ල රහිත දාගැබක් වූ මෙම දාගැබ පසු කාලීනව කොටවෙහෙර සම්ප්‍රදායට එක් වූ බවත්, උපන් ස්ථානයේ ඉදිකළ නිසා සූතිඝර චෛත්‍යය වශයෙන් එය ප්‍රකට වූ බවත් විමලාභිධාන නා හිමියෝ පෙන්වා දෙන තවත් කරුණකි.

සූතිඝර දාගැබේ උස අඩි 47ක් සහ වට ප්‍රමාණය අඩි 804ක් වූ විශාල දාගැබක් ලෙස දැකගත හැකි ය. එමෙන්ම පේසාවළලු තුනක් සහිත ගර්භයකින් දාගැබ සමන්විත වන අතර දාගැබ මතුපිට තැනිතලා ස්වරූපයකින් යුක්ත ය.පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති මෙම දාගැබේ පේසා වළලු අතර 1958 දී කරන ලද කැණීම්වලදී කුඩා දාගැබක් ද හමුවී ඇත. එම කුඩා දාගැබ පේසාවළලු තුනකින් සමන්විත අතර දැනටත් එය අපට දැකගත හැකි ලෙස ඉතිරිකර ඇත්තේ ඉතිහාසය සාක්ෂි සහිතව දැක බලා ගැනීමේ අරමුණෙන් ය. පරාක්‍රමබාහු රජු මුලින්ම ඉදිකළ දාගැබ මෙම දාගැබ බව පුරාවිද්‍යාත්මකව සඳහන් කරන තවත් කරුණකි.


ඔත්නාපිටියේ
විමලාභිධාන නාහිමි

දැදිගම රාජ මහා විහාර පින් බිමේ ඇති දැදිගම අභයදාන සෙල්ලිපිය මේ ඉතිහාසයට කදිම සාක්ෂියකි.එය හයවන බුවනෙකබාහු රජ දවස පිහිට වූ සෙල්ලිපියක් වන අතර, දැදිගම කැරැල්ලකට සම්බන්ධ පිරිසකට රජු විසින් සමාව දී අභයදානය ලබාදීම ගැන එහි සඳහන් වන බව ද උන් වහන්සේ පෙන්වා දෙති. කුඩා ස්තූපයේ දාගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ එකල දේශීය සංස්කෘතිය පෙන්වන අපූරූ සටහනක් ය.

පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ ළදරු පැරකුම් කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කරගන්නට ඇති බව ය. කුමරු උපන් තිඹිරිගෙය මත මෙවන් මහා ස්තූපයක් ගොඩනංවා ඒ තුළ මැටි කොරහ ද නිධන් කරමින් රජතුමා තිඹිරිගෙයත්, නෑවූ කොරහත් පූජනීය ස්මාරකයන් වශයෙන් සලකා ඇති බවයි සඳහන් වනුයේ.

මෙම ධාතු ගර්භයේ තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත් පහන ලෝක ප්‍රසිද්ධ නිර්මාණයකි. එය හෙළ කලාකරුවාගේ අභිමානයේ ආලෝකය දියත පුරා විහිද යෑමක් බව සඳහන් කළ හැකි ය.

දැදිගම නම පිළිබඳ ඇත්තේ ද අපූරූ ජනප්‍රවාදයන් ය. පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ යනුවෙන් ය. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම් වලින් හඳුන්වා ඇත්තේ ද මේ දැදිගම ග්‍රාමයයි. ‘පුංඛගාම’ නොහොත් දැතිගම කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙන බව උන්වහන්සේ පෙන්වා දෙන තවත් කරුණකි.

කොටවෙහෙර දාගැබ නැතිනම් සූතිඝර දාගැබ අයත් ඓතිහාසික වටිනා කමින් යුත් දැදිගම රාජ මහා විහාර පින් බිමේ දැක ගත හැකි නටඹුන් රැසකි.අහස් කුසට එසැවී ගිය අෂ්ඨඵල බෝධීන් වහන්සේත්, ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිනා ඔත් පිළිම වහන්සේත් දකින සිත් නිවා සනසයි. ඉපැරණි ටැම්පිට විහාර මන්දිරයත්, ඝණ්ඨාර කුළුණත් හෙළ රජ දරුවන්ගේ පහසින් පෝෂණය වූ බොදු උරුමයන් ය.හෙළ බොදු සම්ප්‍රදායේ කලා කරුවාගේ විශිෂ්ටත්වය හා සංස්කෘතිය මැනවින් දැකගත හැකි කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ඓතිහාසික රාජ මහා විහාර පින් බිම හා සූතිඝර දාහැබ මතු පරම්පරාව උදෙසා රැකගත යුතු අමිල සම්පතක් වනුයේ එහෙයිනි.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]