[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 17 කොටස: කළු ජූලියේ උණුසුම නාගදීපයටත් දැනෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 17 කොටස:

කළු ජූලියේ උණුසුම නාගදීපයටත් දැනෙයි


උතුරු පෙදෙසේ ඇතිව තිබුණු යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන නාගදීපයේ නා හිමියන්ට ද සැල විය. නාවික හමුදාවෙන් ද සන්නද්ධ දෙමළ තරුණ පිරිස් ගැන දන්වා සිටින ලදී.

ඒ අතර තායිලන්තයෙන් වන්දනාමාන පිණිස නාගදීපයට රන් ආලේපිත බුදු පිළිම වහන්සේ නමක් ලබා දෙන ලදී. ඒ 1983 වසරේ මාර්තු මාසයේ දී ය. එම පිළිම වහන්සේ වන්දනාමාන කිරීම පිණිස විශේෂයෙන් පිරිස් පැමිණියහ.

තත්ත්වය මෙසේ තිබියදී දිනක් නාවික හමුදා නිලධාරියෙක් විහාරස්ථානයට පැමිණ පැවසුවේ සිරුර කිළිපොලා යන ආරංචියකි. පෙර දින රාත්‍රියේ යාපනයේ තිරුනෙල්වේලිහි දී යුද හමුදාවේ ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් 13 දෙනකු ගමන් කළ හමුදා ට්‍රක් රථයකට දෙමළ සන්නද්ධ කණ්ඩායමක් විසින් බිම් බෝම්බයක් ඇටවීමෙන් ඝාතනය කළ බවක් එයින් කියැවුණි. දිනය හරියටම 1983 වසරේ ජූලි 23 වැනි දා ය.

එය දකුණේ සිංහල ජනතාව දැඩි සේ කුපිත විය හැකි සිදුවීමක් බව නාගදීපයේ නාහිමියන් විසින් පවසන ලද්දේ දැඩි කළකිරීමකින් යුක්තව ය.

‘‘මහා භයානක විපතක ලකුණක් මේ. දුර දිග නොබලා කටයුතු කිරීමේ විපාක හුඟාක් දරුණු වෙන්න පුළුවන්‘‘ නාහිමියෝ විහාර මළුවේ සක්මන් කරමින් පැවසූහ. වෙනදා මෙන් නොව උන් වහන්සේ දැඩි ලෙසින් කල්පනා කළහ.

‘‘හාමුදුරුවනේ යාපනේට තනියම වඩින්න එපා, තත්ත්වෙ එච්චර හොඳ නැහැ‘‘ නාවික හමුදා නිලධාරීහු නාහිමියන්ට පැවසූහ.

නාහිමියන් පැවසූ විලසින්ම පසුදිනම කොළඹ දෙමළ ජනතාවට අයත් ගෙවල්, කඩකාමර ආදිය ගිනි තබා ඇති බවට නාගදීපයට ආරංචි විය. දෙමළ ජනතාව ආරක්ෂාව පතා පදිංචිව සිටින ස්ථානවලින් පිටත්ව උතුරු නැඟෙනහිර බලා පිටත්ව ගොස් ඇති බව ද දැන ගන්නට ලැබුණේ නාවික හමුදාවෙනි. රට පුරාම දෙමළ ජනතාව එම ප්‍රදේශවලින් පළවා හරින බවත් දකුණේ සිංහල ජනතාව කුපිත වී ඇති බවත් වාර්තා විය. කළු ජූලිය නමින් එදා ඇරැඹුණු ඒ මහා ශෝකාන්තය තවත් මහා විපතක ආරම්භයක් බව සනිටුහන් වුණි.

කළු ජූලිය දින කිහිපයක්ම පැවතුණු අතර දෙමළ ජනතාවට දකුණේ යන එන මං නැති විය. අසල්වාසී සිංහල පිරිස් හැකි උපරිමයෙන් ඔවුන් ආරක්ෂා කළ ද යම් හෝ අයුරකින් දෙමළ ජාතිකයන් ගැන ඉවක් වැටුණේ නම් අනිවාර්යයෙන්ම ප්‍රචණ්ඩකාරී පිරිස් එහි පැමිණ වධ හිංසා කළහ.

මේ අතර කුරිකට්ටුවාන් ජැටියේ සිට නාගදීපය බලා ඒමට සිටි පිරිසකට ආරක්ෂාව සලසමින් සිටි යුද හමුදාවේ තිදෙනකු වෙත පැමිණි දෙමළ තරුණයින් දෙදෙනකු එක් අයකුගෙන් යම් ස්ථානයක් පිළිබඳව විමසා තිබේ. තුවක්කුවක් තිබී ඇත්තේ එම සෙබළා අත පමණි. සෙසු දෙදෙනා පවුලේ ඥාතීන් සමඟ නාගදීපයට වන්දනා පිණිස පැමිණි අයයි. හමුදා සෙබළා අදාළ ස්ථානය පෙන්වීමට අත දිගු කරනවාත් සමඟම ඉදිරියට පැනගත් වෙනත් තරුණයකු විසින් සෙබළා අත තිබුණු තුවක්කුව පැහැරගෙන ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලදී. සෙසු සෙබළුන් දෙදෙනා ජැටියෙන් මුහුදට පැන පිහිනා දිවි බේරා ගන්නා ලදී. නාවික හමුදාව එතැනට පැමිණෙන විට සියල්ල සිදුවී අවසන් ය. ගිනි අවිය ද ගෙන තරුණයන් පලා ගොසිනි.

