[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 23 කොටස: පදුමකිත්ති හිමිගේ හඬට ඕමන්ත මුරපොළ හෙල්ලෙයි!

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 23 කොටස:

පදුමකිත්ති හිමිගේ හඬට ඕමන්ත මුරපොළ හෙල්ලෙයි!

සැඟවී කටයුතු කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ජේ.ආර්. - රජීව් සාම ගිවිසුම නිසා එළිපිටම කටයුතු කරන්නට විය. එහෙත් ත්‍රස්තවාදීන්ගේ ඝාතන නැවැතීම නිසා දකුණේ සිංහල ජනතාව ටිකෙන් ටික උතුරට පැමිණෙන්නට විය.

දකුණේ ජනතාව උතුරට පැමිණීම ගැන නාගදීපයේ වැසියන් මෙන්ම නාහිමියෝ ද, පදුමකිත්ති හිමියෝද සතුටු වූහ. නාගදීපයේ ජනතාවද තමන් හදන දෙයක් විකුණා මුදලක් ලබා ගත්හ. නාගදීප වන්දනාවට පැමිණි බොහෝ දෙනා නාහිමියන්ගෙන් මෙන්ම පදුමකිත්ති හිමියන්ගෙන් ද නාගදීපය ගැන තොරතුරු විමසන්නට වූහ. නාගදීපයේ විස්තර ගැන ලියැවුණු පොතපත පවා මිලදී ගත්හ. එම පොත්පත් සේයාරූ මුද්‍රණය කරනු ලැබුවේ අනුරාධපුරයේ මුද්‍රණාලයකිනි. පදුමකිත්ති හිමියන් අනුරාධපුරයට ම වැඩම කර එම මුද්‍රණ කටයුතු සිදු කර ගනී. අදාළ විස්තර නිවැරැදිවම සිදු කළ යුතු වූ හෙයිනි. කෙසේ හෝ එක් දිනක් තුළ අනුරාධපුරයට ගොස් පැමිණෙන්නට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ.

දිනක් පදුමකිත්ති හිමියන් අනුරාධපුරයට වැඩම කෙළේ තමන්ගේ වීඩියෝ කැමරාවක් ද අතැතිව ය. ගෙන යන භාණ්ඩ විස්තර ගොනුවට එය ඇතුළත් කරන්නට උන් වහන්සේට අමතක වූවා සේ ම, උන් වහන්සේගේ අතේ ඇති වීඩියෝ කැමරාව දෙස මුරකපොල්ලේ සිටි ත්‍රස්තයන් ද එතරම් අවධානයක් යොමු කළේ නැත. අනුරාධපුරයට වැඩම කළ පදුමකිත්ති හිමියන් විසින් අදාළ මුද්‍රණ උපදෙස් ලබා දී මුද්‍රණය කර තිබූ විස්තර පත්‍රිකා තොගයක් ද රැගෙන ආපසු පැමිණෙන ලදී. ඕමන්තේ ත්‍රස්තයන්ගේ මුරකපොල්ලේ දී පදුමකිත්ති හිමියන් පැමිණි රථය පරීක්ෂාවට ලක් විය.

‘‘මේ පෝස්ටර්, පොත් ගෙනියන්න දෙන්න බෑ‘‘ අවුරුදු 15ක් 16ක් විතර වයසැති ත්‍රස්ත පැටියෙක් පදුමකිත්ති හිමියන්ට කීවේ ය.

“ඒ මොකද කාගෙ නීතියක්ද? නාගදීපෙට ගෙනියන්නෙ.”

‘‘නාගදීපෙ...‘‘ ත්‍රස්ත පැටියා මිමුණුවේය.

‘‘නයිනතිවු... නයිනතිවු‘‘ පදුමකිත්ති හිමියෝ සමච්චලයට මෙන් පැවසූහ.

එතැනට පැමිණි තරමක් වැඩිමහල් ත්‍රස්තයෙක් ද ඊට හවුල්වූයේ ය.

