[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 09: ධාරණ ශක්තිය වැඩි කර ගැනීමට සිත පුරුදු කළ යුතු හැටි

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 09:

ධාරණ ශක්තිය වැඩි කර ගැනීමට සිත පුරුදු කළ යුතු හැටි

යම් කෙනෙක් කුසීතකමට පුරුදු වුණාම තමනුත් පිරිහීමට පත් වෙමින්, අනෙක් අයත් පිරිහීමට පත් කරන්න හදනවා. ඒ නිසයි කුසීත, කම්මැලි පුද්ගලයන් ඇසුරු කරන්න එපා කිව්වේ.

පටන් ගත් වීර්යය ඇති පුද්ගලයන් ඇසුරු කරන්න ඕන. ආරද්ධ වීර්ය ඇති පුද්ගලයන් ම සේවනය කරන්න, පයිරුපාසනය කරන්න, භජනය කරන්න පුරුදු වෙන්න ඕන.“ආරද්ධවිරිය පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො”කිව්වේ එයයි. මොකද?

වීර්යාරම්භ පුද්ගලයන් ඇසුරු කරන්න, ඇසුරු කරන්න අපිටත් විර්ය වඩන්න පුරුදු වෙනවා.අප තුළත් උත්සාහවන්ත බව ඇති වෙනවා. වීර්යාරම්භය නිසා සියලු සත්වයෝ සෞභාග්‍යයට,ස්වර්ගයට, සුගතියට, දියුණුවට පත් වෙනවා. ඒ නිසයි වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරන්නයි කිව්වේ. වීර්යාරම්භ එක් අයෙකුගේ ඇසුර නිසා පන්සියයක් සෘෂිවරුන්ගේ ජීවිත ආරක්‍ෂා වුණේ මෙහෙමයි.

අපේ බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන බෝධිසත්ව කාලයේ එක් ආත්මයක උසස් බ්‍රාහ්මණ කුලයක ඉපිද තරුණ වයසට පැමිණුනාට පස්සේ සෘෂි පැවිද්දෙන් පැවිදි වුණා. තවත් සෘෂිවරු පන්සියයක් සමඟ හිමාල පර්වත පාදයේ වාසය කළා.

හිමාලයට මහා නියඟයක් ඇති වී සියලු වැව් පොකුණු ඇළ දොළ සිඳුණා. සෘෂිවරුන් විතරක් නෙවෙයි. කැළේ සතා සිව්පාවනුත් මහත් දුකට වෙහෙසට පත් වුණා. ක්ලාන්ත වුණා. බෝධිසත්ව සෘෂිවරයා මේ මහා විපත දැක බොහෝ උත්සාහයෙන් ගස් කඳකින් ඔරුවක් සාදා ගෙන එය කරේ තබා ගෙන හිමාලයෙන් පිටතට ගිහිල්ලා ඔරුවේ පැන් පුරවා ගෙන මහත් වෙර වීර්යයෙන් නැවත හිමාලයට පැමිණියා. සෘෂිවරු පැන් පානය කළා. කැළේ සතුන්ටත් පැන් දුන්නා. බෝධිසත්ව සෘෂිවරයා මෙහෙම දිනපතා පැන් ගෙනත් දෙද්දී, ඒවා බීලා ප්‍රාණවත් වුණු කැළේ සත්තු වෙනත් කැළේකට ගිහිල්ලා ඇති තරම් පලතුරු කා සෘෂිවරුන්ටත් පලතුරු ගෙනත් දෙන්න පුරුදු වුණා. මේ නිසා සෘෂිවරු පන්සියදෙනා ම සුවසේ ජීවත් වුණා. බලන්න විර්යවන්ත බෝධිසත්ව සෘෂිවරයා නිසා සෘෂිවරු පන්සිය දෙනාත්, කැළේ සත්තුත් මහා නියං කාලයේ පවා සුව සේ ජීවත් වුණු හැටි. අන්න ඒ නිසයි වීර්යවන්තයන් ම ඇසුරු කරන්නයි කිව්වේ.

තුන්වෙනුව සම්‍යක් ප්‍රධාන වීර්ය නිතර නිතර ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතුයි. නුවණින් සිහි කළ යුතුයි. එසේ සිහි කොට වීර්ය සිතේ ස්ථාවර වූ පසු ක්‍රියාත්මක කළ යුතුයි.

සතර සම්‍යක් ප්‍රධාන විර්ය මීට පෙර වීර්යයේ ප්‍රභේද විස්තර කරද්දී දක්වල ඇති. මෙතැන දී ඒ විර්ය හතරමයි යෙදෙන්නේ.ඒවා නම්,

තමන් මෙතෙක් සිදු නොකළ අකුසල් ඉදිරියේ දී කිසිදු අයුරකින් සිදු නොකිරීමට වීර්ය කිරීම.

තමන් වෙතින් මෙතෙක් සිදු වූ අකුසල් ඉදිරියේ දී යළිත් සිදු නොකිරීමට වීර්ය කිරීම.

