[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප 15 : ද්‍රෝණයක් ධාතූන් වහන්සේ තැන්පත් ස්වර්ණමාලි සෑ රදුන් වහන්සේ

ලංකාවේ බෞද්ධ ස්තූප 05 :

ද්‍රෝණයක් ධාතූන් වහන්සේ තැන්පත් ස්වර්ණමාලි සෑ රදුන් වහන්සේ

සයිංසු යස්මිං සුගතස්ස ධාතුං
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීනි පතීත නාමං
වන්දාමහං ථූපවරං මහාග්ඝං

ස්වර්ණමාලී යන ප්‍රමණීත නාමයෙන් මේ උතුම් දාගැබේ සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් ව ඒ රශ්මියෙන් බබළන බුද්ධ ප්‍රතිමාවකි. එවන් උතුම් මහා දාගැබ් වහන්සේ වන්දනා කරම්.

අනුබුදු මිහිඳු මා හිමියන් ආගමික ස්ථාන ඉදිකිරීම් සිදුවන ස්ථාන හතක මල් මිට බැගින් ඉසූ බවත්, එකල් හි භූමිය කම්පනය වූ බවත් මහා වංශයේ සඳහන් ය.

රුවන්වැලි සෑ භූමිය එසේ කම්පනය වූ කල්හි දේවානම් පියතිස්ස රජතුමාගේ මුණුපුරෙකු වන දුටුගැමුණු මහ රජතුමා මෙම ස්ථානයේ මහා ස්තූපයක් කරවන බව මිහිඳු මා හිමි‍යෝ පැවසූහ. ඒ අවස්ථාවේ දී රජතුමා ඒ බව ශිලා ස්ථම්භයක සටහන් කොට ස්ථාපනය කළහ.

“දුටුගැමුණු නම් මහා පින් ඇති නරපති තෙමේ අනාගතයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කොට මනෝරම්‍ය වූ එක්සිය විසි රියන් උස ස්වර්ණමාලි නම් මහා ස්තූපයක් කරවන්නේ ය. නොයෙක් මිණි රුවනින් හෙබියා වූ ලෝවාමහාපාය නම් නව මහල් පොහෝ ගෙයක් කරවන්නේ ය. මෙම වාක්‍ය රජගෙයි කරඬුවක බහා තිබූ රන්පතක ලියැවී තිබුණි. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ගොඩ නැඟුවේ මිරිසවැටිය සහ ලෝවාමහාපාය ඉදිකිරීමෙන් අනතුරුව ය. නව මහල් ලෝවාමහා ප්‍රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත් දිනක් පුද පුජාවන් පැවැත්වූයේ ය. එයින් අපමණ ප්‍රීතියට පත් වූයේ ය. ඉන් අනතුරුව දුටුගැමුණු නිරිඳුන් ලක්ෂයක් රන් කහවනු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවී ය. ඉන් අනතුරුව නුවර ඇවිදින කල මහා සෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිල ස්ථම්භය දැක කියවන්නට ලැබුණේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ අනාගත වාක්‍ය කියවා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.

මේ මහා භද්‍ර කල්පයෙහි බුද්ධත්වයට පත් වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම නම් සතර බුදුරජාණන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් මේ ස්තූප භූමිය පාරිශුද්ධත්වයට පත්ව ඇති බව විශ්වාස කෙරේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව අටවන වර්ෂයේ දී කැලණියට වැඩම කළහ. එම අවස්ථාවේ දී අනුරාධපුර මහමෙවුනා උයන පිහිටන ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ රුවන්වැලි මහ ස්තූපය ඉදිවන පුණ්‍ය භූමියේ මොහොතක් සමවත් සුවයෙන් වැඩි සිටියහ.

අනාගත වාක්‍ය කියවා මහත් ප්‍රිති ප්‍රමෝදයෙන් යුතු රජතුමා එදින රාත්‍රියේ රාජ භෝජන වළඳා. ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. “මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහා සෑයක් කරවන්නට තරම් පින් ඇත්තෙක්මි. ඒ උතුම් ක්‍රියාව මට මහත් ලාභයක් ම වන්නේ ය. ආක්‍රමණික ද්‍රවිඩයන්ගෙන් රට බේරා ගැනීමේ දී මාගේ අතින් මේ රට වැසියා පීඩාවට පත් විය. එම නිසා ලක්වැසි කිසිවෙකුටත් පීඩාවක් නොවෙන සේ අය බදුවලින් නො පෙළන්නෙමි. දැහැමින් උපයන ලද වස්තුවෙන් මහා සෑය කරවන්නට ඇත්නම්, එය කොතරම් අගනේ දැ යි‘ සිතමින් සිටියේ ය.

රාජ සේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව රජතුමාගේ මේ පුණ්‍ය සිතිවිල්ල දැනගත් අතර, එය දෙවියන්ට සැළ කරන ලදී. සිරිලක පිහිටුවන්නා වූ මහා සෑය සෑදීමට දුටුගැමුණු මහා රජතුමාට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්තූප ඝෝෂාවක් පැන නැංගේ ය. එම අවස්ථාවේ දී දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා විශ්ම කර්ම දෙවිපුතුන් හට අණ කරන්නේ ය. “ගෞතම සසුනෙහි පහන් ව සිටින දුටුගැමුණු නරනිඳු මහා සෑය කරවන්නට සිතමින් සිටින්නේ ය.

ඒ නිසා තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහා සෑයට ගඩොල් මවන්නැ‘යි පවසා සිටියේ ය. පසුදා උදෑසන වැද්දෙක් දඩයම් බල්ලන් රැගෙන වනයට පිවිසියෝ ය. එවිට එහි භූමාටු දෙවියෙක් තලගොයකුගේ වෙස් ගෙන වැද්දාට පෙනෙන්නට සැලැස් වී ය. තලගොයා පසුපස පන්නමින් ගිය වැද්දාට විශ්ම කර්ම දිවිය පුත්‍රයා මවන ලද ගඩොල් දැකීමට ලැබුණි.

තලගොයා නොපෙනී ගියේ ය. එම ගඩොල් ගොඩ දෙස බලා වැද්දා මෙසේ සිතුවේ ය. “අප මහ රජතුමා මහා ස්තූපයක් කරවන්නට කැමැත්තෙන් ඉන්නවා. මෙය නම් රජතුමාගේ අදහසට ගැළපෙන පඬුරකි. මේ බව නම් දැනුම් දිය යුතුයි“ සිතා වැද්දා දුටුගැමුණු රජතුමාට මේ බව සැළ කරන ලදී. දුටුගැමුණු රජතුමා වැද්දා පැවසූ ප්‍රිය වචනය අසා මහත් සතුටට පත්විය. ඔහුට බොහෝ තෑගි භෝග ද පිරිනැමී ය.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]