‘‘මෙතනින් ගෙනියන හැමදේකට ම බදු ගෙවන්න වෙනවා, අදට ගෙනයන්න දෙන්නම්, ඒත් අතේ තියෙන වීඩියෝ කැමරාව ගෙනියන්න දෙන්න බැහැ‘‘ ඔහු පැවසුවේ ය.

‘‘ඒක යකාගෙ කතාවක්නෙ, ඒක මගේ, උදේ ගෙනිච්චෙත් මෙතනින්‘‘ පදුමකිත්ති හිමියෝ දැඩි කෝපයෙන් යුතුව පැවසූහ.

‘‘කෝ රිසිට් එක ‘‘

‘‘රිසිට් එකක් දුන්නෙ නැහැ‘‘

‘‘ඒක බොරු, කැමරාව ගෙනියනව නම් රුපියල් 17,500ක බද්දක් ගෙවන්න වෙනවා. උතුරේ පදිංචි අයට මෙතනින් අලුතින් ගෙනියන බඩුවලට බදු ගෙවන්නම වෙනවා‘‘ ත්‍රස්තයා කියාගෙන ගියේ ය.

‘‘මොනවා, මගේ කැමරාව ගෙනියන්න සල්ලි ගෙවන්න, සත 5ක් දෙන්නේ නැහැ, මම ගෙනාව වගේම ගෙනියන්නෙත් මෙතනින්‘‘ පදුමකිත්ති හිමියන්ගේ හඬට අවට සිටි පිරිස මෙන්ම ත්‍රස්තයෝ ද එතැනට වටවූහ.

පදුමකිත්ති හිමියන් දන්නා අයෙක් එතැනට පැමිණියේ ය.

‘‘ පොඩි හාමුදුරුවනේ, මෙතන උන්ට බලය තියෙන තැන, ඔය කැමරාව දෙන්න මම අනුරාධපුරයට ගෙනියන්නම්, පස්සෙ වෙලාවක ඔබ වහන්සේ කැමරාව ගෙනියන්න ක්‍රමයක් හදාගන්න‘‘ ඔහු පැවසුවේ ය.

‘‘එහෙම නම් අපේ පන්සලට දෙන්න‘‘ පදුමකිත්ති හිමියෝ අනුරාධපුර විහාරස්ථානයේ ලිපිනය ඇතුළු විස්තර ඔහුට ලබා දුන්හ.

විස්තර පත්‍රිකා මෙන්ම සේයාරූ සියල්ල රැගත් නා හිමියෝ මුදල් නොගෙවා එතැනින් නාගදීපය බලා ගියහ. කැමරාව බාරගත් තැනැත්තා අනුරාධපුරය දෙසට ගියේ ය.

සතියකට පමණ පසුව පදුමකිත්ති හිමියන් අනුරාධපුරයට වැඩම කෙළේ තම වීඩියෝ කැමරාවත්, මුද්‍රණය පිණිස බාර දුන් නාගදීපයේ විස්තර පත්‍රිකා පොත් ආදියත් රැගෙන ඒමටය. එදින උදේ බස් රථයකින් අනුරාධපුරයට වැඩම කළ පදුමකිත්ති හිමියන් ආපසු වැඩම කිරීමට සිටියේ අනුරාධපුරයේ හිතවත් අයකුගේ වෑන් රථයකිනි. තමන්ගේ වීඩියෝ කැමරාව ගෙන යද්දී වූ සිදුවීම පදුමකිත්ති හිමියෝ වෑන් රථයේ හිමිකරුට විස්තර කළහ.

‘‘එහෙමනම් හාමුදුරුවනේ අද කැමරාව ගෙනියද්දිත් අනිවාර්යයෙන්ම කොටි ඕකට බදු ගහයි‘‘ වෑන් රථයේ හිමිකරු පැවසුවේ ය.

පදුමකිත්ති හිමියන් වෑන් රථය පුරාම පරීක්ෂා කරන්නට විය. හදිසියේම උන් වහන්සේගේ නෙත ගැටුණේ වෑන් රථයේ සවිකර තිබූ දැවැන්ත බෆල් දෙක ය.

