[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිථ්‍යා විශ්වාස නිසා විනාශයට යන බෞද්ධ උරුමය

බොදු උරුමය සුරකිමු - 1:

මිථ්‍යා විශ්වාස නිසා විනාශයට යන බෞද්ධ උරුමය

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසකට අධික බව අනුමාන කෙරේ. මේවායෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිතව ය.

ඓතිහාසික අවධියට අයත් පූජනීය, අර්ධ පූජනීය නිර්මාණයන්ට ගැනෙන දාගැබ්, ප්‍රතිමාඝර, බෝධිඝර ආදි වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සහ ප්‍රතිමා සඳකඩපහණ ආදි සෙසු කලා කෘති ස්පර්ශනීය උරුමයට අයත් වේ. බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිත ව ගොඩනැඟී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස අයත් වන්නේ අස්පර්ශනීය බෞද්ධ උරුමයට ය.

මිථ්‍යා විශ්වාස

ශ්‍රී ලංකාවේ පැරණි ග්‍රාම සීමා නිශ්චය කිරීම හා සීමා ලකුණු කිරීම පිළිබඳ සලකුණු, සකසන ලද ශිලා පුවරුවල මෙන් ම වැඩි වශයෙන් පිහිටි පර්වතවල දක්නට ලැබේ.

“මෙරට මුහුදු තෙර පටන් කඩියාව දක්වා ගල්ටැම් වෙයි. දඹදෙණි කඩඉම දක්වා ඇත් පියවර, රන්දුනු, චන්ද්‍රායුද, සිරිවැස, චාමර, අඹගෙඩි, කොටවන ලද ගල්ටැම් හා ගල් ගිරිකුළු ඇතියේ ය.” කඩයිම් සීමා පිළිබඳ ව සටහන් වී ඇති ලේඛනය අත්‍යවශ්‍ය රාජකීය ලේඛනයක් ලෙස ද සලකා තිබේ. පසුකාලීන ව ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත්වල වෙන් වෙන්ව පැවති කඩයිම් සීමා පිළිබඳව රචිත ලේඛනය වාර්තා වේ. මාතලේ කඩයිම් පොත හා ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත ඒ සඳහා නිදර්ශන වේ.

කඩයිම් පොත්වල සඳහන් ස්ථාන නාම සහ වෙනත් සීමා සහ ස්ථාන යොදා ගෙන රචනා කරන ලද අව්‍යක්තලේඛන ඇතැමෙක් 'නිධන්වදුල' වශයෙන් හඳුන්වයි. එම ස්ථානවල වටිනා වස්තු තැන්පත් කර ඇතැයි මිථ්‍යා විශ්වාසයක් ජන සමාජය තුළ තදින් මුල් බැස පවතී.

මිථ්‍යා විශ්වාස නිසාවෙන් පිහිටි පර්වත, ආගමික නටබුන් හා ශිලා ලේඛන ආශ්‍රිත ව දක්නට ලැබෙන සලකුණු හා සංකේත විනාශ කිරීම සිදු වේ. බුද්ධ ප්‍රතිමා සහ ස්තූපවල වටිනා වස්තු තැන්පත් කර ඇතැයි යන්න තවත් මිථ්‍යා විශ්වාසයකි.

