[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයකි

ගිහි පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයකි

චන්දෝපම ප්‍රතිපදාව හඳුනාගන්න

මහා කරුණාව බඳු මහා ප්‍රඥාවක් ඇති බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මිනිස් නොමිනිස් කා හට වුවද ජාති, මරණ දුකේ දී පිහිට වන්නේ බුදුරජුන් පමණි. ඒ බුදුරදුන් තම ගුරුවරයා ලෙස පිළිගන්නෝ බෞද්ධයෝ වෙති. ඔවුහු සසර දුක නිමා කිරීම පිණිස බුදුසරණ ලැබූවෝ ය. බුදු බණට අවනත වූවෝ ය. සඟ අණට මෙල්ල වූවෝ ය.

එකී තුන් සරණ ලැබූ පිරිස ගිහි - පැවිදි වශයෙන් කොටස් දෙකකි. ගිහියා පැවිද්දාට සිව්පසයෙන් උපකාර කරයි. පැවිද්දා ඔවුනට බුදු බණ කියා දෙයි. මෙලෙසින් දෙපිරිස ම බුදු මග ගමන් කරයි. එහෙත් ගිහි – පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයක් විය හැකි ය. ඒ බව දුටු බුදුරජාණන් වහන්සේ පැවිද්දා ගිහියන් හා පවත්වන ඇසුර කෙසේ විය යුතු දැයි උපමාවක් ඇසුරින් වදාළහ. එය ‘චන්දෝපමාව යි. එය මෙසේය. “චන්දුපමා භික්ඛවෙ කුලානි උපසංකමථ අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං නිච්චනවකා කුලේසු අප්පගබ්භා (කස්සප සංයුත්ත) “මහණෙනි නුඹලා ගිහියන් කෙරෙන් කය ද සිත ද ඉවත් කරගෙන සැම කල්හි ආගන්තුක ව චන්ද්‍රයා මෙන් ගිහියන් වෙත එළඹෙව්”

මේ ප්‍රකාශය ගිහි – පැවිදි දෙපිරිසට ම එකසේ වැදගත් වේ. දිනක් පාසා වෙනස් වන නිසා චන්ද්‍රයා සැමවිට ම ලෝකයට අලුත් ය. කිසිවකු හා අමුතු හාදකමක් ඇල්මක් නැති නිසා සියල්ලන්ට සාධාරණ ව අහස් කුස ගමන් කරයි. භික්ෂුව ද චන්ද්‍රයා සදිසි ව කිසිදු ගිහියෙකු සමඟ අනවශ්‍ය හිතවත්කමක් , මිතුරුකමක් නොමැති ව සැමට සාධාරණ ව හැසිරිය යුතු ය. අවුරුදු ගණනාවක් පුරා හඳුනන ගිහියන් සමඟ වුව ද ආගන්තුකයන් ලෙසින් පිළිපැදිය යුතුය. ගිහියන්ගේ කටයුතු කර දෙන්නකු නොවිය යුතු ය.

ගැඹුරු ළිඳකින් වතුර ගන්නා පුද්ගලයා තම කය හා සිත ළිඳට බර නො කර නිතර ම පිටුපසට ඇදගෙන ළිඳේ නො වැටී පැන් ගන්නාක් මෙන් භික්ෂුව විසින් ගිහියන් හා මුසු නොවී සිත, කය දෙකම ඔවුන් කෙරෙන් ඉවතට ඇදගෙනම ගිහියන් අතර හැසිරිය යුතු ය. ඔවුන් පුදන සිව්පසය පිළිගත යුතු ය. එලෙසින් කටයුතු කරන පැවිද්දාගේ එම ප්‍රතිපදාව බුදුරදුන් වදාළ චන්දෝපම ප්‍රතිපදාව යි.

පැවිද්දාගේ සහයෝගය නැතිව ගිහියාට ධර්ම මාර්ගයේ ගමන් කළ නො හැක. පැවිද්දාට ද ගිහියාගේ උපාකරයෙන් තොරව ජීවත් විය නො හැක. එහෙත් දෙපිරිස ම තම තම යුතුකම් මනාව හඳුනාගත යුතු ය. චීවරාදී සිව්පසය කැපසරුප් ලෙස සුදුසු කල්හි පූජා කිරීම හා සැපදුක් විමසා බලා පැවිද්දන්ට උපාකර කිරීම ගිහියන්ගේ යුතුකමකි. ගිහි ඇත්තන්ට පිරිසුදු ලෙස බුදු බණ ඉගැන්වීම හා ඔවුනට සසරදුක පෙන්වා දීම ද, චතුරාර්ය සත්‍යය ගැන කියවා දීම ද පැවිද්දාගේ යුතුකමකි. බුදුරදුන් බහුකාරක සූත්‍රයේ දී පෙන්වා ඇති පරිදි ගිහි ජීවිත ගත කරමින් ධනය ද, ශීලාදි ගුණ ධර්මයන් ද සම්පාදනය කරන්නාවූ ගිහියෝ සිල්වත් හා ගුණවත් පැවිදි ශ්‍රාවකයන් නිසා ඔවුන්ගේ වචන විශ්වාස කරමින් ගුණධර්ම පුරා මරණින් මතු දෙව්ලොව උපදිති. එහෙත් ඇතැම් පැවිද්දන් ඇසුරු කරන ගිහියෝ නො දැනුවත්ව ම බොහෝ පව් රැස් කොට අපාගත වෙති. එහිලා ගිහි උදවියට දෝෂාරෝපණය කිරීම ද සුදුසු නොවේ. පැවිද්දා තමනුත් අපා දුකින් බේරී , ගිහියන් ද අපා දුකින් බේරා ගැනීමට කටයුතු කළ යුතු ය.