‘‘මේ බෆල් එක ගලවන්න පුළුවන්ද?‘‘

‘‘පුළුවන් හාමුදුරුවනේ‘‘

හිමිකරු බෆල් එකක පිටුපස ලෑල්ල ගැලවූවේය. එහි ස්පීකරය අසලින්ම කැමරාව තබන්නට පදුමකිත්ති හිමියන් කටයුතු කෙළේ කැමරාව කිසිදු අයුරකින් නොසෙල්වෙන සේ රෙදි කැබලි සහ පත්තර ඇතුළට ඔබමිනි.

එදින නාගදීපයේ පෝස්ටර් පොත්වලට අමතරව සිවුරු තොගයක් ද නාගදීපයට ගෙන යාමට තිබුණි.

ඕමන්ත එල්ටීටීඊ මුරපොළට වෑන් රථය ළඟාවූයේ පස්වරු 3.00ට පමණ ය. සුපුරුදු පරිදි එල්ටීටීඊ ආයුධ සන්නද්ධ පුද්ගලයින් වෑන් රථයේ ඇති සියලුම භාණ්ඩ පරීක්ෂා කරන්නට විය. කිසිවකු බෆල් ගැන සැක හිතුවේ නැත.

එහෙත් සිවුරු තොගය සහ පෝස්ටර් පොත් හොඳීන් සෝදිසි කළ එල්ටීටීඊ පිරිස් ඒ සඳහා බදු නියම කළහ.

‘‘රුපියල් 15,000යි‘‘

‘මොනවා..... මේ නාගදීපෙ පන්සලට ගෙනියන සිවුරු පිරිකර‘‘ පදුමකිත්ති හිමියෝ තරමක් වේගයෙන් පැවසූහ.

‘‘කලින් දවසෙත් රුපියල් 17,500ක් ගෙවන්න කිව්වා. සත 5ක් දෙන්නෙ නෑ. ‘‘පදුමකිත්ති හිමියන්ගේ වේගවත් හඬට අවට මීයට පිම්බාක් මෙන් විය. සෝදිසි කරමින් සිටි එල්ටීටීඊ පිරිස් මෙන්ම එම ස්ථානයෙන් යාමට හා ඒමට බලා සිටි සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනා කුමක් වන්නේදැයි විමසිල්ලෙන් බලා සිටියහ.

“මේක රජකාලෙ ඉදල සිංහල බෞද්ධ රට, රජවරුවත් පන්සල්වලට බදු ගැහුවෙ නෑ. සාම ගිවිසුමක් කියන්නෙ තමුසෙලාට බදු ගහන්න දුන්න අවසරයක් නෙමෙයි.”

පදුමකිත්ති හිමියන්ගේ වේගවත් කතා ස්වරූපයත් සමඟම එතැනට පැමිණි එල්ටීටීඊ නායකයෙක් යැයි සිතිය හැකි අයෙක් ‘‘සාමි අපි යං ඔෆීස් එකට‘‘ යැයි පවසා එතැන පිහිටි කාර්යාලයකට යන්නට විය. වන්නේ කුමක්දැයි බියෙන් මෙන් බලා සිටි පෙර දින නාගදීපයේදී පදුමකිත්ති හිමි හා කතා බහ කළ වන්දනාවට පැමිණ කොළඹ බලා යන තරුණ පිරිසක්ද උන් වහන්සේ කැඳවා ගෙන කාර්යාලය දෙසට ගියහ.

කාර්යාලයේ සිටි ඔවුන්ගේ නායිකාවක් යැයි සැලකිය හැකි තැනැත්තියකට පදුමකිත්ති හිමියන් කැඳවා ගෙන ගිය තැනැත්තා දෙමළෙන් කනට ළං කර යමක් පැවසුවේ ය. එය පදුමකිත්ති හිමියන්ට ඇසුණේ නැතත් පවසන ලද්දේ මේ සිදුවීම ගැන යමක් බව උන් වහන්සේට වැටහුණි.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]