බුද්ධ ප්‍රතිමා සහ ස්තූපවල යන්ත්‍ර ගලෙහි (රතන වින්‍යාසය) පූජනීය වස්තු, අෂ්ට මංගල සහ දිශා භාර සංකේත ආදී චාරිත්‍රමය මෙන් ම සංකේතාත්මක ද්‍රව්‍ය තැන්පත් කිරීමක් විනා වස්තු සම්භාරයක් තැන්පත් කර නොමැත යන සත්‍යයට බොහෝ දෙනෙක් එකඟ නොවෙති. නිධන් මිථ්‍යාව පිළිබඳව විශ්වාස කරන බොහෝ දෙනෙක් පැරණි ශ්‍රී ලංකාවේ ශෛලමය පාෂාණ උණු කිරීමේ තාක්ෂණයක් පැවති බව විශ්වාස කරති. ශෛලමය බුද්ධ ප්‍රතිමාවල තැන්පත් වටිනා වස්තු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශීර්ෂය, උදරය හා පපු පෙදෙස කඩා විනාශ කරනු ලබයි. ඇතැම් බුද්ධ ප්‍රතිමාවල අභ්‍යන්තරයෙහි වටිනා වස්තු අලවා ඇතැයි යන විශ්වාසයෙන් ප්‍රතිමා පුපුරුවා ඇති අවස්ථා ද වේ.

ගල් කටුව හා මිටිය භාවිත කරමින් පැරණි නිර්මාණ ශිල්පියා ශෛලමය නිර්මාණ සිදු කළ බව අපි දනිමු. නිර්මාණකරණයට අදාළ පාෂාණ ශේෂයන් වෙන් කරවා ගැනීම සිදු වන්නේ කටුව හා මිටිය යොදා ගනිමිනි. තන්තිරිමලේ ප්‍රතිමා කර්මාන්තය පිළිබඳ දැක්වෙන අවස්ථා ඊට නිදර්ශන වේ. මෙම ක්‍රියාවලිය වර්තමාන සමාජයේ සාමාන්‍ය ගල් කොරිවල බෝර ගැසීමට ද යොදා ගනී.

දඹරන් ප්‍රතිමා සංකල්පය සමාජයේ පවතින තවත් එක් මිථ්‍යා විශ්වාසයකි.අමිශ්‍ර රත්‍රං ලෝහය යොදා ගෙන ඝන වාත්තු ක්‍රමයෙන් තැනූ කිසිදු ප්‍රතිමාවක් මේ දක්වා දිවයිනෙන් හමු වී නොමැත. හමු වන සියලු ම ප්‍රතිමා ලෝකඩ තඹ මිශ්‍ර ලෝහයෙන් නිර්මිත ඉතා තුනීයට රන් ආලේපිත ප්‍රතිමා පමණි. ඇතැම් අවස්ථාවල ඉතා තුනී රන් තහඩුවලින් නිමවා ප්‍රතිමාවේ අභ්‍යන්තරයට බදාම යොදා සකස් කරන ලද බුද්ධ ප්‍රතිමා ද වේ. බොහෝ අවස්ථාවල දඹරන් ප්‍රතිමා ඇතැයි විශ්වාස කරමින් විහාරස්ථානවලින් බුද්ධ ප්‍රතිමා පැහැර ගත් අවස්ථා වේ. කහටවිලගෙදර විහාරයට තෙවතාවක් පැමිණි පිරිස් දඹරන් ප්‍රතිමාව නමින් නම් කර ඇති බුද්ධ ප්‍රතිමාව පැහැර ගෙන ගොස් තිබේ. ප්‍රතිමාව නිර්මිත පාෂාණය තහවුරු කර ගැනීමෙන් පසුව අතහැර තිබේ. නුවර කටාරන්ගල ප්‍රතිමාවට ද දැඩි ව හානි කර තිබෙන අතර කසාගල විහාරය සතුව තිබූ ප්‍රතිමාවන් ද පැහැර ගෙන ගොස් තිබේ. මෙම මිථ්‍යා සංකල්පය සමාජගත වීමට සාවද්‍ය මාධ්‍ය භාවිතය ද හේතුවකි. බොහෝ අවස්ථාවල මෙවැනි සිද්ධි පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ දී අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කිරීම ඊට හේතුවයි.