තමන් මෙතෙක් සිදු නොකළ කුසල් ඉදිරියේ දී කෙසේ හෝ සිදු කිරීමට වීර්ය කිරීම.

තමන් මෙතෙක් කල් සිදු කළ කුසල් ඉදිරියේ දී තව තවත් සිදු කිරීමට වීර්ය කිරීම යි.

ඉන්ද්‍රිය ධර්මවල තුන්වැන්න සති ඉන්ද්‍රිය යි. යම් යම් දේවල් සිතට වැටහෙන්නේ, එසේ වැටහුණු දේවල් සිතේ මතක තබා ගන්නේ සතිය යි. “සති” කියන පාලි වචනය අටුවාව හඳුන්වල තියෙන්නේ “සරන්තිතාය සයං වා සරති සරණමත්තමෙව වා එසාති සති” කියලා. මේ දේවල් අනුව සිහි කරන්නේ, තමන් ම සිහි කරන්නේ, එබඳු සිහි කිරීම් මාත්‍රය ම සිහිය යි. අභිධර්ම පිටකයේ විභංගප්‍රකරණයේ සති ඉන්ද්‍රිය හඳුන්වල තියෙන්නේ මෙහෙමයි. “යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම්මාසති ඉදං වුච්චති සතින්‍ද්‍රියං” මේ පාලි පාඨයේ දී සතියේ ස්වභාව දක්වන්න වචන හතක් දක්වල තියෙනවා.

යා සති - යම් යම් දේවල් සිහි කිරීම.

අනුස්සසති - ඒසේ සිහි කළ දේවල් නැවත නැවත සිහි කිරීම.

පටිස්සති - ප්‍රකෘති සිහියෙන් විශේෂයෙන් බැලීම.

සති සරණතා - තමා තුළ උපන් සිහිය තමාට පිහිට වන සේ සිතීම.

ධාරණතා - සිහිය දරා ගෙන සිටීම.

අපිලාපනතා - තමා උසස් කිරීමට සමත් සිහිය ඔසවා තබා ගැනීම.

අසම්මුස්සනතා - සිහිය මුසපත් නොකිරීම හෙවත් අමතක නොකිරීම.

මේ අනුව බලන කොට සතින්ද්‍රිය කියන්නේ සිහිය යි. ඒ සිහිය නැවත නැවත සිහි කිරීම යි. සිහිය ගැන සොයා බැලීම යි. සිහියේ පිහිට සෙවීම යි. සිහිය දැරීම යි. සිහිය ඔසවා තැබීම යි. සිහිය අමතක නොකිරීම යි.

සිහියේ ලක්‍ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි අපිලාපන ලක්‍ෂණය හා උපගණ්හන ලක්‍ෂණය. අපිලාපන ලක්‍ෂණයෙන් කරන්නේ චිත්ත චෛතසිකයන්ට ඒ කියන්නේ සිතට හා සිතිවිලිවලට අරමුණු සිහිපත් කොට, මතක් කර දීමයි.

රටේ ප්‍රධානියා වෙච්ච රජ්ජුරුවන්ට ඒ ඒ වෙලාවට නියමිත කටයුතු මතක් කරලා දෙන්න නිලධාරියෙක් ඉන්නව නේ. මේ අපිලාපන ලක්‍ෂණයෙන් කරන්නෙත් එම නිලධාරියාගේ රාජකාරිය යි. උපගණ්හන ලක්‍ෂණයෙන් කරන්නේ සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත සිතට අරමුණු පරීක්‍ෂා කර දීමයි. සම්ප්‍රයුක්ත සිතට ඥාන සම්ප්‍රයුක්ත චෛතසිකත් ඒ කියන්නේ හොඳ යහපත් සිතිවිලි ත් ඇති වෙනවා. ඥාන විප්‍රයුක්ත ඒ කියන්නේ නරක අයහපත් සිතිවිලි ත් ඇති වෙනවා. ඒ වෙලාවට මෙසේ ඇති වන සිතිවිලිවල හොඳ නරක බව පරීක්‍ෂා කොට හොඳ සිතිවිලි විතරක් සිතට ලබා දීම කරන්නේ උපගණ්හන ලක්‍ෂණය යි. රජ්ජුරුවන්ට හොඳ නරක, යහපත අයහපත තෝරා බේරා දෙන්න පරිනායක ඇමතිවරයෙක් ඉන්නවා. ඔහු රජුට හොඳ යහපත් දේවල් තෝරා දී ඒවා ක්‍රියාත්මක කරන්න උපදෙස් දෙනවා. ඒ සඳහා රජු මෙහෙයවනවා. නරක දේවල් පෙන්වා දී ඒවා ක්‍රියාත්මක නොකරන්නත් උපදෙස් දෙනවා. ඒ සඳහා රජු මෙහෙයවනවා. උපග්ගහණ ලක්‍ෂණයෙන් කරන්නෙත් මේ පරිනායක ඇමතිවරයාගේ රාජකාරිය යි.