ගිහියන් අපට සැලකිය යුතු යැයි සිතීම මෝඩ අදහසක් වේ. ඒ අදහස ඇති තාක් පැවිද්දාට පැවිද්ද තුළ තෘප්තියක් ලද නො හැක. එමගින් නිතර නිරත සිත් රිදවා ගැනීම් ඇතිකර ගන්නා පැවිද්දා ගිහියන්ට නින්දා කර ඔවුන්ගේ ඇති පැහැදීම ද නැතිකර දමයි. සිව්පසය පූජා කිරීම සඳහා ගිහියන්ට සිත් පහළ වන පරිදි භික්ෂූන් හැසිරේ නම්, ගිහියෝ කිසි විටෙකත් භික්ෂූන් කුසගින්නේ නො තබති.

පැවිද්දන්ට සැලකීම සඳහා ගිහියන් පොරොන්දු ලබා දී නැත. තමාගේ කැමැත්තෙන් පැවිදි වූ භික්ෂූහු ලැබෙන ඕනෑම චීවරයකින්, ආහාරයකින්, සෙනසුනකින්, බෙහෙතකින් යැපිය යුත්තාහුය. සතුටු විය යුත්තාහු ය. පැවිද්දාගේ ජීවිතය සරසන ආභරණ අතර අප්ජිච්ඡතා , සන්තුට්ඨිතා යන ගුණ දෙක ඉතා වැදගත් වේ. බොහෝ දේ වැඩි වැඩියෙන් බලාපොරොත්තු නො වන බව අප්පිච්ඡතාව යි. ලද දෙයින් සතුටු වීම සන්තුට්ඨිතාව යි.

කස්සප සංයුත්තයේ දැක්වෙන පරිදි භික්ෂුවක් ‘ගිහියන් මට ඇති පමණ දෙන්නට ඕනෑ ය. ප්‍රණීතව ඉක්මනින් දෙන්නට ඕනෑ ය. සැලකිල්ලෙන් හා ගෞරවයෙන් දෙන්නට ඕනෑ ය’ කියා සිතයි නම් ඔහු ගිහියන් කරා සිව්පසය සඳහා යාමට නුසුදුසු ය. දන් දෙනු කැමැත්තෝ දෙත්වා. ‘ නො දෙනු කැමැත්තෝ නො දෙත්ව‘ වැඳුම් පිදුම් කරනු කැමැත්තෝ කරත්වා. නො කරනු කැමැත්තෝ නො කරත්වා 'යි යම් භික්ෂුවක් ගිහි ගෙවලට එලැඹේ නම් උන් වහන්සේ ඒ සඳහා සුදුසු ය.

මහණකම යනු ගිහියන්ගේ වුවමනාවට සිදුකරනු ලබන්නක් නො විය යුතු ය. මේ අපගේ දායකයන්ය කියා ගිහියන් අයිතිකර ගැනීම ද ලාමක ක්‍රියාවකි. මේ අපගේ භික්ෂූන් ය. මේ අපගේ භික්ෂූන් නො වේ යැයි ගිහියන් විසින් භික්ෂූන් වර්ග කර අයිතිකර ගැනීම ද ලාමක ය. කිසි ගිහියෙකු සමඟ විශේෂ බැඳීමක් නො මැති පැවිද්දන්ට කිසි පැවිද්දකු සමඟ විශේෂ බැඳීමක් නැති ගිහියන් විසින් දෙනු ලබන සිව්පසය හේතුවෙන් සසුන් පිළිවෙත චිරස්ථායි වේ. එහෙත් යම් භික්ෂුවකගේ සීලාදී ගුණධර්මයන් කෙරෙහි යම් ගිහියකුගේ සිත තුළ අතිරේක වූ පැහැදීමක් ඇතිවේ නම් , එහි ද වරදක් නැත.

