[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

වැලමිටියාවේ විමලකීර්ති ශ්‍රී පේමරතන සීලරතන නා හිමි

හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති මාවරමණ්ඩිය ශ්‍රී ධීරානන්ද පිරිවෙන්පති ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය වැලමිටියාවේ විමලකීර්ති ශ්‍රී පේමරතන සීලරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ 55 වැනි ජන්ම දිනය නිමිත්තෙනි

හෙයියන්තුඩුව පූරාණ විහාරය හෙළ රජ දවස තෙක් දිවෙන ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික විහාරස්ථානයකි. එය දෙවන රාජසිංහ රජුගේ පවා වන්දනාමානයට පාත්‍ර වූ නුවර යුගයට අයත් මනරම් සිතුවම් සහිත විහාර ගෙයක් සහිත රජු විසින් කරන ලද විෂ්ණු දේව මන්දිරයක් ද සහිත සංවර්ධනය වෙමින් පැවති පුණ්‍යස්ථානයකි.

එදා තිබූ චිත්‍රවලට හානියක් නොවෙන පරිදි සුපරික්ෂාකාරීව සංරක්ෂණය කරමින් විහාර මන්දිරය පුළුල්කර නවීකරණයට පත් කරමින් මතු පරපුරට මහඟු දායාදයක් එක් කරලීමට සිය ජීවිත කාලය ම කැපකර සිටින එහි වර්තමාන නායක හිමියන් සිය වයසටත් වඩා පරිණත බවින් ඉහළට ගිය සුවිශාල ආගමික සේවාවක් ඉටු කරමින් බොහෝ සම්මාන ගෞරවයට පාත්‍රවූ පඬිරුවනකි.

ඒ මාවරමන්ඩිය ශ්‍රී ධීරානන්ද පිරිවෙන්පති ගෞරව ශාස්ත්‍රවේදී වැලමිටියාවේ විමල කීර්ති ශ්‍රී පේමරතන සීල රතනාභිධාන නායක හිමියන් ය. මේ කිසිදු කුල ගොතකින්, ගෞරව නාමයකින් සිය හිස උඳුම්මවා නොගත් හිමි නමක ලෙස සරලව හඳුන්වන්නේ නම් ඒ වැලමිටියාවේ සීලරතන නායක හාමුදුරුවන් වහන්සේ ම ය.

උන්වහන්සේ විහාරධිපතිත්වයට පත්වන විට පැවැති තත්ත්වය ඉහළම පරිවර්තනයකට ලක් කරමින් බෝධින් වහන්සේ වටා ප්‍රතාපවත් උස් බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම, චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්ථාපිත කිරීම, නව ග්‍රහ දේව විමානය ඉදි කිරීම, අටවිසි බුදුවරු නියමිත බෝධි වෘක්ෂ සහිතව ස්ථාපිත කිරීම, දුර්ලභ ඔසු උයන සකස් කිරීම, කිසිදු විහාරස්ථානයක නොදකින තරමේ ශ්‍රී ලාංකේය රාජාවලියේ මුල පටන් වර්තමාන රාජ්‍ය නායකයා දක්වා එම පිළි රූ දින වකවානු රාජ්‍ය කාලය සහිතව රජ පියස නිර්මාණය කිරීම, මාර්ගය අසල බුදු පිළිම වහන්සේ ස්ථාපිත කිරීම, ධර්ම ශාලාව, දාන ශාලාව, ආවාස ගෙවල් සහිත සියලු ගොඩනැඟිලි නවීකරණය කර පැරණි විහාරගෙය දැනට සුවිසල් සිතුවම් සහිත බුද්ධ මන්දිරයක් ලෙස සියලු අතීත , වර්තමාන, අනාගත කාල ත්‍රිත්වයන් සංකේතවත් කෙරෙන බෞද්ධ කලාගාරයක් ලෙස සංවර්ධනය කර තව නොබෝ දිනකින් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර කරවීමට සැලසීම ඇතුළුව නායක හිමියන් බොහෝ කටයුතු රැසක නිර්මාපකයාණන් වහන්සේ ද වෙති.