සිහියේ ලක්‍ෂණය හෙවත් හැඩහුරුකම සිත ඒ මේ අත ගසා ගෙන යාමට නොදී ආරක්‍ෂා කර ගැනීම යි. “සා අපිලාපන ලක්‍ඛණා” කිව්වේ එයයි. සිහියේ රසය හෙවත් කාර්ය තමයි සිහි මුළා නොවී සිටීම. “අසම්මොහ රසා” කිව්වේ එයයි.

සිහියේ ආසන්න කාරණය සිත රැක ගැනීම හා විෂය අරමුණුවලට අභිමුඛ ව සිටීම යි. “ආරක්‍ඛා පච්චුපට්ඨානා විසයාභිමුඛභාව පච්චුපට්ඨානා වා” කිව්වේ එයයි. සිහියේ පදට්ඨානය හෙවත් සිහියට හේතු වූ මූල කාරණය ස්ථීර වූ සංඥා ඇති බව හා කායාදී සතිපට්ඨානයෙහි පිහිටීම යි. “ථිර සඤ්ඤා පදට්ඨානා කායාදිසතිපට්ඨාන පදට්ඨානා වා” කිව්වේ එයයි.

සතිය ඉතා දැඩිව අරමුණෙහි පිහිටන බැවින් ශිලා ස්තම්භයක් ලෙස හඳුන්වා තියෙනවා. ශිලා ස්තම්භයක ලේඛනයක්, සන්නසක් පිහිටවනු ලැබුව ම එය විනාශ වෙන්නේ නැතිව දීර්ඝ කාලයක් පවතිනවා. ඒ වගේම සිහිය හොඳට වඩලා පුරුදු කළ කෙනාට ළදරු කාලයේ ඉගෙන ගත් ශිල්ප ශාස්ත්‍ර පවා හොඳීන් මතකයේ රැඳී තියෙනවා. සිහිය පුරුදු කිරීම කෙතරම් බලවත් ද කියනව නම්, පංචම ධ්‍යාන වැඩූ ස්මෘති චෛතසිකයන්ට අතීත ජාතීන්හි උන්හිටි තැන් ද, අනාගත ජාතීන්හි ඉපදෙන, පහළ වෙන තැන්ද සිහි කරන්න පුළුවන්. ඒ වගේම චක්‍ෂුරාදී දොරටු හය ආරක්‍ෂා කරන දොරටු පාලකයෙක් ලෙසත් සතිය හඳුන්වා තියෙනවා. දොරටු හයක් තියෙන නිවසක දොරටු පාලකයෙකුට සිහිය උපමා කරලා තියෙනවා. නිවස ආරක්‍ෂා කරන දක්‍ෂ දොරටු පාලකයා ඒ දොරටු හයෙන් සොර සතුරන්ට ඇතුල් වෙන්න නොදී ආරක්‍ෂා කරනවා. ඒ වගේම චක්‍ෂුරාදී දොරටු හයක් තියෙන ආත්ම භාවය නැමැති නිවසට පාප ධර්ම, කෙලෙස් ධර්ම නැමැති සොර සතුරන්ට ඇතුල් වෙන්න නොදී ආරක්‍ෂා කරන දොරටු පාලකයා සිහිය යි.

සතින්ද්‍රිය වඩන්න ප්‍රථමයෙන් එය පිරිසිදු කර ගත යුතුයි. සතින්ද්‍රිය පිරිසිදු කර ගන්න අපි අංග තුනක් සම්පූර්ණ කරන්න ඕන. ඉන් පළමු අංගය සිහි මුළා වූවන් ඇසුරු කිරීමෙන් වැළකී සිටීම යි.

“මුට්ඨස්සති පුග්ගලෙ පරිවජ්ජනතො” කිව්වේ එයයි. “මුට්ඨස්සති” කියන වචනයට අටුවාව තේරුම් දෙන්නේ “මුට්ඨස්සතීති නට්ඨ සතිකෙ” මුට්ඨස්ස යනු සිහිය නැති අයයි කියලා. සිහිය නැති අය ධර්මයේ දක්වන්නේ අන්ධ බාල පෘථග්ජනයෝ හැටියට. ඇයි ඒ වගේ සිහිය නැති අය ඇසුරු කරන්න එපා කිව්වේ? එවැනි අය ඇසුරු කිරීමෙන් වෙන්නේ අපේ සිහියත් නියමාකාරයෙන් පිහිටුවා ගන්න, පවත්වා ගන්න අපහසුවීම යි. නියම සිහියට බාධා පැමිණීම යි. බුදු පසේබුදු මහ රහතන් වහන්සේලාට ද සිහි නුවණින් පිරිහුණු අසත්පුරුෂයන් නිසා මහත් දුක් පීඩාවන් පැමිණි බව පෙළ පොත්වල සඳහන් ව තියෙනවා.

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]