[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ සාහිත්‍ය උත්සවය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

බෞද්ධ සාහිත්‍ය උත්සවය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 14 වන වරටත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා එක්ව 10 වන වරටත් සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (15) දා කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී. එම්. විලියම් ශාලාවේ දී පැවැත්විණි.

වසර 14ක් පුරා පැවැති බෞද්ධ සාහිත්‍ය සම්මාන මහෝත්සව ඒ ඒ වසර වෙනුවෙන් විවිධ තේමාවන් මූලික කරගෙන පැවැත්වීම විශේෂත්වයක් විය.

2019 වසරේ බෞද්ධ සාහිත්‍ය උත්සවයේ තේමාව වූයේ 'සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය වසර 100 සපිරීම' යන්න ය. ලංකාවේ පුරාවිද්‍යාව මුල් කරගෙන මෙම සාහිත්‍ය උත්සවය පවත්වනු ලැබිණි.

පරිවර්තන, පර්යේෂණ, නව ප්‍රබන්ධ, ගී කාව්‍ය නිර්මාණ, ශාස්ත්‍රීය පරිවර්තන, ළමා සාහිත්‍ය, ජනශ්‍රැති පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ 2019 වර්ෂයේ බිහි වූ බෞද්ධ සාහිත්‍ය කෘතීන් 12ක් ඇගයීම උදෙසා මෙහි දී කර්තෘවරුන්ට අග්‍රාමාත්‍යතුමා අතින් සම්මාන හා ත්‍යාග ප්‍රදානය සිදු කෙරිණි.

සිංහල සාහිත්‍යයට කරන ලද මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් හා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් සිහි කිරීම වෙනුවෙන්, අනුස්මරණ සම්මානය මහාචාර්ය අසංග තිලකරත්නට ද, ලාංකේය චිත්‍ර කලාවට කරන ලද මෙහෙය වෙනුවෙන් ප්‍රකට චිත්‍ර ශිල්පී සොයිලියස් මෙන්ඩිස් සිහි කරලීම උදෙසා, අනුස්මරණ සම්මානය ශාන්ත කේ. හේරත්ට ද, පුරාවිද්‍යා ස්ථාන රැකගැනීම උදෙසා කළ මෙහෙය ඇගයීම වෙනුවෙන් වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සිහිකිරීම වෙනුවෙන් විශේෂ අනුස්මරණ සම්මානය ආචාර්ය මාලිනී ඩයස්ට ද ලෙස මෙහි දී විශේෂ ගුණානුස්මරණ සම්මාන ප්‍රදානය සිදුවිය.

සිංහල බෞද්ධ ගීත රචනා කලාව උදෙසා කළ මෙහෙවර ඇගයීම උදෙසා නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ. එමෙන් ම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංගීත කලාව උදෙසා සිදු කළ මෙහෙවර ඇගයීම වෙනුවෙන් විශාරද නන්දා මාලනී ද විශේෂ සම්මානයෙන් පිදුම් ලැබී ය.

හොඳම සාහිත්‍ය ග්‍රන්ථ සහ ඇගයීම් ලැබූවන් අතර, ගී කාව්‍ය නිර්මාණ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න හා මහින්ද දිසානායක ද වේ. පර්යේෂණ කෘති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක, රාජකීය පණ්ඩිත පදියතලාවේ අමරවංශ හිමි සහ සේපාලි මායාදුන්නේ ද සම්මානයෙන් පිදුම් ලැබූහ. නව ප්‍රබන්ධ වෙනුවෙන් රද්දොළුවේ ධම්මපාලි මෙහෙණින් වහන්සේ, හා සමුද්‍ර වෙත්තසිංහ ද ශාස්ත්‍රීය අංශය වෙනුවෙන් විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේ දී බෝදාගම සුමනජෝති හිමි හා පරිවර්තන කෘති වෙනුවෙන් මහාචාර්ය රාජකීය පණ්ඩිත නාබිරිත්තන් කඩවර ඤාණරතන හිමියෝ ද සම්මානයෙන් පිදුම් ලැබූහ. ළමා සාහිත්‍ය වෙනුවෙන් සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායකයන් හා ශාස්ත්‍රීය පරිවර්තන වෙනුවෙන් ජී. ඒ. නාලිනී ද ජනශ්‍රැති පර්යේෂණ වෙනුවෙන් නාලක ජයසේන ද සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙම අවස්ථාවට රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, පුරා විද්‍යා චක්‍රවර්ති ශාස්ත්‍රපති එල්ලාවල මේධානන්ද නා හිමි, කොළඹ විද්‍යොදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නා හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගී වූහ. රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
   

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]