සෑම දෙයක්ම ක්‍රියාවට නංවමින් විහාරස්ථානයේ අනෙකුත් ආගමික කටයුතු පිළිවෙලට කරගෙන යමින් ගමට පමණක් නොව, රටට, ලෝකයට දහම් දෙසන ධර්ම කථිකයාණන් වහන්සේ කෙනකුද වෙති.

ධර්ම විද්‍යාලය, තරුණ බෞද්ධ සමිතිය, දායක සභාව, කුලඟන සමිතිය, අතුළු විශාල සත්කාරයන්ට අතහිත දෙන සමිති සමාගම් රැසකට අනුශාසකත්වය, නායකත්වය දෙන අප හිමිපාණන් වහන්සේ තම අසනීපයකදී පවා නොසැලෙමින් හුදු මහජනතාව වෙනුවෙන් ම කැපවනවා දැකීම උන්වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබීමට හේතුවෙන ප්‍රාර්ථනාවක් විය යුතු වෙයි.

අප පන්සලට ගිය විට උන්වහන්සේ සිය කාර්යාලයේ හත් අට දෙනකු සමඟ විවේක සුවයෙන් සාමීචියේ යෙදෙන බව පෙනෙයි. මළ ගෙදරක ගිය විට එහිදී හමුවෙයි. එහිම සවස පාංශූකූලයේදී නැවත හමුවෙයි. බණකට, දානෙකට ගිය විට එහිද වැඩ සිටින අයුරු දැකබලා ගත හැකි වෙයි. ආගමික උත්සවයක් වේවා, සාහිත්‍ය උත්සයක් වේවා, උන්වහන්සේ එහි මුලසුනේ වැඩසිටිනු දක්නට ලැබෙයි.

ඒ මොනයම් තැනකදී වුව අප දුටුවොත් අප උන්වහන්සේ ළගට යාමටත් පෙර උන්වහන්සේ සෙනඟ අතරින් අප අතරට වැඩම කොට සුවදුක් විමසන්නේ මොනතරම් නිහතමානී බවකින්ද? එයයි හිමියන් හා ගැමියන් අතර ඇති ආකර්ශණයේ රහස.

තමන්ට නැති, අනුන්ට ඇති නිපුණතාවක් අගයන්නට මැලිවන අය සිටින සමාජයක අනුන්ගේ පදවි තානාන්තර ඉහළින්ම තබා අගය කරන අපේ හිමියන් ඒ අය සොයා ගොස් සම්මානයට පාත්‍රකර සමාජයේ ඉහළම ගෞරවය ලබාදෙන අයුරු විවිධ අවස්ථාවල අප දැක ඇත්තෙමු. අනාගතයට පා තබමින් සිටින දරු පරපුරකට මෙවන් දේ මහඟු ආදර්ශයක් පිටුවහලක් සපයන බව උන්වහන්සේගේ අදහසයි.

එදා 1965 ක් වූ ඔක්තෝබර් මස 09 වන දින අති සුන්දර ගම්මානයක් වන වැලමිටියාව විහාරගමදී හේරත්හාමි මුදියන්සේලාගේ කළුබණ්ඩා පියාණන්ට දාව බස්නායක මුදියන්සේලාගේ ලීලාවතී මාතාවගේ කුසින් උපන් කුලදරුවා ගිහිකල හේරත්හාමි මුදියන්සේලාගේ අමරසිංහ නම් ලද්දේ ය.

කුඩා කල සිටම වැලමිටියාවේ ගුණරතන කණිටු විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පසුව ගල් ඇහැර මහා විද්‍යාලයට ඇතුළත් ව එහි 8 වන ශ්‍රේණිය දක්වා ද්විතීයික අධ්‍යාපනය හැදෑරීය.

