[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක 2020.08.03

යුතුකම හා වගකීම


රටක අනන්‍යතාව ලොවට හෙළි කරන්නේ ඒ රටේ සංස්කෘතිය යි. අප කන බොන දැයෙහි සිට, ඇඳුමේ පැලඳුමේ සිට අනේකවිධ ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් සියල්ල ද සංස්කෘතිය යන්නට අයත් ය. අනන්‍යතාව යහපත් හෝ අයහපත් වන්නේ ආකල්පයන්ගේ යහපත් අයහපත් බව අනුව ය. ශ්‍රී ලාංකිකයන් ලෙස සම්බුදු දහමින් සුපෝෂිත යහපත් ආකල්පයන්ගෙන් යුතු අසිරිමත් සංස්කෘතියකට අපි උරුමකම් කියන්නෝ වෙමු. ඒ අනුව ලොවට හෙළි කළ යුතු අපේ අනන්‍යතාව සම්බුදු දහමට අනුගත විය යුතු ම ය.

බෞද්ධ සමාජය පන්සිල් සුරකින සමාජයකි. ඈත අතීතයේ සිට ම ලක්වැසියෝ පංචසීලය සුරැකියහ. කලින් කල විදේශ ආක්‍රමණත් සමඟ මත්වතුර ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය භාවිතයට පැමිණීමත් සමඟ ඇතැම්හු වෙතින් පන්සිල්පද එකින් එක කඩා වැටෙන්නට විය. මත ඒ තරම් බරපතළ ය. කලින් කලට අඩු වැඩි වෙමින් පැවත ආ මේ දුරාචාරය ගෙවී ගිය කාලයේ අපේ තරුණ දරුවන්, පාසල් දරුවන් පවා ගිලගත් ආකාරයක් දක්නට ලැබුණි. කාන්තාවෝ පවා මත් ද්‍රව්‍යයන්ට හුරුවුණහ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නිදහසේ තම ව්‍යාපාර කරගෙන යන්නේ ඊට අවශ්‍ය පරිසරය රට තුළ වේ නම් ය. එහෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ට එරෙහි ව නැඟී සිටින නායකත්වයකට පොදු ජනතාවගේද සහයෝගය ලැබිය යුතු ම ය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නොවන්නා සේ අවශ්‍ය තැන අවශ්‍ය පිළියම් නොකළේ නම් අපට සිදු වන්නේ, මතින් විනාශ වන අපගේ දරුවන් ගේ අනාගතය ගැන කඳුළු සලන්නට ය.

මනුෂ්‍ය ඝාතන, සොරකම්, දූෂණ අන්තවාදීකම් රටක සාමය බිඳ හෙළයි. ජනතාවට මරණ බිය ගෙන දෙයි. විවිධ අපරාධ කල්ලි බිහි වී මේවාට නායකත්වය දෙන්නේ රට තුළ ඔවුන් වෙනුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ය. අපේ අනාගතය සෞභාග්‍යවත් වන්නට නම් රට තුළ එවැනි අපරාධ මැඬලිය යුතු ය. අලුත් අපරාධකරුවන් බිහි නොවන තැනටද වැඩ සිද්ධ විය යුතුය. එවැනි කාර්ය භාරයක වගකීම රාජ්‍ය නායකත්වයකට පමණක් පවරා පොදු ජනතාව මඟ හැර සිටී නම් රට වැසියන් ලෙස තමා උපන් බිමට කරන අකෘතඥ වීමකි.

අපේකම ගරු කළ අපේ පැරණි සමාජය අගය කළේ දේශීය දේ ය. බත් පතත් පිටරටින් එන තුරු ඔවුන් බලා සිටියේ නැත. තමන්ට අවැසි ආහාර පාන, තමන් ම සරි කරගත්හ. මහන්සි වී වැඩ කළහ. එදා අපේ හේන් කුඹුරු පුරන් වූයේ නැත. කඩ සාප්පු පුරා පිටරැටියන්ගේ නිමැවුම්වලින් පිරී ඉතිරී ගියේ නැත. ඔවුහු අපේ දෙය, අපේ කම රැක ගත්හ. අතීතයේ රට සෞභාග්‍යවත් වූයේ ඔවුහු දහදිය මහන්සියෙන් වැඩ කළ හෙයිනි. අප නැවත ඒ අතීත සුවඳ ඔස්සේ අපට ගැළපෙන, ගමනක කඩිනම් ව යා යුතුව ඇත.

මේ රට බෞද්ධ රටකි. බෞද්ධ ආගම ඇති තැන අන්‍ය ආගම් ද සුරක්ෂිත ය. එහෙයින් බුද්ධ රත්නය ද, ධම්ම රත්නය ද, සංඝ රත්නය ද සුරක්ෂිත විය යුතු ය. උතුම් ත්‍රිවිධ රත්නය ආරක්ෂා කොට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර ගැනීමේ වගකීම සමස්ත බොදු ජනතාවට ම පැවරෙන්නකි. ඒ සඳහා තම යුතුකම වගකීම නිවැරැදිව ඉටු කළ යුතු ය. ආගම දහමින් සුපෝෂිත සෞභාග්‍යවත් දේශයක අරුණලු දැකිය හැකි වන්නේ එවිට ය. අපගේ බෞද්ධ අනන්‍යතාවය ලොවට හෙළි කළ හැකි වන්නේ එවිට ය.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]