වචනය අලෙවි කිරීම

නිදන් වස්තු යන සංකල්පයට වානිජමය වශයෙන් ගත් ඉහළ වටිනාකමක් පවතී. එම වටිනාකම “නිදානය” යන වචනය අලෙවි කිරීමෙන් ඇති වූවකි. මෙම සංකල්පය නිදන් වස්තු මාෆියාවක් නැතහොත් ජාවාරමක් දක්වා වර්ධනය වී තිබේ. දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක මෙම සාමුහික ජාවාරමේ ස්වරූප කිහිපයකි. නිදානයකින් ලබා ගත් යැයි පවසමින් රත්‍රං නැතහොත් මරංචි සහ රත්‍රං කාසි අලෙවි කිරීම බහුල ව සිදු වන ක්‍රියාවකි. රත්‍රං ආලේපිත මරංචි හෝ කාසි කිහිපයක් ගැනුම්කරුවාට පෙන්වා මුළාවට පත් කොට ඊයම් යොදා ව්‍යාජව සකස් කරන ලද මරංචි හෝ කාසි විශාල මුදලකට ගැනුම්කරුවාට අලෙවි කරයි. ජාවාරම මෙහෙයවන පුද්ගලයන් විසින් ම ගැලපුම්කරුවා පිළිබඳ අදාළ තොරතුරු පොලිසියට ලබා දෙනු ලැබේ.

පිහිටි පර්වතවල හෝ ශිලා ලේඛනවල දක්නට ලැබෙන සලකුණු හා සංකේත පෙන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වේ. බොහෝ අවස්ථාවල සිදු වන්නේ පිහිටි පර්වතවල හෝ පැරණි ගොඩැලිවල ව්‍යාජ ව සකස් කරන ලද සත්ත්ව හා විවිධ සලකුණු පෙන්වා මුළාවට පත් කිරීමකි. මෙම ක්‍රියාවලිය ද සංවිධානාත්මක ව සිදු වන්නකි. නිදානය සහිත ස්ථානය පෙන්වීම, ගැනුම්කරුවන් මුළාවට පත් කිරීම හා නිදානය රැගෙන දෙන මුවාවෙන් ව්‍යාජව පෙනී සිටින කපුවන් ද එම කණ්ඩායමට අයත් වෙති.

ධනවත් ගැනුම්කරුවන් මුළාවට පත් කිරීම සඳහා ව්‍යාජ ව සටහන් කරන ලද ශිලා ලේඛන හා තඹ පත් යොදා ගත් අවස්ථා ද වාර්තා වේ. බොහෝ දෙනකුගේ විශ්වාසය,ඓතිහාසික ලේඛනවල නිදන් පිළිබඳ හා ඒවා ලබා ගැනීම පිළිබඳ තොරතුරු අන්තර්ගත බව යි. එකී බලපෑමෙන් ඓතිහාසික කරුණු අන්තර්ගත ශිලා ලේඛන විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ.

සංවිධානාත්මක ව සිදු කෙරෙන ජාවාරම්කරුවෝ ව්‍යාජව සකස් කරන ලද සත්ත්ව සංකේත (ඉබ්බා, මාළුවා), ව්‍යාජ රත්‍රං තැඹිළි ගෙඩි සහ තෙල් බෝතල් පෙන්වා මුදල් ලබා ගැනීමේ ක්‍රියාවන් ද සිදු කරති. ගල් කුඩු හෝ සිමෙන්ති යොදා ගෙන සකස් කරන ලද මෙම ද්‍රව්‍ය මාස කිහිපයක් ජලය මිශ්‍ර කොළ අතු අතර තබා බාහිර පැහැය වෙනස් කොට ගැනුම්කරුවන්ට ලබා දෙයි. තෙල් බෝතල් වශයෙන් ලබාදෙන බෝතල්වල බ්‍රාහ්මි අක්ෂරවලට සමාන අක්ෂර හා සංකේත යොදා ඇති ආකාරය ද දැකගත හැකි ය. බොහෝ දෙනකුගේ පිළිගැනීම වන්නේ මේවා සැබෑවට ම නිදානයකින් ලබා ගත් ද්‍රව්‍ය බව යි.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]