කුඩා අවදියේ පටන් ම තම මිත්තනිය සමඟ නිතිපතා සිල් සමාදන් වීමට ගිය කුලකුමරුවා තුළ තිබූ සිල්වත් බව ආගමික දැනුම පුදුම සහගත විය . ඒ සමයේ බුදු දහම පිළිබඳ තිබූ ලැදියාව නිසාම යම් දිනෙක මහණ වෙමි යයි සිතූ අදහස මල්පල ගැන්වීමට වැඩිකල් ගියේ නැත.

මෙවකට පොතානේගම ශී‍්‍ර ධීරානන්ද නාහිමිගේ අදහසකට අනුව කුල දරුවන් මහණ කිරීමේ කටයුත්තක් පිළිබඳ කණවැකුණු අමරසිංහ කුල දරුවාට ද මෙය මහඟු අවස්ථාවක් විය .

ඒ අනුව තම පියා සමඟ 1980 ජනවාරි 10 දින ධිරානන්ද විහාරස්ථානයට පැමිණ ටික දිනක් ගතකොට 1980 මාර්තු 26 වන දින වැලමිටියාවේ සීලරතන නමින් මහණ විය. ඒ පැවිදි දිවියට ඇතුළත් වූවේ දැනට කොළඹ නව කෝරළයේ හා නව තොටගමුවේ උප ප්‍රධාන සංඝනායක ධූරය දරණ පානකාවේ ශ්‍රී පේමරතන නාහිමියන්ගේ සිසුවකු ලෙසිනි. එදා, කුඩා කල තම සොහොයුරිය ඉදිරියේ අසුන් පනවාගෙන බණ කී සැටි, අන් අයගේ විරෝධය මත තමා මහණ කරන්නැයි අඩා වැළපුණු සැටි අද ද අප සමඟ පවසන්නේ ඉතාමත්ව ආඩම්බර වූ සෙනෙහෙ සිතකිනි.

මෙසේ මහණදම් පුරමින් විහාරස්ථානයට ආලෝකයක් වු සීලරතන හිමි 1980 වර්ෂයේ සිට පෑලියගොඩ ශ්‍රී විද්‍යාලංකාර පිරිවෙනෙහි පිරිවෙන් අධ්‍යාපනය හදාරා ඉන්පසු දෙල්ගොඩ ශ්‍රී කල්‍යාණ ප්‍රදීප විද්‍යායතනයේ උසස් පෙළ හදාරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් දෙවන පෙළ ඉහළ ගෞරව සමාර්ථයක් සහිත ව උපාධිය අවසන් කළහ.

1986 ජුනි 14 උපසම්පදා ව ලැබීමට වාසනාව ලද්දේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මංගල උපෝෂථාගාරයේ දී ය. අනතුරුව 1987 වස්කාලය ගත කිරීමට හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයට වැඩම කිරීමෙන් අනතුරුව සිදුකළා වූ මෙහෙවර හේතු කොටගෙන වර්තමාන විහාරාධිපතින් වහන්සේ වීමට පවා උන්වහන්සේ වාසනා මහිමය උදා කරගත්හ. ඒ අනුව උන්වහන්සේ විහාරස්ථානයට කළ අනුපමේය සේවය හැරුණු කොට බෞද්ධයා නාලිකාව ඔස්සේ සෑම පොහෝ දිනකම සුමධුර ධර්මදෙශනා, ධර්ම සාකච්ඡා පවත්වමින් ද විවිධ වැඩසටහන් තුළින් රටට ලෝකයට අපේ උරුමය පිළිබඳ කරුණු කාරණා හෙළිකරදීමට සමත් වීමෙන් දබොහෝ දෙනකු තුළ ජනාදරයට ආදර ගෞරවයට පාත්‍රවී සිටිති.

2020 ඔක්තෝබර් 09 සිය ජීවන ගමනේ 55 වැනි සැතපුම් කණුවට ළඟා වන ඔබ වහන්සේට දීර්ඝායු ප තමින් ආසිංශනය පිරිනමන්නෙමු.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]