[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞතම බුදු සසුනේ ධර්මකථික ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේගේ උදානය

ගෞතම බුදු සසුනේ ධර්මකථික ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේගේ උදානය

මීට කල්ප බොහෝ කලකට පෙර මිනිස් ලොව උපන් ඇය, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා වූ එක් රහත් තෙරුන් වහන්සේ නමකට පූජා සත්කාර කොට දන් පැන් පුදා ඒ ජීවිතයෙන් චුත ව දොව්ලොව උපන්නා.

එයින් චුත ව නැවත මිනිස් ලොව ඉපදුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බබළන කාලයේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ සුජාත තෙරුන් වහන්සේ පිඬු පිණිස ගමට වැඩි සේක. ඒ කාලයේ ඇය දිළිඳු තැනැත්තියක්. එක් නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියා.

එක් දිනෙක දිය ගෙන ඒමට යන අතරේ සුජාත රහතන් වහන්සේ දැක පැහැදී කැවුම් පූජා කළා. උන්වහන්සේ ගසක් මුල වැඩ සිට කැවුම් වැළඳු සේක. පසුදින ඇය උන්වහන්සේ නිවසට කැඳවා දානය පූජා කළා. පිනට කැමැති ඇයගේ හාම්පුතා එදා ඇය ගැන පැහැදී නිවසේ ලේලිය කර ගත්තා. ඇගේ සැමියා දැහැමි යි. අවංක යි. නිතරම ඇය ඔහු සමග වෙහෙරට ගොස් බණ අසනවා.

සසරේ පුරුද්දට, ඇය දන් දීමට ඉතා කැමැතියි. යමෙක්, කිසිවක් ඉල්ලා ගෙන නිවසට පැමිණි විට සැමියා විසින් “සොඳුර, මේ අයට යමක් දෙන්න” යි කියනු ලබනවා. නිතරම ඇය එකක් වෙනුවට දෙකක් දීමට පුරුදු ව සිටියා. නිතර නිතර මහා සංඝ රත්නයට දන් පැන් පූජා කර ගත්තා. තමා සමාදන් වූ සීලය සිහියෙන්, ගෞරවයෙන්, කැමැත්තෙන් ආරක්ෂා කළා. ඒ ජීවිතයේ බොහෝ පින්දහම් කළ ඇය එයින් චුත ව දෙව් මිනිස් ලෝකයේ ඉපිද සැප වින්දා.

මේ භද්‍ර කල්පයේ ම කස්සප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. එකල බරණැස් නුවර කිකී නම් වූ කාසි රජතුමා උන්වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා වුණා. ඇය රජුගේ හයවන දියණිය යි. නමින් සුධම්මා යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පැවිදිවීමට කැමැති ව මව්පියන්ගෙන් අවසර ගෙන පැවිදි වී අවුරුදු විසි දහසක් බඹසර සීලය රැක්කා.

ඒ පින්වත් සුධම්මා දියණිය දිනක් වෙහෙරට ගොස් බණ අසන වාරයේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එක් තෙරණි නමකට ධර්ම කථික තනතුර පිරිනැමුවා. ඒ ගැන ඇය අතිශයින් පී‍්‍රතියට පත්වුණා. සිත ප්‍රමුදිත වුණා. පසු දිනෙක ඇය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝ රත්නය නිවසට වඩමවා දානයක් පූජාකොට ධර්ම කථික තනතුර ප්‍රාර්ථනා කළා.

එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් වදාළා “බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් පුදා, උවටැන් කොට පින් රැස්කර ගත් ඔබ සතුටු වෙන්න. මෙයින් බොහෝ කල්ප ගණනකට පසුව සිද්ධාර්ථ නමින් ඉපිද, ගිහි ගෙය අත්හැර, පැවිදි ව, ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනවා. උන්වහන්සේගේ ධර්මය අසා, දරා, පිළිපැද ධම්මදින්නා නමින් පැවිදි ව ඔබ ශාස්තෘ ශ්‍රාවිකාවක් ලෙස ධර්ම කථික තනතුර ලබනවා” යැයි වදාළ සේක.

එය ඇසීමෙන් මහත් සතුටට පත් ඇය ඒ මුනිවරයාණන් වහන්සේට ජීවිතාන්තය දක්වා ම මෙත් සිතින් සිවුපසයෙන් උපස්ථාන කළා. ඒ යහපත් ක්‍රියා හේතුවෙන් මිනිස් ලොව අත හැර තව්තිසා දෙව්ලොව උපන්නා. ඇයගේ අන්තිම ආත්ම භවයේ දී මගධ ජනපදයේ සියලු සැපතින් අග්‍ර වූ සිටු කුලයක ඉපදුණා.

රූපයෙන් හා ගුණයෙන් යුතු වූ ඇය භද්‍ර යෞවනයේ දී විශාඛ නම් සිටුවරයෙක් සමඟ විවාහ වුණා. සැමියාගේ නිවසේදීත් ඇය සතුටින්, සුවයෙන් කල් ගත කළා. ඇගේ සැමියා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙක්. දිනක් ඔහු ශාස්තෘන් වහන්සේගෙන් ධර්මය අසා අනාගාමි ඵලයට පත්වුණා. ඊට පසුව ධම්මදින්නා භික්ෂුණි ආරාමයක පැවිදි වුුණා. වීර්යය කර නොබෝ කලකින් රහත් ඵලයට පත් වුණා.

විශාඛ උපාසක වරින් වර ගොස් එතුමිය සමඟ ධර්ම සාකච්ඡාවේ යෙදෙනවා. එතුමා අසන ගැඹුරු ධර්ම කරුණු එතුමිය පහදා දෙනවා. ධර්මය විස්තර කිරීමේ දක්ෂ වූ මෙතුමිය භික්ෂුණීන් අතර ධර්ම කථික භික්ෂුණිය ලෙස භාග්‍යවතුන් වහන්සේ අග තනතුරු පිරිනැමුවා.

එතුමිය මෙසේ උදානයක් වදාළා.

* යම් අරමුණක් සඳහා අනගාරිකා සසුනේ මම පැවිදි වීම් ද, ඒ අරමුණ මම ඉටුකර ගත්තා. සියලු සංයෝජන විනාශ කර දැමුවා.

* බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ධර්මය පුහුණු කළා. උන්වහන්සේගේ අවවාදය ඉටුකළා. නැවත නැවත උපතක් කරා ගෙන යන කෙලෙස් නැතිකර දැමුවා.

* සෘද්ධි බලය ලැබූ මම, බොහෝ දුර තිබෙන ශබ්ද අසනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්නා වූ මම අනුන්ගේ සිත් දකිනවා. පෙර ජීවිත ඒ ආකාරයෙන් ම දකිනවා. දිවැස ලැබූ මම සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කළා.

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]