[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මය ආරක්ෂා කර ගනිමු

ධර්මය ආරක්ෂා කර ගනිමු

ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන්, ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

එබැවින් ධර්මයට පුදනු කැමැතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය. ධර්මය ලියා තිබෙන්නා වූ ද, මුද්‍රණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකි ය. ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තව ද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතු ය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය. ධර්මාචාර්යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය. ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලීම ය යන ආදිය යි.

සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය. උන්වහන්සේලා හා කතා කරන කල්හි ගිහියන් හා කතා කරන්නාක් මෙන් කතා නො කොට, ගෞරවයෙන් කතා කළ යුතු ය.

භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කිරීමේ දී උන් වහන්සේලා හා අධික මිත්‍රත්වයට නො පැමිණ ගින්න ආශ්‍රය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍රය කළ යුතු ය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍රත්වයට පැමිණිය හෙ ාත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද, සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ
'බෞද්ධයාගේ අත්පොත' ඇසුරිනි

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]