[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

ස්වර්ණමාලී මහා සෑ රද

මහමෙව්නාව සඳ කිරණින් නෑ වෙද්දී
සුදුවත් දරා සැදැහැති පෙරහර යද්දී
කොත රැඳි මැණික රැස් දහරා පතු රද්දී
රන්මැලි සෑය වැඳ ගමු සිත සැන සෙද්දී

කිරි බුබුළක් ය මුළු රජරට බැබ ළෙන්නේ
හෙළ රජ දවස සිට රැස් කඳ විහි දෙන්නේ
සිව් මහ හෙළය දම් සුවඳින් සැර සෙන්නේ
මහ සෑ මලුව ළඟ හැම දුක් දුරු වෙන්නේ

****

තුති මල්

පහන් සිතක කවි ලියවන
නැදිමාලෙට අප ගෙන යන
පොත පත මිතුරෝ කරගෙන
මහ පඬිරුවනකි බැබළෙන

අරගෙන ඇදුරිඳුගෙ වරම
රස බර කවි කරමු උරුම
ලියමු නිතර දිනන තුරුම
තුති මල් නා හිමිට කිරම

****

උතුම් සැනසීම

පුරා සිත් බැතියෙන් තෙමා
මහා ගුණ කඳ සිත දරා
නමා සිරසින් වැතිර නමදින
ලොව්තුරා සම්බුදු පියා

මහා කරුණාවෙන් බලා
මනා කොට දෙසු දහමිනා
නිවා සිත් සැනසීම සලසන
නිවන් පුරයම පතමිනා

****

පුත නුඹ අප අතර ම ය

එක් තිස් වසරකට පෙරාතුව
අද වැනිම වූ දිනෙක
දුටු විට කිරි සිනා පිරි නුඹෙ මුව
දනිමු අප පින් කළ බව – නුඹෙ ඇසුර ලබනට.....

පොත පත දහමට ලැදි ව
ගුරු දෙගුරුනට සුවච ව
සැම වෙත මෙත් සිතින
පසක් කළෙහිය නුඹ
“රනින් දිදුලන නමක්” හිමි බව

සාද උත්සව මතින්
උපන්දින සමරන ලොවක
තම රුහිරු දනට දෙන, පිරිත් හුය ගැට ගසන
තවත් දරුවන් සිටීදැයි නොදනිමි ම පුත

දුරකථනය උදෑසන
බලා සිටියි මදෙස අසරණ ව
නොහැකි ව සුබ පතන්නට
නුඹට සුපුරුදු විලස
මන්ද නුඹ අප සදහටම
අතැර ගිය නිසාවෙන්

එහෙත්
මම දනිමි,
නුඹ අදත්, හෙටත් අප අතරම බව

නුඹෙ රුහිරෙන් ජීවය ලැබූ – දනන් අතරින් දකිමි නුඹෙ රුව

නුඹෙ ශ්‍රමයෙන් එළිය වූ මග – මතින් විඳගමි නුඹෙ සුවඳ

නෑසිය මිතුරු කැළ මුවින් – නිතින් ගිලිහෙන වදන් අතුරින්

අසමි රැව්දෙන නුඹෙ කුළුණු ගුණ පුත නුඹ අප අතර ම ය

සදාකල්........

****

මෙවර ජයග්‍රාහී කවිය

දම්පල් තුමාණෙනි ජාතිය ඔබට ණය යි

දුරු කළ උදවියට හද තුළ සැක යි බිය යි
දහමට නැඹුරු වී මැරුණත් සැපයි කිය යි
ඒ පින් වතුන්ගේ ගුණ කඳ නිතර ගය යි
දම්පල් තුමාණෙනි ජාතිය ඔබට ණය යි

පින් පළ දී මෙලෙස සංසාරයේ ගෙනා
දේවමිත්ත යන නාමෙන් පැවිදි වුණා
නව සිය වතාවක් මනුලොව උපත දිනා
සුරකිනු මැනවි අපගේ බුදු සසුන මහා

****

වප් පොහොය

අපට මතකයි ඇසළ පෝදා සමිදු වැඩියා තව්තිසා වට
අභි දහම් සුතුරෙන් දෙසුවා මාතු දෙව් පුත් මෑණියන් හට
නැවත දේවාරෝහණය කර වැඩම කළෙ සංකස්ස පුර යට
එදා වප් පුන් පොහො දවසක් නිසා වැදගත් වුණා අප හට

විනය සංගායනාවක් කර එදා අනුබුදු මිහිදු හිමියන්
භික්ෂු සඟනට දහම් දෙසුවා එදා ථූපාරාම පින් බිමෙන්
එදින වප් පුර පොහොය දා බව ලියවුණා දම් පොත් තුළින්
ඒ නිසා වප් පොහොය සමරයි හෙළයෙ සිටිනා බොදුදනන්

****

සැනසුම

හමු වී කලණ මිතුරකු දැක ගත් දහම
දෙසවන් යොමා අසමින් පිවිතුරු දහම
අනුගමනය කළොත් නොපමාව අද අදම
අප හට ලැබෙනු ඇත ඒ නිවැරැදි දැක්ම

****

අවසානය

දැල් කැඩුමට සිතේ , මකුළුවො බැඳ තිබෙන
වල් නැසුමට ඇතේ, කල්යල් සිට කියන
කල්ගත වූ ගතේ නැත වැඩ දහසකි මෙදින
සිල් රැකුමට නැතේ, පෝයට ඉඩ ලැබෙන

වයසක අය තමයි, ගත යුතු සිල් දැහැන
අණසක පතුරුවයි තරුණව යන රැහැන
දවසක නතර වෙයි තිර නොම දිවි ගමන
විරසක වනු කිමැයි දිවි තණ අග පින්න

පී. බී. ගුණරත්න
සිරි මිහිඳු දහම් පාසල
කෝරළඉම

****

පින් බිමේ මහිමය

ආයුධ නැතිව දඬුවම් ලැබුණා සැමට
සොබා දහම බලවත් වී නැගී සිට
පෙර සිට පැවැති ගුණ දම් පිරිහී ගිය විට
දුර්භික්ෂයක් ආවා ලොව නසන්න ට

තුනුරුවන්ගේ ගුණ නැගී එන විට කොරෝනාව යට වුණා
ඥාන බුද්ධි අය සිටි විට කොරෝනාවත් බය වුණා
අපෙ මව් බිම පින් බිමක් බව කොරෝනාවට වැට හුණා
අපට නිදහස ලැබුණ කියලා සොබා දහමත් හිනැ හුණා

****

නිරෝගි සුව

අපේ රටෙන් කොරෝනාව සහ මුලින් ම ඉගිලේ වා
හැම රටකම කොරෝනාව අසුරු සැණින් දුරු වේවා
නිරෝධායනයේ ඉන්නා සියලු ලෙඩුන් සුව වේවා
උතුම් සැපත නිරෝගී සුවය හැමට උදා වේවා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]