පැවිද්දා අල්පේච්ඡ විය යුතු යැයි කියමින් භික්ෂුවගේ දොස් උලුප්පමින් නින්දා කරන ගිහියා උපාසක චණ්ඩාලයෙකු යැයි වදාරා ඇති බැවින් මොනම හේතුවකින් හෝ හෝ ද්වේෂ පරවශව පැවිද්දන්ට බණ වැදීමේ අයිතියක් ගිහියන්ට නැත. පැවිද්දා ගිහියන්ට වගකිව යුත්තේ නො වේ. ඔහු වගකිව යුත්තේ බුදුරදුන් ය. ධර්මයට හා සංඝරත්නයට පමණි.

අස්ථානයෙහි පහදින ගිහියා ද ශාසනයට වින කරන්නෙකි. තමා වෙත පැහැදී පින් රැස්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගිහියෙකු යමක් පූජා කරන විට එය පිළිගැනීමේ නිදහස ඕනෑම පැවිද්දකුට තිබේ. එහිලා කිසිදු පැවිද්දකුට බලපෑම් කළ නො හැකි ය. අපගේ දායකයන් දෙන දේ නුඹ නො ගත යුතු යැයි කීමේ අයිතියක් කිසිදු භික්ෂුවකට නැත.

අප පිදූ දන් වැළඳූ භික්ෂූන් අපගේ මරණයට, බණට පිරිතට ආවේ නැතැයි කියමින් යම් ගිහියෙක් සිතයි නම් එය ද වරදවා ගත් අදහසකි. දන් පිදිය යුත්තේ සුගිත හා නිවන් සම්පත් බලාපොරොත්තුවෙන් මිස වෙන යම් අදහසකින් නො වේ. එහෙත් භික්ෂුව තමාට සිව්පසයෙන් උපකාර කරන ගිහියන්ගේ කරුණාබර ගුණය අමතක නො කළ යුතුය.

කළගුණ සැලකීම උසස් ගුණයක් ලෙස බුදුහු වදාරති. එක් වයස්ගත බ්‍රාහ්මණයකු පැවිද්ද ඉල්ලූ විට ඔහු වයස්ගත බැවින් භික්ෂූහු එය ප්‍රතික්ෂේප කළහ.

එවිට බුදුරදුන් භික්ෂුන්ගෙන් විමසුයේ මෙම බමුණාගෙන් යම් කුඩා උපාකරයක් හෝ ලද භික්ෂුවක් නුඹලා අතර නැති ද කියායි. එය ඇසූ සාරිපුත්ත මහා ස්වාමීහු එම බමුණා දිනෙක තමාට එකම බත් හැන්දක් බෙදූ බව සිහිකොට ඔහු පැවිදි කළහ. එබැවින් පැවිද්දා සුදුසු කරුණුවලදී පමණක් ගිහියන්ට පිහිට විය යුතුය. එහෙත් ඔවුනට සඟසතු දෑ දීම්, ඔවුන්ගේ පණිවිඩ හුවමාරු කිරීම, වෙදකම් වැනි දේ කිරීම කිසිසේත් සුදුසු නො වේ. අවවාද, අනුශාසනා, බණ, පිරිත් ආදියෙන් ගිහියන්ට සැලකීම යෝග්‍ය වේ.

චන්දූපමාව උල්ලංගනය කොට සබඳතා පවත්වන පැවිද්දා ද, ශ්‍රද්ධාදී උපාසක ගුණවලින් තොරව පැවිද්දන් ඇසුරු කරන ගිහියන් ද නිසා සසුන් පිළිවෙත අතුරුදන් වී යනු ඇත. දෙපිරිසගේ ම සිත්වල තණ්හා, මාන, දිට්ඨි ආදි පාපී සිතිවිලි බලවත්වීම ඊට හේතුව යි. පාපී සිතකින් කරනු ලබන කිසිවක් යහපත පිණිස නො පවතී. චන්දෝපම පටිපදාවෙන් අගතැන්පත් මහා කාශ්‍යප රහතන් වහන්සේ දෙවි බඹුන්ගේ පවා ප්‍රසාදයට ලක් වූ සැටි ආශ්චර්යමත් ය. ඒ පිළිබඳ වැඩි විස්තර කස්සප සංයුත්තයෙන් හා එම අටුවාවෙන් බලා ගත යුතු ය. ගිහි පැවිදි දෙපිරිස ම තම වගකීම හා යුතුකම ද ප්‍රතිපදාව හඳුනා අත්‍යාදර ගෞරවයෙන් යුතුව පිළිපැදීම තුළින් ගෞතම බුදුසසුන බොහෝ කලකට ආයු ශී‍්‍ර ලබනු ඇත. එය අප විසින් සමස්ත සත්ත්ව වර්ගයාට ම දෙනු ලබන අමා ශාන්තියක් වනු ඇත.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]