[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨිනානිශංස 03: කඨින පූජාවේ සාංසාරික සැප විපාක

කඨිනානිශංස 03:

කඨින පූජාවේ සාංසාරික සැප විපාක

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා
පරිත්ත දානං දත්වාන ලද්ධං මේ විපුලං සුඛං

බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන්ගේ ගුණ සලකාගෙන මා විසින් එදා සිදුකරන ලද මහත්ඵල මහානිශංස දායි කඨින පූජාව නිසා මා ලැබූ සාංසාරික සැප විපාකයන් නම් – කිසිසේත් ම කියා නිම කළ නොහැකි තරම් ය.

තේනේච කුසලකම්මේන පියෝහං දේව මානුසේ

තස්සේ ච භද්දකම්මස්ස පත්තෝස්මි අචලං පදං

එම කඨින චීවර පුජාවේ ආනිසංස බලය නිසා මනුෂ්‍ය ලෝකයෙහිත් දිව්‍ය ලෝකවලත් උපත ලද සෑම අවස්ථාවකදිම සියලු දෙනා අතර පි‍්‍රය මනාප, කාගෙත් ආදරයට පාත්‍ර වූ ජනපි‍්‍රය පුද්ගලයෙක් ව ම විසීමට ශක්තිය ලැබුණේ ය. අවසානයෙහි නිවන් සැපතකට ද පත් වුණෙමි.

ඒවං නාගව්හයෝ ථෙරෝ මජ්ඣ සංඝස්ස සොභනෝ

පකාසෙසි සකං කම්මං අනෝතත්ත මහාසරේ

මෙසේ නාගිත මහරහතන් වහන්සේ තමන් වහන්සේ විසින් තිස් කල්පයකට පෙර විපස්සි බුදුරදුන් දවස සිදු කරන ලද කඨින පින්කමේ ආනිශංස අනෝතත්ත විල්හි අහසේ වැඩසිට එකින් එක එකින් එක ආනිශංස විස්තර කරන ලද්දේ පහත සඳහන් ආකාරයෙනි.

ඡත්‍ර – කුඩ පිදීම

එකී කඨින පුණ්‍ය කර්මයේ දි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට අව්වෙන්, වැස්සෙන් ආරක්ෂාවීම පිණිස ඡත්‍ර, කුඩ පූජා කළ එම ආනිශංස බලයෙන් මම අනුසස් අටක් ලැබුවෙමි.

ඡත්තේ සුගතේ දත්වා –

සංඝෙ ගණවරුත්තමෙ

අට්ඨානිසංසේ අනභෝමි–

කම්මානුච්ඡවිකෙ මම

බුදුරදුන් ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සිත් පුරා දහස දහස බැගින් කුඩ – ඡත්‍ර පූජා කළෙමි එම ආනිශංස බලයෙන් සැප සම්පත් අටක් ලැබුවෙමි.

සීතං උණ්හං න ජානාමි

රජෝජල්ලං න ලිම්පති

අනුපද්දවෝ අනීතීච – භෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබුවෙමි. කවදාවත් අධික සීත ඇති රටක , දැඩි උෂ්ණ ඇති රටක උපතක් සිදු නො විණි. මගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. එනිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිණි. ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක් ව සිටියෙමි.

සුබුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං

සත්ත සතසහස්සානි – භවේ සසංසරතො මම

ඉකුත් කල්ප ලක්ෂය පුරා ම උපනූපන් ආත්ම භාවයන්හි දී සිනිඳු සේම පිරිසුදු වර්ණවත් ශරීරයක් මම ලැබීමි. අලංකාර ඡත්‍ර, අලංකාර නිවාස, ලැබීමට මේ පුණ්‍ය කර්මය මට හේතු විය. ප්‍රධානත්වය, මූලිකත්වය සෑම තැන දී ම ලැබුවෙමි.

සිවුරු වස්ත්‍ර පිදීම

දුස්සානි සුගතේ දත්වා –

සංඝේ ගණවරුත්ත මේ

අට්ඨානිසංසේ අනුභෝමි – කම්මානුච්ඡවිකෙ මම

බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේ දී සෑම භික්ෂූන් වහන්සේ නමකට ම චීවර සඳහා වස්ත්‍ර පූජා කළෙමි. ඒ පිනේ බලයෙන් උපනූපන් ආත්මභාවයන්හි දී ආනිසංස අටක් ඒ කුසල කර්මයට අනුරූප ව මට ලැබුණේ ය.

සුවණ්ණ වණ්ණෝ විරජෝ – සප්පභාසෝ පතාපවා

සිනිද්ධං හෝති මේ ගත්තං –භවේ සංසරනෝ මම

උපනූපන් ආත්මභාවයන්හි දී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්‍රතාපවත් වූ ද සිත් පිනවන පි‍්‍රයශීලි ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනසා ම හැම තැනක දී ජනාදරයට පත් වූ පුද්ගලයෙක් වීමි.

දුස්ස සතසහස්සානි – සේතා පීතා ච ලෝහිතා

ධාරෙන්ති මන්තකේ මය්හං – දුස්සදානස්සිදං ඵලං

භවයේ උපත ලද සෑම ආත්මභාවයක දී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්‍ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්‍රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඤාති මිත්‍රාදීන්ට ද, අගහිඟකම් ඇති අයට ද පරිත්‍යාග කළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම කළ නො හැකි තරම් ය.

පාත්‍ර –භාජන පිදීම

පතතේ සුගතේ දත්වා – සංඝේ ගණ වරුත්තමේ

දසානිහංසේ අනුභෝමී –

කම්මානුච්ඡවිකෙ මම

බුදුරජාණන් වහන්සේ ට ද, මහා සංඝයා වහන්සේට, ද පාත්‍ර සහ ආහර ගැනීමේ දී වුවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිසංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්ප ආදී භාජන ලැබීම ,

2. අහාර පාන ගැනීමේ දී කැස්ස – හිරවීම, දිව තොල හැපීම බඳු උපද්‍රව ඇති නොවීම,

3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම ,

4. සැමදා කාගේත් ගෞරවයට පාත්‍ර වීම,

5. දේපළ ගින්නෙන්, ජලයෙන් කෘමීන් ආදි සතුන්ගෙන් විනාශ නො වීම,

6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම,

7. සැමදා ධර්මයට කැමැත්තකු වීම,

8. කෙලෙස් අඩු ගතිය ,

9. කාගේත් සිත් දිනාගැනීමට හැකි වීම,

10. දෙවි මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම ,

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]