[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විද්‍යාලංකාර පිරිවෙනේ ස්වර්ණමය යුගය උදා කළ

විද්‍යාලංකාර පිරිවෙනේ ස්වර්ණමය යුගය උදා කළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි

මෑත යුගයේ මෙරට විසූ අති සම්භාවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සකල ලක්වාසී ගිහි පැවිදි හැම දෙනාගේ ම සම්භාවනාවට ලක් වූහ.

ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසු හතළිහ දසකයේ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවියට පත්වූ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ 1960 වර්ෂයේ විශ්ව විද්‍යාලය ආරම්භ වන තෙක් ම විද්‍යාලංකාර පරිවේනාධිපති පදවිය ඉසිලූහ. මෙම කාල වකවානුව විද්‍යාලංකාර පිරිවෙනේ ස්වර්ණමය යුගය ලෙස සලකනු ලැබේ.

රටේ දේශපාලන පෙරළියට මෙන්ම ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයට හේතුවන කරුණු රැසක් ක්‍රියාත්මක වන්නේ ද, ඒ සඳහා විද්‍යාලංකාර පිරිවෙන නායකත්වය ලබා ඇත්තේ ද මෙම යුගයේ දී ය. 1946න් පසු එළඹෙන යුගයේ නව දේශපාලන චින්තන ධාරා දියත්වීම හා එම චින්තන ධාරාවන්ට විද්‍යාලංකාර පිරිවෙනේ ආශිර්වාදය යොමුවීමෙන් රටේ නව ප්‍රබෝධයකට මග පෑදුණේ ය.

මේ යුගයේ විද්‍යාලංකාර පිරිවෙන ශෝභාමත් කළ මහා පඬිවරුන් රැසක් වූහ. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥා රාම, හැඩිපන්සල ප්‍රඥාලෝක , කොටහේනේ ප්‍රඥාකීර්ති, නාරාවිල ධම්මරතන බඹරැන්දේ සිරි සීවලී, වල්පොළ රාහුල , නාත්තන්ඩියේ පඤ්ඤාසේකර ආදි මහා යතිවරු ප්‍රමුඛස්ථානය ගත්හ. උන්වහන්සේලා කළ දේශනා සාකච්ඡා මෙන් ම සම්පාදිත විවිධ ග්‍රන්ථ මේ යුගය ස්වර්ණමය යුගයක් කරා යොමුවීමට හේතුවිය.

ජාත්‍යන්තර මහා උගතුන් රැසක් ද මේ වන විට විද්‍යාලංකාර පිරිවෙනට පැමිණ ධර්ම ශාස්ත්‍රීය සේවයට එක්වූහ.

කිරිවත්තුඩුවේ නා හිමියෝ විචිත්‍ර ධර්ම කථිකයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. උන්වහන්සේ ධර්ම දේශනා නොකළ ධර්ම ශාලාවක් මේ රටේ නොමැති තරම් ය. මේ රටේ සියලුම නිකායික මහා සංඝයා වහන්සේගේ මෙන්ම සියලුම දේශපාලන නායකයන්ගේ ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ එකම යතිවරයන් වහන්සේ උන්වහන්සේ ය.

උන්වහන්සේගේ සේවය, පැවැත්ම හා කාරුණික උපශාන්ත ගුණයත් මුළු රටම දිනා ගැනීමට හේතුවිය. මුළු රටම විද්‍යාලංකාරයට යොමුවීමට උන්වහන්සේගේ මෙම උදාර චරිත ලක්ෂණ හේතුවක් වූයේ ය.

රජ මැදුරේ සිට අහිංසක දුගී දුප්පතාගේ නිවසට පවා වැඩම කරමින් සිය සේවය ඉටුකිරීමට උන්වහන්සේ කාරුණික වූහ.

කඨිනවංශය, පාලි සිංහල පිරිත් පොත, ප්‍රාකෘත සාහිත්‍යය, කාන්තාව හා සමාජය ආදි ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ අතර දහස් සංඛ්‍යාත ධර්ම ශාස්ත්‍රිය ලිපි සම්පාදනය කළහ.

කිරිවත්තුඩුවේ නාහිමියන් වහන්සේගේ සේවය අගය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආගම චක්‍රවර්ති සම්මාන උපාධිය පිරිනමා උන්වහන්සේට ගෞරව දැක්වීය.

1970 වර්ෂයේ සැප්තැම්බර් 23 වන දින උන්වහන්සේ අපවත්වූ සේක. එවක් පටන් උන්වහන්සේ සිහිපත් කර ගුණානුස්මරණ පින්කම් වාර්ෂික ව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම පැවැත්විය. යාපනය, මන්නාරම හැරුණුවිට අන් සැම දිස්ත්‍රික්කයක ම මේ දිනයේ ගුණානුස්මරණ පින්කම් පවත්වා දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට දන් පිරිනැමූහ. යුද සමයේ පවා ආරක්ෂක සෙබළුන්ගේ සහයෝගය ඇතිව භික්ෂූන් වහන්සේ ඒ ඒ ස්ථානවලට වැඩමවා මෙම ගුණානුස්මරණය සිදුකිරීම සුවිශේෂ සිද්ධියක් විය. 49 අවුරුද්දක් ම මේ අන්දමට රටපුරා සැරිසරමින් පැවැත්වූ කිරිවත්තුඩුවේ නාහිමි ගුණානුස්මරණ පුණ්‍යෙීත්සවයේ 50 වන ගුණානුස්මරණය පසුගිය 23 වෙනිදා විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි. අප නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]