මේ සිදුවීමත් සමඟ ම නාගදීපයේ නා හිමියන් විසින් කුරිකට්ටුවාන් ජැටියට බෝට්ටුවක් පිටත් කර හරින ලදී. ඒ විහාරයට දශක ගණනාවක් තිස්සේ දානය සපයනු ලබන රාමචන්ද්‍රන් මුදලාලිට අයත් බෝට්ටුවකිනි. මුහුදට පැන දිවි බේරාගත් හමුදා භටයින් දෙදෙනා ඇතුළු පිරිස බේරා ගෙන නාගදීපයට රැගෙන එන ලද්දේ එම බෝට්ටුවෙනි. පසුව එම බෝට්ටුවේ ම නංවා ඔවුන් කරෙයිනගර් නාවික හමුදා කඳවුරට පිටත් කර හරින ලදි. දෙමළ තරුණයින් විසින් සිදු කළ ඝාතනයට පරීක්ෂණ පැවැත්වීමට ආ පොලිසියේ ඇතැම් අය රාමචන්ද්‍රන් මුදලාලිගෙන් හරස් ප්‍රශ්න අසන්නට වූ විට නා හිමියෝ පොලිසියට බැණ වැදුණා හ.

‘‘මෙතන ආව උදවු කරපු අපේ මිනිස්සුන්ගෙන් හරස් ප්‍රශ්න අහන්න‘‘

උතුරේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබුණි. නාගදීපය කරා පැමිණි දහස් ගණනක් වූ වන්දනාකරුවන් සීමා විය. යුද හා නාවික හමුදාවෝ සීරුවෙන් සිටියහ. කොළඹ මූලිකව ඇරැඹුණු කළු ජූලියේ සෙවණැලි උතුරට ද වැටී තිබුණි. රට පුරා ඇඳීරි නීතිය පැනවුණි. නාහිමියන් පැවසූ ලෙසින් මහා භයානක විපතක ආරම්භයක් බව පදුමකිත්ති හිමියන්ට ද වැටහුණි. තායිලන්තයෙන් තිළිණ කරන ලද පිළිමය ද එම ස්ථානයෙන් ඉවත් කරන ලදී.

නාගදීපයේ එවකට පදිංචි ව සිටියේ සිංහල පවුල් 30කටත් අඩු පිරිසකි. ඔවුහු දැඩි ලෙසින් බියට පත් වූහ. මාතර කැකුණදොර නන්දසේන මුදලාලිගේ පාන් බේකරියත් විහාරස්ථානයට දශක කිහිපයක් පුරා දානය පිරි නමන රාමචන්ද්‍රන් මුදලාලිගේ තේ කඩයද පිහිටා තිබුණේ ආසන්නයේ ය. මේ දෙදෙනා සමඟි ව කටයුතු කළහ.

දකුණේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ඔවුන්ට ද සැල වී තිබුණි. දෙදෙනා ම බියෙන් පැමිණ සිටියහ.

‘‘නන්දසේන මුදලාලි සිංහල අයට කියන්න ඕනම අවස්ථාවක පන්සලට එන්න කියලා. මේ මිනිස්සු හරිම අහිංසකයිනෙ. ඒ අයත් එක්ක අපි මෙච්චර කාලයක් බොහොම සමඟියෙන්නෙ හිටියෙ.

රාමචන්ද්‍රන් මුදලාලි දෙමළ අයට කියන්න කිසිම කලබලයක් ඇති කර ගන්න එපා කියල. හඳුනන්නෙ නැති කවුරුහරි නාගදීපයට ආවොත් වහාම එයා ගැන හොයල බලන්න“ නාහිමියන්ගේ ඔවදන් පිට ඔවුහු දෙදෙනා පිටව ගියහ.

එදින සවස ළිඳ වත්තේ ළිඳෙන් ස්නානය පිණිස වැඩම කළ පදුමකිත්ති හිමියන් රාමචන්ද්‍ර මුදලාලිගේ තේ කඩය අසලින් වැඩම කරද්දී කඩයට පැමිණි දෙමළ ජාතික තරුණයකු පදුමකිත්ති හිමියන් දෙස ඔරවා බැලුවේ ය. ඔහුගේ නම කන්නන්ය.

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]