[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

සිල්වත් භික්ෂුව

සැදැහැවතුන්ගේ සිව්පසය වළඳන භික්ෂූන් වහන්සේ නමක් වන්දනීය, පූජනීය වන්නේත්, පුණ්‍යක්ෂේත්‍ර වන්නේත් ප්‍රාණඝාත, අදත්දාන හැර දමා අබ්‍රහ්මචාරී දුරලා, බඹසර රැක බොරු කීමෙන් වැළකී, ඇත්ත කියා, බොල් දෙඩවිලි හැර දැමූ, කාලෝචිත ව කතා කරන සුළු වූයේ උතුම් සිතුම් පැතුම් හා ගති පැවතුම් ඇති කල්හි ය.

ධර්ම විනය ගරුක සිල්වත් භික්ෂූන් වහන්සේට දේශපාලන වේදිකාවට වැඩම කොට අසුන් ගැනීමට ආරාධනා කළහොත්, පන්සිල් දීම හා ධර්මානුශාසනය කිරීම උචිත ය.

පක්ෂග්‍රාහී ව දේශනා පැවැත්වුවහොත් අනෙක් පාක්ෂිකයෝ විරුද්ධ වන්නාහ. එකල්හි වන්දනීය, පූජනීය තත්ත්වය සීමා වීම කරණකොට ගෙන උන්වහන්සේලාගේ අනුශාසනාව කෙරෙහි ජනතාවගේ පැහැදීම ඇතිවිය නො හැක.

භික්ෂූන් වහන්සේ පක්ෂ දේශපාලනයට ගිජු වීමෙන් භික්ෂුත්වය පිරිහේ. භික්ෂූන් වහන්සේ ගිහියන් මෙන් ආහාරපාන වර්ග, මනාප අන්දමින් රැස් කරගෙන අනුභව කරන කල්හි ද, භික්ෂු ජීවිත පුද්ගලික ජීවිත බවට පෙරළේ. එබඳු තත්ත්වයක් ඇතිවන විට ඉලක්කය වැරැදී සියලු දුක් නැතිකොට නිවන ප්‍රත්‍යක්ෂ කොට ගැනීමේ ගිවිසුම කැඩීම හේතු කොටගෙන නො මඟ යෑමෙන් භික්ෂුත්වය කෙලෙසේ.

භාවනා කරන භික්ෂුව පළමුවෙන් සිල්වත් විය යුතු ය. අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැකිවන්නේ සිල්වත් වූ කල්හි ය. සත්ත්වයන්ට පෘථිවිය මෙන් යෝගාවචර භික්ෂූන්ට සීලය ප්‍රතිෂ්ඨාව ම වෙයි.

****

දශක දොළහක් පුරා බැබළෙන මහනුවර සංඝරාජ මහ පිරිවෙන

පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

මෙම ලිපියේ මුල් කොටස වප් පුර පසළොස්වක (ඔක්තෝබර් 30) පත්‍රයේ පළවිය. අද පළවන්නේ එහි අවසන් කොටසයි.

ආරම්භයේ සිටම මල්වතු මහා විහාර පාර්ශ්වයීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ මෙම පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ධුරය දැරූ අතර පිරිවෙන, ආරම්භ කිරීම සඳහා පුරෝගාමී වූ යට කී ගෞරවාර්හ මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමියෝ පරිවේණාධිපති ධුරය දැරූහ.

මහාවංසයට අනුව බුදුරදුන්ගේ පාත්‍ර ධාතූන් වහන්සේ නිධන්කොට ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේත්, වීර වික්‍රමබාහු මහ රජු විසින් කරවන ලද දෙමහල් උපෝෂථාගාරයත් , සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ සුරතින් රෝපණය කෙරුණු බෝධීන් වහන්සේත් මධ්‍යයෙහි ඉදිකෙරුණු මෙම විද්‍යාස්ථානයෙහි දියුණුව පිණිස එකී ඓතිහාසිකත්වය ද මහත් ආශිර්වාදයක් විය.

වසර 123 ක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන සංඝරාජ පිරිවෙන ආරම්භයේ පටන් තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝ රත්නයේ ම සුවිශේෂී සිප්හල බවට පත්විය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය මත පරිවේණාධිපති හිමි ප්‍රමුඛ දක්ෂ ආචාර්‍ය මණ්ඩලයකින් සමන්විත වෙමින් ගතවූ දශක දොළහක කාලය තුළ රටට දායාද කළ වියතුන්ගේ ප්‍රමාණය අතිමහත් ය. වර්ෂ 1969 දී විශ්ව විද්‍යාල පිරිවෙනක් ලෙස කීර්තියට පත් සංඝරාජ පිරිවෙන 1980 වර්ෂයේදී මහ පිරිවෙනක් බවට පත්විය.

ආරම්භයේ සිට මේ දක්වා පරිවේණාධිපති හිමිවරු

1. මල්වතු මහා විහාරාධිවාසී අති ගෞරවාර්හ පවර නේරුත්තික විනයාචාර්‍ය මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1897 - 1940)

2. මල්වතු මහා විහාරාධිවාසී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාන්තර්ගත රාජකීය පණ්ඩිත මාබෝපිටියේ ශ්‍රී මේධංකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1940- 1943)

3. මහනුවර උපෝෂිථ පුෂ්පාරාම විහාරද්වයාධිපති අති ගෞරවාර්හ අමුණුගම රාජගුරු ශ්‍රී විපස්‍යභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ (1943 - 1969)

4. මහනුවර උපෝෂිථ පුෂ්පාරාම විහාරද්වයාධිපති අති ගෞරවාර්හ සිරිමල්වත්තේ ශ්‍රී සුමන පණ්ඩිත ආනන්දාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ (1969 - 1981)

5. මල්වතු මහා විහාරාධිවාසී අති ගෞරවාර්හ රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ පඤ්ඤාසේකරාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1981 - 1992)

6. මල්වතු මහා විහාරාධිවාසී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී වල්ගොව්වාගොඩ විමලබුද්ධ්‍යභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1992 - 1994)

7. මල්වතු මහා විහාරාධිවාසී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාන්තර්ගත රාජකීය පණ්ඩිත මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1995 - 1997)

8. මල්වතු මහා විහාරාධිවාසී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාන්තර්ගත කුළුගම්මන ධම්මරක්ඛිතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1997 - 2010)

9. මල්වතු මහා විහාරාධිවාසී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාන්තර්ගත නැහිණිවල ශ්‍රී සුමන පියදස්ස්‍යභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2011 -2017 )

10. මල්වතු මහා විහාරාධිවාසී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාන්තර්ගත දර්ශනපති මිණිගමුවේ රතනපාලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2017-සිට )

ශ්‍රී සංඝරාජ මහ පිරිවෙන මඟින් රටට දායාද කළ ශිෂ්‍ය පිරිස අතර මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ශ්‍රීමත් මහානායක හා අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙන්ම නිකායත්‍රයටම අයත් වූ ව්‍යක්ත වූ ද, විශාරද වූ ද ප්‍රතිබල සම්පන්න භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය අසීමිත ය. වර්තමානයේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ද අතිගෞරවාර්හ දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජකීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද අතිගෞරවාර්හ වේඬරුවේ ශ්‍රී උපාලි අභිධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද මෙම පරිවේණස්ථානයෙහි ශාස්ත්‍රෝත්ග්‍රහණයෙහි නිරත වූ කීර්තිමත් ආද ිශිෂ්‍යවරයාණන් වහන්සේලා ය.

මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති,
සති පාසල නිර්මාතෘ, ප්‍රධාන අනුශාසක
උඩඊරියගම ධම්මජීව හිමි

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]